රටේ ප්‍රජාතන්ත්‍රවාදය සැලකිය යුතු ලෙස තර්ජනයට ලක්වෙලා

නීතිපතිවරයා විසින් ආණ්ඩුවට හිතවත් පිරිස්වල සහ දේශපාලනඥයින්ගේ අධි චෝදනා ඉල්ලා අස් කරගනිමින් සිටින මොහොතක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා…
නීතිපතිවරයා විසින් ආණ්ඩුවට හිතවත් පිරිස්වල සහ දේශපාලනඥයින්ගේ අධි චෝදනා ඉල්ලා අස් කරගනිමින් සිටින මොහොතක රටේ ප්‍රජාතන්ත්‍රවාදය සැලකිය යුතු තර්ජනයකට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා මේ බව පැවසුවේ සෙනසුරාදා (06) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
මෙහි භයානකත්වය මුලින්ම දැක්කේ ගම සමඟ පිළිසඳර වැඩසටහනකදී ජනාධිපතිවරයා විසින් ඔහුගේ ප්‍රකාශ නීතිය හෝ චක්‍රලේඛයක් වන බව පැවසූ අවස්ථාවේදීයි. ඒ තුළ තිබෙනවා ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් නැහැ කියලා. එයින් පටන් ගත්ත ගමන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.
දැන්වීම
ඒ අනුව තමයි අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ඇතුළු 05 දෙනෙක් දින 100කට වැඩි කාලයක් සකස් කළ චෝදනාවකට අනුව බන්ධනාගාර ගතකර තිබෙන්නේ. සිරිල් ගාමිනී පියතුමාගේ සිදුවීමත් යම් දේශපාලන අරමුණක් තිබෙන බව අපිට පේනවා.
ඥානසාර හාමුදුරුවන්ගේ කමිටුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නිවේදනයක් නිකුත් කරන්න සිදුවුනා මෙය ජනාධිපතිවරයා බලය ඉක්මවා යමින් පාර්ලිමේන්තු බලය විධායකය යටතට ගැනීමක් කියලා. මේවා මගින් පේනවා නීතියේ ආධිපත්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල අවුලක තිබෙනවා කියලා.
ඒ අතර තමයි වාර්තා වෙන්නේ බැසිල් රාජපක්ෂගේ ලිත් නඩුවත් ඉල්ලා අස්කර ගන්නවාද නැද්ද යන්න ඉදිරියේදී නීතිපතිවරයා පවසනවා කියන ප්‍රවෘත්තිය. ඒ නිසාම නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම ගැන විශාල සංවාදයක් මතුව තිබෙනවා.
අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව නඩු ඉල්ලා අස්කර ගන්න පුළුවන්. නමුත් අධිකරණයටත් බලයක් තිබෙනවා ඉල්ලා අස්කර ගැනීම පිළිබඳව කරුණු විමසන්න. ඒ අනුව තමයි ළමුන් 11දෙනාගේ අතුරුදන් කිරීමේ නඩුවත් නීතිපතිවරයා ඉල්ලා අස්කරගන්න ආපු වෙලාවේ අධිකරණය ඊට අවස්ථාව නොදී යළි සලකා බලන්න කිව්වේ.
අනෙක් බොහෝ අවස්ථාවල අධිචෝදනා පත්‍රය නීතිපති විසින් ඉල්ලා අස්කරගෙන නඩුව ඉවත් කරගත්තා. මෙහෙම වෙන නිසා රටේ ජනතාව කියනවා නීතිපතිට උපදෙස් දෙන්නේ හමුදාපතිද කියලා. එහෙම බරපතල සංවාදයක් ආවා ළමුන් 11දෙනාගේ නඩුව ඉල්ලා අස්කර ගන්න ආපු වෙලාවේ. ඒ ළමුන්ගේ දෙමාපියන් හැමදාම උසාවිය ඉස්සර බෝඩ් උසසන් ඉන්න අතරේ තමයි නඩුව ඉල්ලා අස්කරගන්න හදන්නේ.
මේක ඉතාම විසංවාදයක්. කොහොමද නීතිපතිවරයා මේ නඩු ඉවත් කරගන්නේ. මහජන මුදලින් නඩත්තු වෙන මේ ආයතන තුළ මුදල් නාස්ති කරල, කරල කාගේ වැරැද්දක් නිසාද මේ නඩු ඉවත් කර ගන්නේ කියලා නීතිපතිවරයා රටට පැහැදිලි කිරීමක් කළ යුතුයි. විමර්ශනවලට එම නිලධාරීන් කැඳවිය යුතුයි.
මහජනතාවට උත්තර ලබාදිය යුතුයි. එක නඩුවක් නෙවෙයි දෙකක් නෙවෙයි නඩු විශාල ප්‍රමාණයක් ඉල්ලා අස්කරගෙන තිබෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ දාපු මහජන මුදල් හොරාකාපු සිදුවීම් සම්බන්ධයෙන් ගොනුකළ අධිචෝදනා පත්‍ර පෙළට ඉල්ලා අස්කරගන්නවා.
එක ආණ්ඩුවක නීතිපති නඩු දානවා. අනෙක් ආණ්ඩුවේ නීතිපති ඉල්ලා අස්කර ගන්නවා. කියමනක් තිබෙනවා මාළු මුදලාලි කියනවා මගේ මාළු කුණුවෙලා කියලා. නීතිපති කියනවා මගේ නඩු හරි බාල නඩු කියලා. හරි පැහැදිලියි මේ කතාව.
නීතිපතිතුමාට අපි කියනවා. ඔබතුමා එන්නේ ආණ්ඩුව කියන කියන දේ කරන්න නෙවෙයි. ඔබ ජනතාවට වගකිව යුතු නිලධාරියෙක්. ජනතාවට වගකියනවා වෙනුවට ආණ්ඩුව කියන කියන දේ කරන්න නම් ඔතන ඉන්නේ ඔබ ගෞරවාන්විතව ඉල්ලා අස්වෙන එක හොඳයි.
ඒ වගේම ආණ්ඩුවේ පාර්ශ්වයක්ම කියනවා මහජන සභාවක් තියලා ආණ්ඩුව දේපල විකුණනවා කියලා. ආණ්ඩුව පීලි පැනලා කියලා. දැන් බුර බුරා එන මහජන විරෝධය සමනය කරන්න ආණ්ඩුවේ කොටසක් මහජන මතය සමනය කරන්න උත්සහ කරනවා. කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන තමයි මේ කියන්නේ.
අලි සබ්රි, විමල් වීරවංශ, උදය ගම්මන්පිල මේ කවුරුත් ඉල්ලා අස්වෙලා නැහැ. මේ පරීක්ෂණය කරන්න හොඳම වෙලාවක් තිබෙනවා. අයවැය ඡන්දය විමසන්නේ දෙසැ. 12වෙනිදා. අපි බලමු එදාට මොකද වෙන්නේ කියලා. මේ අය කරන්නේ දඩ බල්ලන් සමඟ දඩයමේ යන ගමන් හාවුන් සමඟ දුවනවා වගේ වැඩක්. ඒ නිසා දඩබල්ලන්ද හාවුන්ද කියන එක ඔප්පු කරන්න කියලා අපි ඔවුන්ට කියනවා.
මේ රටේ මහජනතාවගෙන් අපි අහනවා ඔබ තවත් රැවටෙනවාද? මේ වෙනකොට අපි විශාල ජන කොටසක් ආමන්ත්‍රණය කරමින් ඉන්නවා. අපි 69ලක්ෂයට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට අවංක ප්‍රාර්ථනාවක් තිබුණා. සජිත් ප්‍රේමදාසලාට ඡන්දය දුන්නේ මොකක් හෝ බලාපොරොත්තුවකින්.
අපි පැහැදිලිව කියනවා ඔබගේ බලාපොරොත්තු බොඳ කරලා තිබෙන්නේ. සජිත ප්‍රේමදාසලාට හිටගන්න අද සටන් පාඨයක් නැහැ. ඒ අයත් ආණ්ඩුවේ කොටසක් වගේ. ඒ නිසාම අපි මේ රටේ ජනතාවට කියනවා ඔබ නැවතත් රැවටෙන්න නම් හදන්නේ ඔබට ඒ අයිතිය තිබෙනවා; නමුත් එහෙම කරන්න එපා මොකද ඔබට තේරුම් ගන්න වසර 73ක කාලයක් දැන් හොඳටම ප්‍රමාණවත්. ඒ භූමිකාව කෙළවර කරමු.
අපි ජාතික ජනබලවේගය නිර්මාණය කරලා අපි ජනතාවට නායකත්වය දෙන්න සූදානම්. අපි හිතනවා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් නියෝජනය කරන ජාතික ජන බලවේගය තමයි ඉතිරිවෙලා තිබෙන එකම බලවේගය. අපි ජනතාවට ආරාධනය කරනවා.
ඔබ පොදුජන පෙරමුණ ඡන්දය ලබාදීලා ඔබේ සිතුවිල්ල බොඳවෙලා තිබෙනවා එන්න අපේ වේදිකාවට. ඔබ සජිත ප්‍රේමදාස ප්‍රමුඛ කණ්ඩායමට ඡන්දය දුන්නද ඔවුන්ද ඔබේ බලාපොරොත්තු බොඳ කරමින් සිටියි. එන්න අපේ වේදිකාවට. ජාතික ජන බලවේගයේ අපි බය නෑ. අපි අවංක දේශපාලනයක් කරනවා. අපි ජාතිවාදී නැහැ. අපේ කඳවුරේ කිසිවෙකුට අධි චෝදනා නැහැ. අපි ළඟ හොරු නැහැ. ඒ වගේම රට හදන සැලැස්ම අපි ළඟ තිබෙනවා.
ඔබට නැවත රැවටීමට අවශ්‍ය නම් ඒ ඉතිහාසය කියවාගන්න. සිරිමා බණ්ඩාරනායක හඳෙන් හාල් ගෙනත් දෙනවා කිව්වා. ගෙනත් දුන්නේ නැහැ. ජේ ආර් ජයවර්ධන ඇට අටක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. ප්‍රේමදාස මහත්තයා වේදිකාවක් වේදිකාවක් ගානේ කියපු දේ දුන්නේ නැහැ.
මහින්ද රාජපක්ෂ ගමේ මිනිහා වෙල් ඉපනැල්ලේ ඇවිදපු මිනිහා කියලා මේ රට හොඳටම ණය කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ රටට මානුෂික මුහුණුවරක් දෙනවා කිව්වට දුන්නේ නැහැ. ගෝටාභය රාජපක්ෂ ගැන කියන්න දෙයක් නැහැ. ඔහු ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ ඉස්පිල්ල, පාපිල්ලක්, වචනයක් වාක්‍යයක් ඡේදයක් තියෙනවනම් ඒ සියල්ල උල්ලංඝණය කරල ඉවරයි. ඒ නිසා එක එක ජවනිකා වලට රැවටෙන්න එපා කියලා නැවතත් ජනතාවගෙන් ඉල්ලනවා.