අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ

අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එකම ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරනවා රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති…

අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එකම ප්‍රතිපත්තියක් ලෙස ක්‍රියාත්මක කරනවා 

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට බ්‍රහස්පතින්දා (07) පස්වරුවේ එක් වෙමිනි.

දැන්වීම

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි. එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය.

2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර අනතුරුව ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්විය.

විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කළ සමරු තිළිණයක් ද ජනාධිපතිවරයා වෙත පිළි ගැන්වුණු අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය,

අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පවතිනවා. ඉදිරි වසර විස්සට, තිහට අදාළවන අයුරින් එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නව තාක්ෂණය , කෘතිම බුද්ධිය, අධ්‍යාපන විෂය ධාරාවන්ට එක් කළ යුතුයි.

ඒ වගේම 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) හඳුන්වා දුන්නා. නමුත් එවකට එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙම උපාධි ක්‍රමය හඳුන්වා දුන්නේ රැකියා ඉලක්ක කර ගනිමිනුයි. එම ක්‍රමය නැවත හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා.

උතුරුමැද පළාතේ හිටපු විපක්ෂනායක සහ සිද්ධාර්ථ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය නීතිඥ කස්තුරි අනුරාධානයක මහතා ද උත්සව සභාව ඇමතීය.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ යන මහත්වරුන් ද, ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයේ විදුහල්පති ජනක හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සහ සිසු දරුවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ | Lanka Newsweek