අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ඇරඹේ

රටටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ඇරඹේ

(හේමන්ත තුසිත කුමාර) විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්…

(හේමන්ත තුසිත කුමාර)

විදුලි සංදේශ සංවර්ධන ගාස්තු දුෂ්කර පළාත්වල සන්නිවේදන යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යෙදවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉලක්කය බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඔෂධ සේනානායක මහතා පවසයි. 

සන්නිවේදනය ජාතික ආර්ථිකයේ ප්‍රබල සාධකයක් බැවින් ලාභාංශවලට සීමා නො වී ජාතික ආර්ථිකය ඉලක්ක කර ගත් වැඩපිළිවෙළක් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කටයුතු කර ඇති බව ද ඒ මහතා කියා සිටී. 

“ගමට සන්නිවේදනය” තේමාව යටතේ බ්‍රහස්පතින්දා(14) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවිධානය කළ මාධ්‍ය හමුවට එක් වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසීය.

දැන්වීම

“ගමට සන්නිවේදනය” ජාතික වැඩසටහන යටතේ මේ වසර අවසන්වීමට පෙර දිස්ත්‍රික්ක 10ක බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණ 100%ක් සම්පූර්ණ කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත  බවත් 2022 අවසන් වීමට පෙර ඉතිරි දිස්ත්‍රික්ක ද ඇතුළත්ව දිවයින ම ආවරණය වන පරිදි බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ආරම්භ කිරීමට අවශ්‍ය සියලු සැලසුම් ක්‍රියාත්මක බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටී.

සන්නිවේදන සේවා සපයන්නන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර ඇති අතර ගමට සන්නිවේදනය වැඩසටහන යටතේ ඉදිකෙරෙන කුලුනු සඳහා 50%ක වැය බරක් විදුලි සංදේශ අරමුදල දරන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

දැනට ඉදිකෙරෙමින් පවතින මෙම සන්නිවේදන කුලුනු මීට පෙර විදෙස් රටවලින් ආනයනය කළ ද වර්තමානයේ දේශීයව නිෂ්පාදනය කිරීමෙන් අලුත් ආර්ථික ක්ෂේත්‍රයක් බල ගැන්වීමට ද හැකි වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

ආවරණ කලාපවල සවිකරණ තාක්ෂණික උපකරණ දැනට 4G තාක්ෂණය සඳහා භාවිතා කළ ද ඉදිරියේදී ඇති වන තාක්ෂණික විප්ලවය සමඟ 5G තාක්ෂණයට ගැළපෙන අයුරින් ඒවා සකස් කර තිබේ. මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවල නිරතවීම දියුණු රාජ්‍යයන්හි දක්නට ඇති ප්‍රවණතාවකි. අනාගතයේදී එය ශ්‍රී ලංකාවට ද අදාළ බවත් කොවිඩ් වසංගතය සමග 40%කින් අන්තර්ජාල සන්නිවේදන සේවා අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බවත් අනාවරණය කෙරිණ. 

සන්නිවේදන යටිතල පහසුකම් බල ගන්වා විදෙස් ආයෝජකයන් මෙරටට ගෙන්වීමට කාලය එළැඹ ඇති බව පෙන්වා දුන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එමගින් දැනට පවතින තොරතුරු හා පරිගණක සේවා ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වන විදෙස් ඉපැයීම මේ වසර තුළ 1.8 දක්වා වර්ධනය කර ගැනීම සඳහා ඉවහල් වන බව ද කියා සිටී. එය 2024 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 03ක් දක්වා සපුරා ගැනීමට හැකි වන බව අනාවරණය කළේය.

නුදුරු අනාගතයේදී මාර්ගගත අධ්‍යාපනය ෆයිබර් පහසුකම් ඔස්සේ දිවයිනේ සියලු පාසල්වල බලගැන්වීම රජයේ ඉලක්කයයි. ඉංග්‍රීසි, විද්‍යා සහ ගණිත, පරිගණක තාක්ෂණය වැනි විෂයයන් සඳහා ඇති ගුරු හිඟය මඟහරවා ගැනීමට සුහුරු පංතිකාමර සංකල්පය ඉවහල් වනු ඇති බවත්, මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක් ව නියාමන ව්‍යාපෘතියක් ලෙස එය අත්හදා බැලීම සිදු කෙරෙන අතර එහි සාර්ථක ප්‍රගතියක් දක්නට ලැබෙන බවත් සඳහන් කෙරිණි.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ සියලු සන්නිවේදන ගාස්තු පහත දැමීමට රජය කටයුතු කළේ “ගමට සන්නිවේදනය” අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් බවයි. විදුලි සංදේශ පනත සංශෝධනයට මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. පැවති ගැටලු නිරාකරණය කර ගැනීමට එය ප්‍රබල සාධකයක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. 

තාක්ෂණය යහ භාවිතය පිළිබඳ සැලසුම් රටට අවශ්‍ය අතර නව සංශෝධන මඟින් cyber security නියෝජිත ආයතනයක් සහ දත්ත ආරක්ෂණ නියාමන ආයතනයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔෂධ සේනානායක මහතා සඳහන් කළේය.

'සන්නිවේදන ක්ෂේත්‍රය බල ගැන්වීමේදී පාරිභෝගිකයා ආරක්ෂා කළ යුතු ය.' යන්න රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ සේනානායක මහතා සියලු ම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙනයාමේ (Number Portability) සේවාව ක්‍රියාවට නැංවීමේ ඊළග පියවර ලෙස සියලු ම දුරකථන ක්‍රියාකරුවන් හරහා මධ්‍යම නිශ්කාෂණ ආයතනය සහ පද්ධති පිහිටුවීමෙන් මෙහෙයුම් රාමුව විධිමත් කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාවලියට අනුමැතිය හිමි ව තිබෙන බව ද සඳහන් කළේය. 

“ගමට සන්නිවේදන” ව්‍යාපෘති අධ්‍යක්ෂ ශ්‍රියානි මාවැල්ලගේ, අධ්‍යක්ෂ (තරඟකාරීත්ව)  ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ යන මහත්මමහත්මීහු ද මාධ්‍ය සාකච්ඡාවට එක් වූහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රටටම බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙල ඇරඹේ | Lanka Newsweek