රජයේ අසාර්ථක ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵල ඉදිරියේ දී ජනතාවට භුක්ති විඳින්න ලැබේවි
. විපක්ෂ නායක පෙන්වා දෙයි -

(සංජනා ද සිල්වා)
වත්මන් රජයේ ප්රශස්ත ප්රබුද්ධ යැයි කියන ආණ්ඩුව එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වෙන්න රු. 17719ක් ප්‍රමාණවත් බවට පවසන බවත් මහබැංකුව හා ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ලබා දෙන බොරු දත්ත මත අසාර්ථක සේම අකාර්යක්ෂම දුර්වල ආර්ථික කළමනාකරණයක් සිදු කරන බවත් මෙහි ප්‍රතිඵල ඉදිරි කාලයේ දී රටේ ලක්ෂ 220ක් ජනතාවට භුක්ති විදින්න සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (06) පැවසීය.
වත්මන් රජය ක්‍රියාත්මක කරන්නේ පසුගිය රජයේ නව ලිබරල්වාදයේ දිගුවක් විතරයි
වත්මන් රජය අදටත් ක්‍රියාත්මක කරන්නේ පසුගිය රජයේ නව ලිබරල්වාදයේ දිගුවක් මිස සමාජ සාධාරණත්වය ඉටු කරන්න ක්‍රියාත්මක කරන මානුෂීය ධනවාදී සමාජ ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය නොවන බවත් ප්‍රාථමික අතිරික්තය, රාජ්‍ය ආදායම ගැන කතා කළත් මේ රජය අපායට යන ආකාරයට බදු ගසා බදු බර වැඩි කර බදු පීඩනය තුළ බදු තුළින් කම්පනයක් ඇති කර ඇති බවත් බුද්ධිගලනය ප්‍රවර්ධනය කිරීම නිසා වෘත්තියවේදීන් වෛද්‍යවරුන් පවා රට අතහැර යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
IMF ගිවිසුම වෙනස් කරනවා කිව්වත් අදටත් එය වෙනස් කර නෑ
වත්මන් රජය පොරොන්දු වූයේ ණය තිරසරකරණ ගිවිසුම වෙනස් කරන නව IMF ගිවිසුමකට යනවා කියා වුවත් අදටත් ඒ ගිවිසුමකට යාමට රජය අපොහොසත් වූ බවත් රජය බොරු දත්ත මත පදනම්ව බොරු වාර්තා පදනම්ව තවදුරටත් ටොම්පච දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් ලෝක බැංකුව කියන ආකාරයට ඉහළ මැදි ආදායම් රටක ප්‍රතිපත්තිය තුළ අප රටේ දිනකට එක් අයකුට රු. 2724ක් අවශ්‍ය බවත් ඒ අනුව රටේ දුප්පත්කම 65.4%ක් බවත් දැන්වත් මානුෂීය ආකාරයෙන් ජනහිතකාමී ජනතාවාදී ප්රගතිශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රටේ 30-40%ක් දුප්පත්
ආර්ථිකය ලස්සනට කළමනාකරණය කරා යැයි රජය පැවසුවත් 30-40% අතර ප්‍රමාණයක් දුප්පත් බවත් දුප්පත්කම අවසන් කිරීමේ ක්‍රමවේදය මීට වසර ගණනාවකට ඉදිරිපත් කර ඇති නිසා එය අවබෝධ කර ගෙන මානුෂීය ධනවාදය හා සමාජ ප්රජාතන්ත්රවාදය තුළින් දුප්පත්කම තුරන් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.මේ රජය සෘජු විදේශ ආයෝජන රට අතහැර යන තැනට වැඩ කරනවා
ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අප රටේ සෘජු විදේශ ආයෝජන සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවක් අනුව රටේ අවිනිශ්චිතභාවයක් ඇති බවත් නිලධාරිවාදය, අනවශ්‍ය රෙගුලාසි නිසා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ඇත්තේ දුර්වල තත්ත්වයක් බවත් හිටපු රජයේ ක්‍රමය ඉදිරියට ගෙන යන්න මේ රජය බලයට ආවේ ක්රමයේ වෙනසක් ඇති කරන්න මිස පැවති ක්‍රමය ඉදිරියට ගෙන යාමට නොවන බැවින් ඒ වෙනස කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ ප්‍රතිපත්ති නිසා ආයෝජකයන්ට රට එපා වෙලා
තනි කවුලුවක් හරහා විදේශ ව්‍යාපෘතිවලට අනුමැතිය දෙන One Stop shop නොව ආයෝජකයන්ට රට එපා කර රට අතහැර යන තැනට පත් කර ඇති බවත් ආයෝජකයන්ට පහසුකම් සපයන තැනට රට පත් කළ යුතු බවත් ආයෝජකයන්ට උත්තේජක දෙනවා වෙනුවට ආයෝජකයන් පළවා හරින ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
ඔස්ට්‍රේලියාවට ගෙවූ ඇ.ඩො. මි. 2.5 ආරක්ෂා කර ගන්න බැරි රජයක් මේක
ඔස්ට්‍රේලියාවට ගෙවන්න තිබු ඇ. ඩො. මි. 2.5ක් රටට අහිමි වුණේ රජයේ නොහැකියාව නිසා බවත් මහබැංකුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව ආදිය නිවැරදිව ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ වත්මන් රජයේ ණය කළමනාකරණ ප්‍රතිපත්තිය නිසා වෙනස් වීමෙන් ඒ මුදල රටට අහිමි වූ බවත් මෙයට වගකිව යුත්තේ වත්මන් රජය බවත් මේ මුදල පවා ආරක්ෂා කළ නොහැකි රජය රට සෞභාග්‍යය කරා ගෙන යන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තාම වරායේ ගොඩබාන මිලට ඉන්ධන දෙන්න බැරි වුණා
පිරිවැය නැවත ලබා ගැනිමේ ක්‍රමයට ඉන්ධන මිල තීන්දු කරන ලෙස IMF එක ජනාධිපතිවරයාට පවසා ඇති බවත් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බව පැවසුවත් වත්මන් රජය IMF එකේ අතකොළුවක් බවට පත්ව ඇති බවත් රජය IMF කියන කියන විදිහට වැඩ කරන බවත් IMF එකේ කොන්දේසි වෙනස් කරනවා කිව්වත් අදටත් ඒ එකදු කොන්දේසියක්වත් වෙනස් කර නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
මැතිවරණ සමයේ පොරොන්දු වුණු නව IMF ගිවිසුම තාම නෑ
මැක්රෝ ලින්ක් බොන්ඩ් ක්‍රමවේදය නිසා ණය එකගතාවක් ඇතිව තිබෙන බවත් මේ ක්‍රමවේදය නිසා ආර්ථික වර්ධන වේගය වැඩිවන විට ණය වැඩිපුර ගෙවිය යුතු බවත් මෙය රටට හංගා කළ දෙයක් බවත් ඝානා කියන රට 2022 මූල්‍ය ගැටලුවලට පැමිණි විට මේ ක්‍රමවේද අනුගමනය නොකළ බවත් ආර්ථික වර්ධනය වැඩි වෙන විට ගෙවන ණය වැඩි වන්නේ නම් ආර්ථීක වර්ධනය අඩුවන විට ගෙවන ප්‍රමාණය ද අඩුවිය යුතු බවත් මේ රජය නව IMF ගිවිසුමක් කරා යනවා කිව්වත් එය ද උල්ලංඝනය කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය ව්‍යාපාරවලට උදව් කරනවා කිව්වට ඒ උදව් ලැබෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට විතරයි
රජය ව්‍යාපාරවලට උදව් කරනවා කිව්වත් මේ ව්‍යාපාර බහුතරයක් අසාධු ලේඛනගත වී ඇති බවත් රජය වෙන් කරන මුදල් බැංකු පද්ධතිය හරහා මේ ආසාධු ගත ව්‍යාපාරිකයන්ට මුදල් නොලැබෙන බවත් සමගි ජන බලවේගයේ ද මැදිහත්වීමෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබා ගැනීමට උදව් කළත් බැංකු පද්ධතිය උදව් කරන්නේ ආසාධු ගත ලේඛන නැති අයට බවත් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට උදව් නොලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට ගුරු දිනය අමතක වෙලාද..?
ඊයේ දින ජාත්‍යන්තර ගුරු දිනය සේම අද දින ජාතික ගුරු දිනය සමරන මේ මොහොතේ අධ්‍යාපන ක්ෂේත්රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන් ඉටු කරන මහගු සේවය වෙනුවෙන් ප්‍රණාමය භක්තිය පුදකර සිටින බවත් දුෂ්කර ප්‍රදේශවල සේවාවල නිරත ව සිටින ගුරුවරුන්ට අදාළ දුෂ්කර දීමනා වැඩි කිරිමත් ඔවුන්ගේ ගමන් පහසුව සඳහා ආධාර උපකාර ලබා දීමත් දුෂ්කර සීමාව වැඩි කිරීමේ දී වත්මන් ආර්ථික තත්ත්වයට ගැලපෙන ලෙස සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගුරුවරුවන්ට දෙනවා කිව්ව 2/3 තාම නෑ
එදා ගුරුවරුන්ගේ හිඟ වැටුප් සම්බන්ධයෙන් පෙළපාලි ගිය වත්මන් රජයේ අය ට මේ 2/3 දීමනාව ගැන මතක් කරන බවත් මෙරට ගුරුවරුන් දළ වශයෙන් 240000ක් පමණ සිටින බවත් ගුරු උපදේශකවරුන් 3400ක්, අධ්‍යාපඥයන් 6500ක් ඇතුළු විදුහල්පතිවරුන්ට අද ගුරු දිනයේදී ප්‍රණාමය සහ ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී කාර්යාලයේ වසර 37ක සේවා කාලයක් අවසන් කරමින් අද දින විශ්‍රාම ගන්න උපුල් සෝමරත්න මහතාගේ නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ගත කරන්න හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.