මෛත්‍රී පළි ගත්තාට මම පළි ගන්නේ නැහැ -රවී-

මහා බැංකු ඇමති මම ද..? වානිජ්‍ය බැංකු ඇමති මම ද..? රනිල්-කබීර් කෝ..? ජනතාව ඇත්ත තේරුම් ගෙන සිටිනවා එවකට ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට එරෙහිව අභූත සහ අසත්‍ය චෝදනා එල්ල…
මහා බැංකු ඇමති මම ද..?
වානිජ්‍ය බැංකු ඇමති මම ද..?
රනිල්-කබීර් කෝ..?
ජනතාව ඇත්ත තේරුම් ගෙන සිටිනවා
එවකට ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කළ මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට එරෙහිව අභූත සහ අසත්‍ය චෝදනා එල්ල කරමින් නඩු පවරා තමාගේ චරිතය ඝාතනය කර තමාගෙන් දේශපාලන වශයෙන් පළි ගත්තාට ඔහුගෙන් එසේ පළි ගැනීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමා සාක්කි-සාධක ඇතිව හෙළිදරව්වක් කළ අතර සම්බන්ධයෙන් ඔහු ක්‍රියා කළ යුතු ආකාරය තමා පැහැදිලිව කියා ඇතැයි ද, ඒ අනුව ජනතාව ඇත්ත තේරුම් ගනු ඇතැයි ද රවී කරුණානායක මහතා සඳහන් කළේය.
හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක රවී කරුණානායක මහතා මේ බව අවධාරණය කර සිටියේ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී සෙනසුරාදා (05) පැවැති උත්සවයකට සහභාගී වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"ශ්‍රී ලංකා මහා බැංකුවේ ඇමති ලෙස එදා ක්‍රියා කළේ මම ද..? නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා. වානිජ්‍ය බැංකුවල ඇමති ලෙස ක්‍රියා කළේ මම ද..? නැහැ. කබීර් හෂීම්. ඒ අය කෝ..? මහා බැංකු බැඳුම්කරයක් අල්ලා ගෙන බොරු චෝදනා එල්ල කර මට එරෙහිව නඩු පවරා මගේ චරිතය ඝාතනය කර මගෙන් දේශපාලන වශයෙන් පළි ගත්තා. බොරු නඩු. මේ නඩු ගෙන යන්න බැහැ. උසාවියට ගරු කරන අප උසාවියෙන් සාධාරණය ඉටු වන තුරු නිහඬව බලා සිටිනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා මගේ චරිතය ඝාතනය කරමින් මගෙන් පළි ගත්තාට මට එතුමාගෙන් පළි ගන්න කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. නමුත් සාක්කි-සාධක ඇතිව මම එතුමා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළා. ඒ සම්බන්ධයෙන් එතුමා කළ යුතු දේ මම කියා තිබෙනවා."