අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රී දැන් ඉන්නේ ලක්ෂ පනස් අටේද..? ලක්ෂ හැට දෙකේද..?

මෛත්‍රී දැන් ඉන්නේ ලක්ෂ පනස් අටේද..? ලක්ෂ හැට දෙකේද..?

මෛත්‍රී ආණ්ඩුවේද..? විපක්ෂයේද ..?. බැනපු අයටත් චන්ද්‍රිකාගෙන් ඇමැතිකම්..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටුණේ ශ්‍රීලනිපයේ මහා ලේකම් එස්.බී. ඇතුළු ජි.එල්.,බන්දුල වැනි ප්‍රබලයන්…

මෛත්‍රී ආණ්ඩුවේද..? විපක්ෂයේද ..?.

බැනපු අයටත්  චන්ද්‍රිකාගෙන් ඇමැතිකම්..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව වැටුණේ  ශ්‍රීලනිපයේ මහා ලේකම් එස්.බී. ඇතුළු ජි.එල්.,බන්දුල වැනි ප්‍රබලයන් විශාල පිරිසක් විපක්ෂයට ගිය නිසාය. අසරණ වූ චන්ද්‍රිකා වහාම මහ මැතිවරණයක් කැඳවනු ලැබිය. ඒ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් එජාපයට ආ එස්.බී.., ජි.එල්. සහ බන්දුලලා චන්ද්‍රිකාට කැත විදිහට පහර ගැසීය.

වරක් එස්.බී. කිව්වේ චන්ද්‍රිකා රෙදි නැතිව ලන්කට් එක පිටින් පාරේ දුවවනවා කියාය. චන්ද්‍රිකා සහ සනත් ගැන කතා කියමින් චන්ද්‍රිකාගේ හොරකම් ගැන චෝදනා කරමින්,චන්ද්‍රිකාට විස්කි මැඩම් යැයි  කියමින් චන්ද්‍රිකාගේ උපාධිය හොර උපාධියක් කියමින් ඔවුහු වේදිකාවල චන්ද්‍රිකාව ඉවරම කළහ.

2001 මහ මැතිවරණයෙන් එජාපය ජයගනු ලැබීය. එතකොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් තිබුනේ නැත. චන්ද්‍රිකාට ඕනෑ නම් ඇමති ධූර  සියල්ල තමා යටතට ගත හැකිව තිබිණි. තමා හිතන හිතන ඇයට ඇමැතිධුර ලබා දිය හැකිව තිබිණි. තම පක්ෂය වූ ශ්‍රීලනිප අයට වුවද ඇමති ධූර  දිය හැකිව තිබිණි. එත් ඇය  ආරක්ෂක ඇමති ධූරයත්  එජාපයට දුන්නාය. ඇය  කිසිදු ඇමති ධූරයක්  තියා ගත්තේ නැත.

හැමෝම බලා සිටියේ චන්ද්‍රිකා රෙදි නැතිව ලන්කට් එක පිටින් පාරේ දුවවනවා කී  එස්.බීට ඇය ඇමති ධූරය  දෙන්නේ කෙසේද කියාය. එස්.බී.ව පක්ෂයේ මහා ලේකම් කලේ චන්ද්‍රිකාය. එහෙව් එස්.බී. තමාට ද්‍රෝහී වී තම ආණ්ඩුව වට්ටවන්න කුමන්ත්‍රණය කර තිබියදීත්  ඇය එස්.බී ට ඇමති ධූරය දුන්නාය. රනිල් එස්.බීට නිර්දේශ  කළේ  කෘෂිකර්මාන්ත සහ සමෘද්ධි ඇමති ධුරයය.

78 ව්‍යවස්ථාවට අනුව ඇමති ධූර  පත් කරන්න අගමැතිගෙන් උපදෙස් අවශ්‍ය නැත. එත් චන්ද්‍රිකා එස්.බී.ට ඇමතිධුරය දුන්නාය. දුන්නේ අහක බලාගෙනය. හැමෝම ඒ ජවනිකාව දුටුවහ. එස්.බී.ට පමණක් නොව තමා දේශපාලනයට ගෙන ආ ජි.එල්. තමාට විරුද්ධව කුමන්ත්‍රණය කොට තිබියදීත් ඇමති ධූරයක් දුන්නාය. බන්දුලට දුන්නේ මුදල් නියෝජ්‍ය ඇමති ධුරයය.

මෙයින් කියන්න හදන්නේ චන්ද්‍රිකාගේ හොදකම නොවේ. චන්ද්‍රිකා නොව ශක්‍රයා ජනාධිපති පුටුවේ හිටියත් පාර්ලිමේන්තු බහුතරය තියෙන්නේ කාටද, බහුතරය හිමි කෙනාට ආණ්ඩුව හදන්න ඇමතිධුර තෝරන්න අවස්ථාව දිය යුතුය. චන්ද්‍රිකා ආරක්ෂක ඇමති ධුරයවත් තියා නොගත්තේ ඇය විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ නායිකාව වන නිසාය. ඇමතිධුර තියා ගන්නයි, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයේ නායකකම කරන්නයි දෙකක් බැරිය. එක්කෝ ආණ්ඩුවේ සිටිය යුතුය. නැත්නම් ජනධිපති ධුරයේ සිටිමින් විපක්ෂයට නායකත්වය දිය යුතුය.

මෛත්‍රීට වැරදිලා තියන තැන මෙතැනය.  මෛත්‍රී ආණ්ඩුවෙයි, විපක්ෂයෙයි දෙකේම නායකකම කරන්න ගියේය. මිනිස්සු මෛත්‍රීව ජනාධිපති කළේ  මෛත්‍රී සහ රනිල් ලවා රට ආණ්ඩු කර ගන්නටය. මිනිස්සු 2015 මහා මැතිවරණයේදී යු.ඇන්.පී. යට ඡන්දය දුන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුවක් ඕනෑ වූ නිසාය. එත් මෛත්‍රී මේ බව තේරුම් ගත්  බවක් පෙනෙන්න තිබුණේ නැත. ඔහු ආණ්ඩුවට නායකත්වය දෙනවාට වඩා විපක්ෂයට නායකත්වය දෙන්න කැමති වුවා වගේය. එහෙත් ඔක්තෝබර් 26 වන තෙක් ඔහු ජාතික ආණ්ඩුවක් ගෙන ගියේය. 26ට පසු මහින්ද අගමැති කිරීමෙන් ඔහු 2002 චන්ද්‍රිකා සිටි තැනට වැටුණි.

ඒ කියන්නේ ඔහු තව දුරටත් ආණ්ඩුවක නායකයෙක් නොවේ. විපක්ෂයේ නායකයෙකි. එසේ නම් ඔහුට ඇමතිධුර තබාගැනීමට හෝ ඇමතිධුර ගැන තීරණ ගන්න අයිතියක් නැත. ෆොන්සේකාට ඇමතිධුර දෙන්න බැහැ  කියන්න ඔහුට අයිතියක් නැත. ෆොන්සේකා මෛත්‍රීට එරෙහිව කුමන්ත්‍රණය කළ  අයෙක් නොවේ. මෛත්‍රීව කරේ තියාගෙන ගොස් ජනාධිපති කළ අයෙකි. ඔහු මෛත්‍රී සමග අමනාප වුයේ නීතිය සහ සාමය ඇමතිධූරය  මෛත්‍රී ඔහුට නොදුන් නිසාය. ඒ ගැන කෝපයෙන්, ඔහු කළ විවේචන නිසා මෛත්‍රී ඔහුට ඇමතිධූරය නොදෙනවා නම් චන්ද්‍රිකා එස්.බී. ට ඇමති ධූරය  දෙන්න කී රනිල්ව හිරේ දැමිය යුතුව තිබිණි.

චන්ද්‍රිකා හැම දේම ඉවසුවේ ශ්‍රී ලංකාකාරයන් පමණක් නොව රටේ මිනිසුන් ඇස් ඇරගෙන බලා ඉන්න බව දන්නා නිසාය. අද මෛත්‍රී දිහාත් මිනිසුන් ඇස් ඇරගෙන  බලා සිටි. හැබැයි මෛත්‍රී හිතන්නේ තමන් දිහා බලාගෙන ඉන්නේ ශ්‍රී ලංකාකාරයන් පමණක් කියාය.

මෛත්‍රී රනිල්ව පන්නා මහින්දව අගමැති කළ  දින සිටම මෛත්‍රීගේ 2015 ජනාධිපති ජනවරම අහෝසි විය. ඒ ජනවරම දුන්නේ යු.ඇන්.පී ආණ්ඩුවකටය. මහින්ද විරෝධී එක්සත් ජනතා නිදහස් සන්ධාන විරෝධී ආණ්ඩුවකටය.

මෛත්‍රී ජනතාව ජනවරම දුන් ආණ්ඩුව පන්නා දැමීමෙන් පරාජිත මහින්දගේ ලක්ෂ 58ට එක් විය. දැන් මෛත්‍රීට ලක්ෂ 62ට උරුමකම් කියන්න බැරිය.

එක්කෝ මෛත්‍රී තමා යටතේ ඇමතිධුර තබා ගෙන රනිල්ට සහ  යු.ඇන්.පී ට ආණ්ඩු කරගෙන යන්න ඉඩ දී යළි ඒ ලක්ෂ 62ට එක්විය යුතුය. නැත්නම් ඇමතිධුර අතහැර ලක්ෂ 58කට ගොස් 2002 චන්ද්‍රිකා වගේ   යු.ඇන්.පී යෙන් ගේම ඉල්ලිය යුතුය. එක්කෝ දොන්ය නැත්නම් සිමන්ය. දොන්-සිමන් දෙකම බැරිය.

මෛත්‍රී දැන් ඉන්නේ ලක්ෂ පනස් අටේද..? ලක්ෂ හැට දෙකේද..?

-ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මෛත්‍රී දැන් ඉන්නේ ලක්ෂ පනස් අටේද..? ලක්ෂ හැට දෙකේද..? | Lanka Newsweek