අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"මෛත්‍රී-ට්‍රම්ප්" දෙන්නම බය නායකයා..!

"මෛත්‍රී-ට්‍රම්ප්" දෙන්නම බය නායකයා..!

කරු සහ නැන්සි -මෛත්‍රී සහ ට්‍රම්ප්..! විශ්‍රාම යන අදහස වෙනස් කර ගන්න වෙයිද..? උඩ පනින ට්‍රම්ප්ව නැන්සි මෙල්ල කළ හැටි..! (උපුල් ජෝෂප් ප්‍රනාන්දු) >පසුගිය සතියේ අපූරු ප්‍රවෘත්තියක් මාධ්‍යන්හි පළවී…


කරු සහ නැන්සි -මෛත්‍රී සහ ට්‍රම්ප්..!

විශ්‍රාම යන අදහස වෙනස් කර ගන්න වෙයිද..?

උඩ පනින ට්‍රම්ප්ව නැන්සි මෙල්ල කළ හැටි..!

"මෛත්‍රී-ට්‍රම්ප්" දෙන්නම බය නායකයා..!

(උපුල් ජෝෂප් ප්‍රනාන්දු)

>පසුගිය සතියේ අපූරු ප්‍රවෘත්තියක්  මාධ්‍යන්හි පළවී තිබිණි. එම ප්‍රවෘත්තියේ   සඳහන් වුයේ ජනාධිපති මෛත්‍රීපාල අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා දෙවැනි වතාවටත් එවපු නම කතානායකවරයාගේ සහභාගිත්වයෙන් යුත් ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කළ බවය. තමාගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වීම ගැන මෛත්‍රී කම්පනයකින් පසුවෙනවාද දන්නේ නැත. 

19වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තමාට උවමනා පරිදි අගමැති පත් කරන්න මෛත්‍රී ගත් තීරණය ද පාර්ලිමේන්තුවේ අභියෝගයට ලක කළේ කතානයකවරයාය. “ කරු එදා එජාපය ඇතුළු පක්ෂය මහින්දට එරෙහිව ගෙන ආ විස්වාස  භංගය ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නේ නැති  නම් එජාපය අදත් විපක්ෂයේ..”

දැන්වීම

මේ මහින්දගේ පැත්තෙන් ඇහෙන අදෝනාවය. කතාව ඇත්තය. හැබැයි විස්වාස  භංගය පිළිගන්නා පෙර කරු මහින්දව අගමැති ලෙස පිළිගත්තේය. කතානායක ලෙස කරුට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ව්‍යවස්ථාව නොතකා තීරණය ගන්නා ජනාධිපතිවරයෙක් සමගය. කරු හරියට ඇමරිකාවේ නාහෙට නාහන ට්‍රම්ප්ව මෙල්ල කරනා නැනසි පෙලොසි වගේයි. ඇමරිකාවට හිසරදයක් වී ඇති ට්‍රම්ප්ගේ දේශසීමා තාප්පය නතර කරගෙන ඉන්නේ නැන්සි පෙලොසිය.

ට්‍රම්ප් ඇමරිකාව පාලනය කරන්නේ වළං කඩේට පැන්න හරකෙක් වගේය . ඔහු කාටවත් බය නැත. ඔහු හැමෝම සමග හොට පටලවා ගෙන ඇත. ඔහු බය කතානායක නැන්සි පෙලොසිට විතරය. ඇමරිකා දේශසීමාවේ තාප්ප්පයක් ඉදි කරන ට්‍රම්ප්ගේ විකාරය ඇය නතර කර ඇත. ට්‍රම්ප් දැන් ඇයට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත. එහෙත් ඇමරිකාවේ අනෙක් ආයතන පාලනය කරනවා වගේ ට්‍රම්පට නැන්සි පෙලොසිව පාලනය කරන්න බැරිය. තමාට එරෙහි දෝෂාභියෝගයකට පාර කපන්න ඇයට පුළුවන් බව ට්‍රම්ප් දනී. මේ නිසාම ට්‍රම්ප් ඉන්නේ ඇය ගැන බියෙන්ය.

නැන්සි පොලෝසිගේ වයස අවුරුදු 78කි.“ ඇයව වසර ගණනාවක් තිස්සේ ඇමරිකානු ජනතාව, මාධ්‍ය විසින් අවතක්සේරු කර තිබුණා..”

මාධ්‍යවේදිනියක් එලෙස ලියා තිබිණි. ඇය විටෙක මැතිවරණවලදී පරාජයට පත් විය. ඇයව එරට මාධ්‍ය හැදින්වුයේ ආපසු ඒමක් ගැන සිතන්න බැරි දේශපාලනඥයකු ලෙසය. එහෙත් ට්‍රම්ප්ගේ විකාරරූපී චරිතය ඇයව අද ඇමරිකාවේ ප්‍රබලතම කාන්තාව නැත්නම් දේශපාලනඥයා  බවට පත් කොට ඇත. අද ඇමරිකානු මාධ්‍ය  ඇයව හදුන්වන්නේ ට්‍රම්ප්ගෙන් ඇමරිකාව බේරාගන්නා විමුක්තිකාමිය  ලෙසය. දේශසීමා  තාප්පය  සම්බන්ධයෙන් ට්‍රම්ප් මොන තරම් කෑමොර දුන්නත් පසුගිය සතියේ කළ ජනමත සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ රටේ  ආරක්ෂාව  සම්බන්ධයෙන් ට්‍රම්පට වඩා නැන්සි පෙලොසිගේ පාර්ලිමේන්තුව ගැන ඇමරිකානු ජනතාව විස්වාස  කරන බවය.

නැන්සි පෙලොසි සහ කරු අතරත් සමානකම් තිබේ. 2015 ජනාධිපතිවරණයෙන් සෝභිතහිමිගේ ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා වූ ව්‍යාපාරයේ පොදු අපේක්ෂකයා ලෙස කරුව  නම් කොට තිබුණත් මෛත්‍රී අපේක්ෂකයා බවට පත් විය. ඉන්පසු කවුරුත් ඔහු ගැන කතා කළේ නැත. මෛත්‍රී ජනාධිපති වූ පසු රනිල් පිහිට වූ ආණ්ඩුවේ කරුට ලැබුනෙත් කමකට නැති ඇමති ධුරයකි. කරු 2015 මහ මැතිවරණය තරඟ නොකොට ජාතික ලැයිස්තුවෙන් ආවේ දේශපාලනයෙන් විශ්‍රාම යන කාලය හරි යැයි හිතාගෙන විය යුතුය.

රනිල් කරුට කතානායක ධූරය පිරිනමුවේ ද දේශපාලනයෙන් විශ්‍රාම ගන්න හිතන අයෙකුට විශ්‍රාම යෑමට පෙර දිය හැකි හොදම තනතුර එය යැයි සිතා විය හැකිය. එහෙත් මෛත්‍රී ඔක්තෝම්බර් 26 මහ රෑ ගත් හදිසි තීන්දුවෙන් සියල්ල වෙනස් විය.

පාර්ලිමේන්තුව තුළ ඔහු සිංහයකු සේ නැඟී සිටිද්දී මෛත්‍රී ඔහුට බය විය. ඒ බය අනෙකක් නොව කරු තමාට එරෙහිව දෝෂාභියෝගයක් පිළිගනිය කියන බයය.

>මුලින් කරුට ගහන්න මහින්දවාදින් සේම තම ශ්‍රීලනිප ගෝලයන්ද උසි ගැන්වූ මෛත්‍රී පසුව කරුට සුදු කොඩි එසෙව්වේය. අන්තිමේදී අර්බුදය විසදන්න කරු මැදිහත් කර ගන්න මෛත්‍රීට අවශ්‍ය විය.

ඔක්තෝම්බර් 26 රාත්‍රියේ මේ තීරණය ගත්තේත් මහින්ද ඒ තීරණය පිළිගෙන අගමැති ධූරය භාරගත්තෙත් කරු පතෝල යැයි සිතාගෙනය. කරුගේ වයසම වූ 78 හැවිරිදි නැන්සි පෙලොසි කතානායක ධුරයට පත් වන විටත් ඇමරිකානුවන් සිතුවේ ඇය කතානායක ධූරය බබළවන්න ආ අයෙකු නොව කතානායක ධූරයෙන් බැබලෙන්න ආ අයකු බවය. එත් ට්‍රම්ප්ගේ විකාරවලින් සියල්ල වෙනස් විය. පතෝල කරු මහාමේරු පර්වතයක් බවට පත් වුයේත් මෛත්‍රී ව්‍යවස්ථාව නොතකා ගත් තීරණය නිසාය.

පතෝල කරු එක රැයකින් සිංහයකු වුයේ 2020 ජනාධිපති අපේක්ෂකම බලාගෙන යැයි මහින්දවාදීහු කිහ. එත් ඔහු මහින්දව විපක්ෂනායක ධූරයට පත් කළේ 2020 ජනාධිපති අපේක්ෂකම ගැනීමට පමණක් නොව ජනාධිපතිවරණය  ජය ගැනීමටත් තීරණාත්මකව බලපාන සම්බන්ධන්ව අමනාප කරගෙනය.

ට්‍රම්ප්ව මෙල්ල කිරීම නැන්සි පෙලොසිට ඇමරිකානු ඉතිහාසය භාරදුන් රාජකාරියක් යැයි ඇමරිකානුවන් කියයි. කරුත් එහෙම හිතනවා ද දන්නේ නැත. හැබැයි දේශපාලනයෙන් විශ්‍රාම යන අදහස වෙනස් කරගන්න එහෙව් ඉතිහාසයම කරුට බල කරමින් සිටි.

"මෛත්‍රී-ට්‍රම්ප්" දෙන්නම බය නායකයා..!

-ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
"මෛත්‍රී-ට්‍රම්ප්" දෙන්නම බය නායකයා..! | Lanka Newsweek