"මෛත්‍රී එපා කියයි-මහින්ද බැහැ කියයි"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

මුදල් අමාත්‍යංශයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජනපති-අගමැති ගැටෙති..! නාලක ගොඩහේවා-ලක්ෂ්මන් හුලුගල්ල-ගාමිණී අබේරත්න-කපිල චන්ද්‍රසේන ජනපතිට ප්‍රශ්නයක්..! (රසික මහගෙදර) අග්‍රාමාත්‍ය මහින්ද…
මුදල් අමාත්‍යංශයේ ආයතනවලට සභාපතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් ජනපති-අගමැති ගැටෙති..!
නාලක ගොඩහේවා-ලක්ෂ්මන් හුලුගල්ල-ගාමිණී අබේරත්න-කපිල චන්ද්‍රසේන ජනපතිට ප්‍රශ්නයක්..!
(රසික මහගෙදර)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දරන මුදල් අමාත්‍යංශය යටතේ පවතින ප්‍රධාන සහ විශේෂ ආයතන හතරකට ප්‍රධානීන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මත ගැටුමක් මේ වන විට නිර්මාණය වී තිබේ.
දෙපාර්ශවය අතර මේ ගැටුම ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට ආචාර්ය නාලක ගොඩහේවා මහතා ද ලංකා හොස්පිටල් ආයතනයේ සභාපති ධූරයට ලක්ෂ්මන් හුලුගල්ල මහතා ද හිල්ටන් හෝටලයේ සභාපති ධූරයට ටැක්සි අබේ නොහොත් ගාමිණී අබේරත්න මහතා ද ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සභාපති ධූරයට කපිල චන්ද්‍රසේන මහතා ද පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ක්‍රියා කිරීමට යන තත්ත්වය හමුවේය.
මේ සිව් දෙනාටම විවිධ දුෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධව චෝදනා ද ඒ අතරින් ඇතැම් අයට එරෙහිව අධිකරණ හමුවේ නඩු ද පවතින තත්වය හමුවේ ඒ ඒ ආයතනවල සභාපති ධූර සඳහා ඒ අය පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය විරෝධය පළ කර තිබේ.
නව ආණ්ඩුව පත් කිරීමෙන් පසුව ඒ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ සංස්ථා ඇතුළු ආයතනවල සභාපති ධූර සඳහා රාජ්‍ය සේවයේ සිටින ජේෂ්ඨ නිලධාරීන් තාවකාලිකව වැඩ බලන ප්‍රධානීන් ලෙස පත් කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ චක්‍ර ලේකයක් නිකුත් කරනු ලැබ ඇත්තේ මොවුන් මේ ආයතන හතරේ සභාපතිවරුන් ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට නොහැකි වන දේශපාලන උපක්‍රමයක් ලෙස යැයි ඉහළම පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන පාර්ශව දෙක අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිකුරාදා (23) පැවති විශේෂ සාකච්ඡාවේදී, මේ පුද්ගලයින් ඒ ඒ තනතුරු සඳහා පත් කිරීමට තමාට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර ඇතත් "lankanewsweek" වෙත වාර්තා වන ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ ජනාධිපතිවරයා එහිදී ඒ සම්බන්ධයෙන් කිසිදු අවසන් තීන්දුවක් දී නොමැති බවය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සහ දේශපාලන බුද්ධි තොරතුරු "lankanewsweek" සමග සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ මේ චක්‍ර ලේකය නොතකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ පුද්ගලයින් ඒ ඒ තනතුරු සඳහා පත් කරනු ඇති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
