අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මෛත්‍රීගේ “මංගල සූත්‍රය” ගැන එජාපෙ අවදියෙන්..!

මෛත්‍රීගේ “මංගල සූත්‍රය” ගැන එජාපෙ අවදියෙන්..!

“රැ ඩැනියෙල්ලා-දවල් මිගෙල්ලා” මෛත්‍රීගෙන් ගොඩ ගිහිල්ලා..! (සුජිත් මංගල ද සිල්වා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මංගල සමරවීර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් අතර රහස් දේශපාලන…

“රැ ඩැනියෙල්ලා-දවල් මිගෙල්ලා” මෛත්‍රීගෙන් ගොඩ ගිහිල්ලා..!

මෛත්‍රීගේ “මංගල සූත්‍රය” ගැන එජාපෙ අවදියෙන්..!

(සුජිත් මංගල ද සිල්වා)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මංගල සමරවීර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සුළු පිරිසක් අතර රහස් දේශපාලන ගනුදෙනුවක් තිබෙන බවට පැතිර ගොස් තිබූ ආරංචි,කැබිනට් ඇමතිවරුන්ගේ විෂයන් සහ කාර්යභාරයන්ට අදාළව ජනාධිපතිවරයා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයත් සමග තහවුරු වෙමින් පවතින්නේ යැයි එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා ගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී ලෙස අරගල කළ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරුන් ගණනාවකගේ තටු කපා,තමාට “පර බල්ලා” ලෙස කුණු හරුපයෙන් බැන වැදුණු මංගල සමරවීර මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ගැසට් පත්‍රය මගින් අමාත්‍යවරයෙකු සතු වැඩිම සහ ප්‍රබලම ආයතන සංඛ්‍යාව වූ ආයතන 48ක් ලබා දෙමින් ඔහු වඩාත් බලවත් කිරීමෙන් ඒ බව මානව පැහැදිළි වන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් “lankanewsweek” සමග පැවසූහ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම කැබිනට් ඇමති ලැයිස්තුවෙන් කප්පාදු කළ ජනාධිපතිවරයා,ඇමතිවරුන්ගේ විෂයන් සහ කාර්යභාරයන්ට අදාළව නිකුත් කරනු ලැබූ අති අති විශේෂ ගැසට් පත්‍රය මගින් විශේෂයෙන් සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල් සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට ද, දැඩි දේශපාලන ප්‍රහාරයක් එල්ල කර ඇති බව පැහැදිළි වන්නේ යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන,කන්ද උඩ රට උරුමය සහ මහා නුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාට ජනාධිපතිවරයා සිය ගැසට් නිවේදනය මගින් ලබාදී තිබෙන්නේ ආයතන හතරක් පමණක් වන අතර ඒ සියල්ල ද බංකොලොත් වූ ආයතන වේ.

එමෙන්ම සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ මීට පෙර පැවති සියලුම රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතන මංගල සමරවීර මහතා යටතට පත් කර තිබේ. මෙහි විශේෂම සිද්ධිය වන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා යටතේ පවතින කන්ද උඩරට උරුමය සහ මහ නුවර සංවර්ධනය පිළිබඳ අමාත්‍යංශය වෙනුවෙන් කිසිදු රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් ගැසට් කර නොතිබීමය.

විදුලි බල,බල ශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දී තිබෙන්නේ ආයතන හතක් පමණක් වන අතර ඔහු යටතේ පවතින ව්‍යාපාර සංවර්ධන විෂයට අදාළව ද, නිශ්චිත රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතන කිසිවක් අදාළ ගැසට් පත්‍රයේ සඳහන්ව තිබෙන බව නොපෙනේ.

බුද්ධ ශාසන සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත පවරා ඇත්තේ ආයතන තුනක් පමණක් වන අතර වයඹ සංවර්ධනයට අදාළව කිසිදු ආයතනයක් ඔහු වෙත පවරා දී නොමැත.

කාන්තා,ළමා සහ වියලි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස චන්ද්‍රානි බණ්ඩාර මහත්මියට ආයතන පහක් ලබා දී ඇති නමුත් ඒ අතර වියලි කලාපීය සංවර්ධනයට අදාළව නිශ්චිත කිසිදු ආයතනයක් නොමැත.

වරයා,නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා යටතේ ආයතන හතරක් පමණක් ගැසට් කර ඇතත් දක්ෂිණ සංවර්ධන ක්‍ෂේත්‍රය වෙනුවෙන් කිසිදු ආයතනයක් එම ගැසට් පත්‍රයේ සඳහන් නොවන අතර පොදු සැපයීම් සහ ආර්ථික සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පවරා දී තිබෙන්නේ ප්‍රතිපත්ති අධ්‍යන ආයතනය පමණක් වේ.

මේ අතර මංගල සමරවීර මහතාට පසුව ජනාධිපතිවරයා වැඩිම ආයතන සංඛ්‍යාවක් ලබාදී තිබෙන්නේ නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත වන අතර එම සංඛ්‍යාව විසි හයකි. දක්ෂිණ සංවර්ධන විෂය යටතේ පැවති ගාලු උරුමය පදනම ද,අධ්‍යාපන අමත්‍යංශය යටතේ පැවති පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ද සජිත් ප්‍රේමදාස මහතා යටතට පත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයට එරෙහිව සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක කරු ජයසූරිය මහතා සමග එක්ව පාර්ලිමේන්තුවේ ද,රවී කරුණානායක මහතා තිරය පිටු පස සිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනීමට මහින්ද රාජපක්ෂ පාර්ශවයට ඉඩ නොතබා ඒ අය රැක ගනිමින් ද,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා සමග මුහුණට මුහුණ ද, කළ සටන ඊට හේතු වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ බහුතරයේ ස්ථාවරය වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබූ අවස්ථාවේදී, මංගල සමරවීර මහතා ඔහුට “පර බල්ලා” යැයි කියමින් කුණු හරුපයෙන් බැන වැදීමත් සමග පළුදු වූ “මෛත්‍රී-මංගල” සබඳතාවය යළි ගොඩනැගීමට මැදිහත් වී ඇත්තේ ක්‍රිෂාන්ත කුරේ මහතාය.

ක්‍රිෂාන්ත කුරේ යනු උදේට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගත්,දවල්ට කතානායක කරු ජයසූරිය මහතා සමගත්,සවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාත්‍රියට මංගල සමරවීර මහතාත් සමග සිටිමින් සිය පෞද්ගලික අභිමතාර්ථය වෙනුවෙන් සියලු දෙනා අන්දවන දේශපාලන හතර වරම් කාරයෙකු බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පෙන්වා දෙති.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස යළි දිවුරුම් දෙන අවස්ථාවට සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ කාරියවසම්,සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල,දොස්තර රාජිත සේනාරත්න,අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවකට අවසර නොදුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට පරුෂ වචනයෙන් පවා බැන වැදුණු මංගල සමරවීර මහතාට ඊට සහභාගීවීම සඳහා අවසර දුන්නේ ක්‍රිෂාන්ත කුරේ මහතා මැදිහත් වී දෙපාර්ශවය අතර යළි ඇති කළ ඒ සබඳතාවය සහ අවබෝධය නිසා යැයි ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කෙරුණාට පසුව මුදල් සහ ජන මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා යටතේ පවතින “ලේක්හවුස්” ආයතනයේ සභාපතිවරයා ලෙස ක්‍රිෂාන්ත කුරේ මහතා යළි පත් කර තිබෙන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර මහතා නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

රනිල් වික්‍රමසිංහ වාදියෙකු ලෙස මවා පාමින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ද නියෝජනය කරන ක්‍රිෂාන්ත කුරේ මහතා අගමැතිවරයාගේ හිතවතෙකු නොව ජනාධිපතිවරයාගේ දේශපාලන අන්තේවාසිකයෙකු බව මේ අනුව මානව පැහැදිළි වන්නේ යැයි අගමැතිවරයාට සමීප එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් “lankanewsweek” සමග පැවසීය.

මොහු ඇතුළු එවැනි අන්තේවාසිකයින් මාර්ගයෙන් මංගල සමරවීර මහතා ජනාධිපතිවරයා ද,අගමැතිවරයා ද,කතානායකවරයා ද,සජිත් ප්‍රේමදාස මහතා ද,  පමණක් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවය ද, සමග ගැටුමක් ඇති නොවන අයුරින් පවත්වා ගෙන යන දේශපාලන සන්නිවේදනය,අවබෝධය සහ ගනුදෙනු ද මේ සිද්ධීන්ගෙන් පැහැදිළි වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

මේ අනුව කිනම් පාර්ශවයක් මේ රටේ බලයට පත් වුණත් මංගල සමරවීර මහතාට එහි ස්ථාන ගත විය හැකි යැයි පෙන්වා දුන් එම නිලධාරියා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුලින්ම කැබිනට් ඇමති ලැයිස්තුව සකස් කිරීමේදී මුදල් ඇමති ධූරය සඳහා යොදා තිබුණේ මංගල සමරවීර මහතාගේ නම නොවන නමුත්, එම ඇමති ධූරය තමාට නොදෙන්නේ නම් දේශපාලන තීරණයක් ගැනීමට සිදු වන බවට ඔහු කළ බලපෑම හමුවේ අවසන් මොහොතේදී ඔහුට එම ඇමති ධූරය ලබාදීමට අගමැතිවරයාට සිදු වූ බව ද හෙළි කළේය.

මෛත්‍රීගේ “මංගල සූත්‍රය” ගැන එජාපෙ අවදියෙන්..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
මෛත්‍රීගේ “මංගල සූත්‍රය” ගැන එජාපෙ අවදියෙන්..! | Lanka Newsweek