අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් කරලා

මුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් කරලා

දුර්දාන්ත ආණ්ඩුවට කතිරයෙන් දඬුවම් කරන්න ජනතාව බලා සිටිනවා රට කරන්න බැරි නම් ආණ්ඩුව භාර දී වහාම ගෙදර යනු වහාම මැතිවරණයක් කැඳ වනු-තව දුරටත් රට බංකොලොත් නොකරනු -සජිත් පෙරමදාස කියයි- (සුජිත් මංගල ද…

දුර්දාන්ත ආණ්ඩුවට කතිරයෙන් දඬුවම් කරන්න ජනතාව බලා සිටිනවා 

රට කරන්න බැරි නම් ආණ්ඩුව භාර දී වහාම ගෙදර යනු 

වහාම මැතිවරණයක් කැඳ වනු-තව දුරටත් රට බංකොලොත් නොකරනු 

-සජිත් පෙරමදාස කියයි- 

(සුජිත් මංගල ද සිල්වා) 


අවුරුදු දෙකක් ඇතුළත දී මේ ආණ්ඩුව මුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් බවට පත් කර රට වනසා ජනතාව විනාශ කර ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි. 

හම්බන්තොට, සූරිය වැව පැවැති ජන හමුවකට එක් වෙමින් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේ, ගෙවුණු අවුරුදු දෙක ඇතුළත මේ රට අඟලක් හෝ ඉදිරියට ගෙන යමින් ජනතාවට සහනයක් සැලසීමට මේ දුර්දාන්ත ආණ්ඩුව අසමත් වී ඇති බවය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කියා සිටියේය.  

දැන්වීම

"නගරයෙන් නගරයට, ගමින් ගමට, දොරින් දොරට ජනතාව අතරට ගිහිල්ලා ජනතාවගේ අදහස්වලට සවන් දී ලා යෝජනාවලට ඇහුම්කන් දී ලා, චෝදනාවක් කළොත් ඒවත් නිහතමානීව භාර ගෙන පොදු ජනයාට මුල්තැන දී ලා, පොදු ජනයා පෙරටු කර ගත් පොදු ජන වාදී ජන හිතකාමී දේශපාලන ගමනක් අප මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ජනතාවගේ දුකට, කඳුළට, වේදනාවට, අදහස්වලට, යෝජනාවලට සහ චෝදනාවලට සවන්දී ලා තමයි රටේ ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කළ යුත්තේ.  ජනතාවගේ හද ගැස්ම හදුනා ගෙන තමයි මෙරට සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්න ඕනේ. රටේ ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් ලොකුවට කතිරය ගසා සිය ජනවරමින් මේ පාලකයින් පත් කළා. ඒ පාලකයින්ම මේ වන විට එම ජනවරම පාගා ජනතාවට ද්‍රෝහී වෙමින් සිටිනවා. 

මොහොතකට හිතල බලන්න අලුත් ආණ්ඩුව පත් වෙලා අවුරුදු  දෙකක කාලයක් වෙනවා. මේ කාලය ඇතුළත දී මේ ආණ්ඩුව අපේ රට අගලක් වත් ඉදිරියට ගෙන විත් තිබෙනවද..? මේ රටේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට මුල COVID-19 වසංගතය බව ආණ්ඩුව කියමින් සිටිනවා. අපි අහන්න කැමතියි මේ ආණ්ඩුවේ හේතු දක්වන ඇත්තන්ගෙන් COVID-19  වසංගතය ආවේ ශ්‍රී ලංකාවට විතරද කියලා. 

මේ වසංගතය අස්සේ පවා ලෝකයේ අනෙක් රටවල්වල විදේශ ආයෝජන වැඩි වෙනවා. අපේ රට බින්දුවටම බහිනවා. ඒ රටවල්වල ආර්ථික වර්ධන වේගය ඉහළ  යනවා. අපේ රටේ පහුගිය කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ වෙනවා. ඒ රටවල්වල COVID නිසා ම අලුත් කර්මාන්ත ශාලා, නව නිර්මාණ සහ නව අදහස්වලින් අලුත් සංවර්ධනයක් ඇති වෙලා. ඒ රටවල්වල විරැකියාවෙන් සිටින තරුණ පරපුරට රැකියා  ලැබෙන කොට අපේ රටේ විරැකියා පෝලිම වැඩි වෙනවා. 

මේ ආණ්ඩුවේ ප්‍රධානීන් මේ රටේ තිබෙන ඔක්කොම ප්‍රශ්නවලට හේතුව COVID-19 ප්‍රශ්නය කියලා එම වසංගතය ඉදිරියට දමන කොට ලෝකයේ රටවල් රාශියක් COVID-19  සමයේ ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා. අවුරුදු දෙකක කාලයක් ආණ්ඩුව මොකක්ද කරලා තියෙන්නේ. අපේ රට කඳුළු පාරාදීසයක් කරලා. අඳුරු පාරාදීසයක් කරලා. කුස ගිනි පාරාදීසයක් කරලා. අපේ රට ජාතික සම්පත් විකුණුම් පාරාදීසයක් කරලා. ඒ දේ නම් මේ ආණ්ඩුව හොඳටම කරලා තියෙනවා. 

මේ ආණ්ඩුව බලයට ගෙන ආ ගොවි ජනයාව විනාශ කරලා. අමනෝඥ ප්‍රතිපත්ති ඔස්සේ  ගොවියාගේ ජන ජීවිතය විනාශ කළා. ගොවියාට සහන ලබා දෙන්න සල්ලි නැහැ කියලා ආණ්ඩුව කියනවා. ගොවියට කියනවා දැන් ඔන්න යුරියා ගන්න පුළුවන් කියලා. හැබැයි ගාන කියන්නේ නෑ. සමහර ප්‍රදේශවල යූරියා කිලෝ ග්‍රෑම් 50 මිටිය රුපියල් දොළොස් දාහයි-පහළොස් දාහයි. තවත් දිස්ත්‍රික්කවල 25,000යි. කොහොමද ආශ්චර්ය..? සෞභාග්‍ය දැක්ම..? 

හැබැයි අසුචි පොහොර ගෙන්නපු විදේශීය සමාගමට ඩොලර් බිලියන ගණන් ගෙවන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා. අවුරුදු හැටක් මේ පොහොර  සහනාධාරය තිබුණා. අවුරුදු හැටක් තිබුණ පොහොර සහනාධාරය මේ ආණ්ඩුව ඉවත් කරලා අසූචි පොහොර ගෙන්නපු විදේශීය සමාගමට ඩොලර් කුට්ටි පිටින් ගෙවනවා. හැට නම ලක්ෂයක් මේ ආණ්ඩුවට වරම දුන්නෙ ඒ සඳහාද..? 

ගෑස් සමාගම් හොර රහසේ කපටිකමට සංයුතිය වෙනස් කරන කොට මේ ආණ්ඩුවෙ වග කිව යුත්තන් කිසි කෙනෙක් හොයල බැලුවේ නෑ. කිසිම කෙනෙක් අවසානයේ ගෑස් සිලින්ඩර පිපිරුණා. ලිප් ටික පිපිරුණා. කුස්සි ගිනි ගත්තා. නිවෙස් ගිනි ගත්තා. මිනිස් ජීවිත  අහිමි වුණා. අදටත් හරියාකාර විසඳුමක් නැහැ. ජනතාවට අද සිද්ධ වෙලා තියෙන්නේ තට්ටු මාරු ක්‍රමයට පෝලිම්වල ඉන්න. එක දවසක් යනවා ගෑස් පෝලිමට. ඊළඟ දවසෙ කිරිපිටි පෝළිමට. ඊටත් පස්සේ යනවා භූමිතෙල් පෝලිමට. මේ වන විට හාල් පෝලිමත් නිර්මාණය වෙලා. ඉදිරියේදී පරිප්පු පෝලිමත් ඇති වෙයි. සීනි පෝලිමත් එනවා. 

පෝලිම් යුගය පැටව් ගහලා. සියල්ලටම හේතුව ඔලමොට්ටල ක්‍රියාකලාපයයි. ජනතාව ගැන නොසිතන හිතක් පපුවක් නොමැති ආණ්ඩුවක් බලයට පත් වුණ  සැනින්ම  තමාට වරම ලබා දුන් ලක්ෂ ගණනකගේ  ඡන්ද අයිතිය පාගා දැමුවා. යුනිසෙෆ් ආයතනය කරලා තියෙනවා වැදගත් සමීක්ෂණයක්. ආසියානු සහ පැසිපික් කලාපයේ ආහාර සුරක්ෂිතභාවය සහ පෝෂණය ගැන ඉතාමත් වැදගත් වාර්තාවක් ඒ අය ඒ සමීක්ෂණය ඔස්සේ ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාවෙනුත් අපේ ශ්‍රී ලංකාව කප් ගහලා තියෙනවා. ඒ වාර්තාවට දකුණු ආසියාවේ අඩු බර දරුවන් වැඩියෙන්ම ඉන්න රටවල් අතරෙන් අපේ රටට දෙවැනි ස්ථානයට පත් වෙලා. 

මේ යුනිසෙප් වාර්තාවත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා හෙට දවසේ කවුරුහරි කියයි. ශ්‍රේණි ගත කිරීම්වලට ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියලා පහු ගිය කාලේ කියපු ඇත්තෝ ඒ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා නොදුන් නිසා අද රටක් හැටියට අපේ රට බංකොලොත්භාවයට පත් වීමේ අවදානමට ලක් වෙලා. එදා හිතුවේ නෑ අද ඇති වෙන ඩොලර් හිඟය ගැන. 

පාර්ලිමේන්තුවට ආවොත් ඇද බාන්නේ බොරු බේගල්. මේ ආණ්ඩුව දිනුවේ ආගම්වාදයෙන්, ජාතිවාදයෙන් සහ මුසාවාදයෙන්. කාර්ඩ් බෝර්ඩ් දේශප්‍රේමීත්වයෙන්. ආණ්ඩුව සිංහල බෞද්ධකම තුට්ටු දෙකට දා ලා ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කරලා. අද වෙලා තියෙන්නේ පාලකයන්ට අධි පෝෂණය. රටේ ජනතාවට මන්දපෝෂණය. පාලකයන්ට ප්‍රශ්න නැහැ. 

මම එදා කිව්වා ජනතාවගේ දෙපතුල ළඟට ඇවිල්ල ජනතාවගේ ප්‍රශ්න විසඳනවා කියලා. ලක්ෂ කීයක් හිනා වුණා ද..? අද ඒ හිනාව කණගාටුවට කාරණාවක් වෙලා. ඒකට හැදුවා ඉතාමත් අසභ්‍ය කතාවක්. වීඩියෝ පට හැදුණ. ඒව දැකල ගැහුව කතිරේ. අද මුළු රටම විනාශයි. අපේ රටේ උසට සරිලන බර නොමැති අවුරුදු පහට අඩු දරුවන්  14% ඉන්නවා. කවුද  මේ දරුවන්ට පිහිට වෙන්නේ. අඩු බර සහිත දරුවන් 16%යි. එම දත්ත අපි කිවුවහම කියයි විපක්ෂයයි ජාත්‍යන්තර එක්ක එකතු වෙලා කරන කුමන්ත්‍රණයක් කියලා. 

පෙර පාසල් දරුවන් 29% කට විටමින් ඌනතාවයක් තියෙනවා. මේ මන්දපෝෂණ තත්ත්වයට මොකක්ද විසඳුම. අපේ දරු පරපුරට අවශ්‍ය ධාන්‍ය, එළවළු පළතුරු, මස්, මාලු, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන  ලබා දෙන්නට ඕනි. කඩේකට ගිහිල්ලා බලන්න. ඒවා දරා ගත හැකි මිලකට ගන්න පුළුවන්ද කියලා . බහුතර ජනතාවකට එදා වේල් තුන පිරිමහ ගන්නට බෑ. පාලකයන්ට ගැටලුවක් නැහැ. පාලකයන්ට සම්පත්, පහසුකම් ,වරප්‍රසාද සහ වරදාන  තියෙනවා. ඒවා එන්න එන්න වැඩි වෙනවා. ජනතාව ගේ වරප්‍රසාදයන් එන්න එන්න අඩු වෙනව. 

අපේ රටේ ගොවියන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ප්‍රමිතියෙන් අඩුයි කියලා ඒවා විනාශ කරන කොට ඇමතිවරයෙක් කියනවා මේක සාපරාධී ක්‍රියාවක් කියලා. රටේ ජනතාව අහනවා කිරිපිටි හිඟයට, ගෑස් පිපිරිමට, පොහොර පිපිරීමට, ගොවියා විනාශ කරපු එකට කවුද දඩුවම් ලබන්න ඕනි කියල. අහස උසට බඩු මිල ඉහළ යන කොට කවුද දඩුවම් ලබන්න ඕනි. දැක්ක දැක්ක තැන පෝලිම් යුගය නිර්මාණය කරපු අයට දඬුවම් ලබාදිය යුතු නැද්ද..? 

ජනතාව බොහොම උනන්දුවෙන් බලා ගෙන ඉන්නවා කතිරයෙන් දඬුවම් දෙන්න. දැන් අවස්ථාව එළඹිලා තියෙන්නේ මෙරට ජනතාවට. මේ දුර්දාන්ත යුගයේ නිර්මාණකරුවන්ට උත්තර බඳින යුගය උදා වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාන්සේලාට මේ වැඩේ හරියට කරන්න බැරි නම් වහාම මැතිවරණයක් කැඳවන්න. 

සමගි ජන බලවේගයේ අපි සූදානම්  ඕන මැතිවරණයකට මුහුණ දී ලා මේ රටේ ජනවරම හරහා පොදු ජන ආණ්ඩුව බිහි කරන්න. මැතිවරණ ජයග්‍රහණය කරන්නට නම් අපි  ආසන වශයෙන් සංවිධානය වන්නට ඕනි. අපි කොට්ඨාස මට්ටමින් ශක්තිමත් වෙන්නට ඕනි. සංවිධායකකම නාම පුවරුවක් විතරක් කර ගන්න එපා. ශක්තිමත් සංවිධානයක් ගොඩනගන්නට ඕනි. මගේ පවුලේ ලක්ෂ දෙසිය විස්සක් ඉන්නවා. හැමෝම මගේ පවුල ලෙස සලකලයි මං කටයුතු කරන්නේ. සමගි ජන බලවේගය අභ්‍යන්තරයේ පවුල් වාදයක් නෑ."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
මුළු රටම අඳුරු-කඳුළු පාරාදීසයක් කරලා | Lanka Newsweek