මිහිතලා නා හිමියෝ නව නිදහස් අරගලයකට නායකත්වය දෙති

අරගලය ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් ඇරඹේ මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු ජාතික මහා සමුළුව ඔක්තෝබර් 14දා පැවැත් වේ රට-ජනතාව වෙනුවෙන් කිසිම පක්‍ෂයක් නැහැ වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ අවධාරණය කරති…
අරගලය ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් ඇරඹේ
මහා නා හිමිවරුන් බැහැදැකීමෙන් පසු ජාතික මහා සමුළුව ඔක්තෝබර් 14දා පැවැත් වේ
රට-ජනතාව වෙනුවෙන් කිසිම පක්‍ෂයක් නැහැ
වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ අවධාරණය කරති
නිදහස ලැබීමෙන් පසුව රටේ සියලු ජනයා පීඩාවට පත් කළේ එදා සිට මේ දක්වා පැවැති පාදඩ දේශපාලනය බවත් රටේ ජනතාව වෙනුවෙන් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයකු පෙනී නොසිටින බවත් එබැවින් එම ජනතාව වෙනුවෙන් ඓතිහාසික මිහින්තලා පුද බිමෙන් නව නිදහස් අරගලය ආරම්භ කරන බවත් මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණෝ අවධාරණය කර සිටිති.
මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් මේ බව පැවසුවේ බ්‍රහස්පතින්දා (28) මිහින්තලා රජ මහා විහාරයේ දී පැවැති විශේෂ ජනමාධ්‍ය හමුවකදීය.
නිදහස් අරගලය වෙනුවෙන් පවත් වන මහා සමුළුවට පෙර ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගන්නා අතර අනතුරුව සිව් දිගින් එන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් සහ ආගම් භේදයකින් තොරව එන සියලුම ගිහියන්ගේ සහභාගිත්වයෙන් එළැඹෙන 2023 ඔක්තෝබර් මාසයේ 14 වැනිදා සවස 2.00 ට එම ජාතික මහා සමුළුව ඓතිහාසික මිහින්තලා පුදබිමේදී පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේ පැවසූහ.
දැන්වීම
රටේ ක්‍රියාත්මක වන විනයක් නොමැති අසංවර සහ පාදඩ දේශපාලනය අවසන් කිරීම සඳහා එකට ඒකරාශී වන ලෙස සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති හිමියෝ මෙහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.
ඓතිහාසික මිහින්තලා රජ මහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන්ගේ නායකත්වයෙන් යුතුව 2023 ඔක්තෝබර් මාසයේ දී මහා සඟ සමුළුවක් පවත්වා රටට අවැසි වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු ආනන්ද සාගර නා හිමියෝ මෙහිදී අවධාරණය කර සිටියහ.
ඉන්දියානු ආක්‍රමණයට විරුද්ධව ස්වදේශික සහ ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත වැඩ පිළිවෙළක් 2023 ඔක්තෝබර් මාසේ දී ඓතිහාසික මිහින්තලා පුද බිම මැද මළුවේ දී ජාතිය හමුවේ එළිදක්වන බව ද ආනන්ද සාගර නා හිමියෝ කියා සිටියහ.
සමාජ මාධ්‍ය වාරණ පනත වැනි විවිධ පනත් ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ප්‍රශ්න යට ගැසීමට ක්‍රියා කරන බව ද, ඒ වැඩ පිළිවෙළවළ වහා හකුලා ගත යුතු බව ද පෙන්වා දුන් ආනන්ද සාගර නා හිමියෝ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් බුද්ධි අංශ යෙදවීම වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා සිදු කරනුයේ උද්ඝෝෂණ සහ ජනමාධ්‍ය සාකච්ඡා වාරණය කිරීම පමණක් බවට ද චෝදනා කර සිටියහ.