මිනී මරුවන්ට ඇඳ කෝටිපතියන් බිය ගන්වා කප්පම් ඉල්ලූ යුවළ මාට්ටු

(ජයකාන්ත ලියනගේ) කොස්ගොඩ, සිව් පුද්ගල ඝාතනය සිදු කරන ලද්දේ තමන් විසින් බව පවසමින් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයින් සිව් (04) දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 220 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලූයේ යැයි කියන…
(ජයකාන්ත ලියනගේ)
කොස්ගොඩ, සිව් පුද්ගල ඝාතනය සිදු කරන ලද්දේ තමන් විසින් බව පවසමින් ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයින් සිව් (04) දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 220 ක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරන්දෙණිය පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද අඹුසැමි යුවලක් ඇතුළු සැකකරුවන් තිදෙනකු 2017 නොවැම්බර් 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ අංක 80,මෝදර, කොස්ගොඩ ලිපිනයේ පදිංචි තුයියාදුර විදුරගේ නිරෝෂණ මැන්දිස් ගුණසේකර (39) ඔහුගේ බිරිඳ වන එම ලිපිනයේම පදිංචි වනිගමුණි රුවනි විජේමාලි මැන්දිස් (39) සහ නො. 414/ 2, නෙල්ලිකැළේ, නානතොට, කොස්ගොඩ ලිපිනයේ පදිංචි කලූදේව චන්දන ද සොයිසා (37) යන තිදෙනාය.
දැන්වීම
කොස්ගොඩ සිව් පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සදහා ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කොස්ගොඩ පොලීසියේ සහයට යෙදවූ කරන්දෙණිය පොලීසියේ සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන තිබේ.
කරන්දෙණිය පොලීසියට ව්‍යාපාරිකයින් දෙදෙනකු විසින් කරන ලද වාචික පැමිණිලි ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ කරන්දෙණිය පොලීසිය සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගේ හා ව්‍යාපාරිකයින්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවද කරන්දෙණිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
කොස්ගොඩ හතර දෙනා මැරුවේ තමන් බවත් ජීවත් වෙන්න ඕනෑනම් මුදල් ලබාදෙන ලෙසත් ඉල්ලමින් කප්පම්කරුවන් මෙසේ තර්ජනය කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
රුපියල් ලක්ෂ 50 බැගින් කප්පම් ඉල්ලූ දෙදෙනකු මෙසේ කරන්දෙණිය පොලීසියට වාචික පැමිණිලි කර තිබුණි. බිය හේතුවෙන් ඔවුන් නියමාකාරයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු නොකළ බවද කරන්දෙණිය පොලීසිය කියයි.
නමුත් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් දෙදෙනා සහ රුපියල් කෝටියක කප්පම් ඉල්ලූවේ යැයි තවත් ව්‍යාපාරිකයෙක්ද කරන්දෙණිය පොලීසියටත් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලූයේ කියන තවත් ව්‍යාපාරිකයෙක් ඌරගස්මන්හන්දිය පොලීසියටත් විධිමත් ලෙස පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. සැකකරුවන් විසින් කප්පම් ඉල්ලූ තවත් අය සිටී නම් බියනොවී පොලීසියට පැමිණිලි කරන ලෙසද කරන්දෙණිය පොලීසිය ඉල්ලා සිටී.
කප්පම් ඉල්ලීම සදහා සැකකරුවන් විසින් භාවිතා කරන ලද ජංගම දුරකතන 03 ක්ද කරන්දෙණිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝම්බර් 29 වන ඉරිදා කොස්ගොඩදී මෙම සිව් පුද්ගල ඝාතනය වාර්තා විය. ජගමුණි මහින්ද පේ‍්‍රම රාජා ද සොයිසා (51)ඔහුගේ පුතුන් දෙදෙනා වන ජගමුණි අයේෂ් ධනංජය ද සොයිසා (22) ජගමුණි දුමිඳු විශ්මිත ද සොයිසා (13) යන එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනාත් උක්වත්ත ආරච්චිලාගේ කපිලරත්න පෙරේරා (39) නැමැති අයත් මෙසේ ඝාතනය කර තිබුණි.
කොස්ගොඩ, කුරුඳුගම් පියසේ පදිංචි නිලෙන්ති සුදිල සුරන්ජන ද සිල්වා (14) නැමැති අයටද වෙඩිතබා බරපතල තුවාල සිදුකර තිබුණි. මෙම සිව් පුද්ගල ඝාතනයේ ප්‍රධානතම සැකකරුවන් ලෙස හදුනාගෙන ඇත්තේ කොස්ගොඩ, නානතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) සහ 2 කණුව, නානතොට, කොස්ගොඩ පදිංචි සුවාරිස් දේශාන් අබේසේකර (22) යන දෙදෙනාය.
මෙයින් ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නැමැති අයගේ නමින් සහ ඔවුන්ගේ කණ්ඩායමේ අය ලෙස පෙනී සිටිමින් කප්පම්කරුවන් ව්‍යාපාරිකයින්ගෙන් මෙසේ මුදල් ඉල්ලා තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.
ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතාගේ මෙහෙයවීම යටතේ කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ සහ පොලිස් සැරයන් රණධීර (6021) සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.