මිනිසුන්ගේ මර බිය අස්සේ කොළඹ ඉඩම් වික්කේ මෙහමයි

"Port City" ගැන තිබුණු තදියම එන්නතට තිබුණා නම් මිනිස් ජීවිත රැකෙනවා ආණ්ඩුවේ චෞර ප්‍රතිපත්තිය පරදවමු..! රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තිබිය දී, වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව තිබුණු…
"Port City" ගැන තිබුණු තදියම එන්නතට තිබුණා නම් මිනිස් ජීවිත රැකෙනවා
ආණ්ඩුවේ චෞර ප්‍රතිපත්තිය පරදවමු..!

රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තිබිය දී, වරාය නගර කොමිෂන් සභා පනත සම්මත කර ගැනීමට ආණ්ඩුව තිබුණු තදියම COVID-19 එන්නත ආනයනය කිරීමට තිබුණා නම් මිනිස් ජීවිත රැසක් බේරා ගැනීමට තිබුණු අතර රටට මේ තරම් විනාශයක් අත් වන්නේ ද නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අවධාරණය කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ ඉරිදා (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව පෙන්වා දුන් විජිත හේරත් මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.
දැන්වීම
රටේ ජනතාවට සංචරණ සීමා පනවලා තිබිය දී, වරාය නගර කොමිෂන් සභා පනත පුදුම හදිසියකින් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ආණ්ඩුව ක්‍රියා කළා. ඒ හදිසිය කොරෝනා එන්නත ගන්න තිබුණා නම් අපේ රට මේ ව්‍යසනයට පත් වන්නේ නැහැ. මේ සියල්ල සිද්ධ වෙන අතරේ 2021 මැයි මාසේ 05 වැනිදා කැබිනට් මණ්ඩලයට සුපුරුදු පරිදි රටේ ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණන කැබිනට් පත්‍රිකාවක් දැම්මා.
ඒ සෙලෙන්දිවා ඉන්වෙස්ට්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයෝජන සහ ක්‍රමෝපාය සංවර්ධන කියන කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එහි සඳහන් වන්නේ එම ආයතනය මහ භාණ්ඩාගාරයේ 100%ක් කොටස් අයිතිය සතුව හදන බව. ඊට පස්සේ සෙලෙන්දිවා සමාගමට අනුබද්ධ තවත් සමාගමක් හදනවා. ස්පෙෂල් පර්පස් වෙහිකල් කියලා අලුතින් හදන එම සමාගමේ කොටස් 49%ක් සෙලෙන්දිවා සමාගමේ අයිතියට පත් කරනවා.
මේ කොම්පැණිය හරහා රටේ සම්පත් විකිණිල්ල සම්පූර්ණයෙන් සිදු කරනවා. "එකී පරිපාලන සමාගමේ වත්කමක කොටස්වලින් 49%ක් දක්වා මූලිකව නිදහස් කරනු ඇති අතර එහිදී පාලනය සහ පාලන බලය රඳවා ගනු පිණිස නිදහස් කළ වත්කමේ රන්මුවා කොටස් ප්‍රමාණයක් සෙලෙන්දිවා ආයතනය විසින් දරනු ලැබේ." යනුවෙන් කැබිනට් පත්‍රිකාවේ 2.4 වගන්තියේ සඳහන් වෙනවා.
ඒ වගේම "දිගු කාලීන බදු අයිතිය හෝ කළමනාකරණ අයිතිය පමණක් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පැවරීමේ විකල්ප ක්‍රමය අනුගමනය කිරීමටද සෙලෙන්දිවා ආයතනය බලාපොරොත්තු වේ" යනුවෙන් එහි 6 වැනි වගන්තියේ සඳහන් වනවා. එපමණක් නොව, "වඩාත් සුදුසු ප්‍රාග්ධන ව්‍යූහය සාක්‍ෂාත් කිර ගැනීම සඳහා ණය හෝ ව්‍යාපාරික වස්තු පොදුවේ අලෙවි කිරීම යන දෙක අතුරින් සුදුසු අංගය අනුගමනය කර අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට නියමිතය." යනුවෙන් 7 වැනි වගන්තියේ සඳහන් වනවා. එමෙන්ම “නව අනුබද්ධ සමාගමේ කොටස් නිකුත් කිරීම හෝ මුලින් ගෙවීම් කිරීමට සෙලෙන්දිවා ආයතනය විසින් නාගරික සංවර්ධන අධිකාරිය සමග අන්‍යොන්‍ය වශයෙන් එකඟත්වයකට පත්විය හැකිය." යනුවෙන් ද කියනවා.
අපේ රටේ වාණිජ වශයෙන් ඉතාම වටිනා ඉඩම් අක්කර 1.7ක භූමි ප්‍රමාණයක් තිබෙන ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, අක්කර 0.75ක භූමි ප්‍රමාණයක පිහිටි ගෆූර් ගොඩනැගිල්ල, අක්කර 1.5ක පිහිටි විදේශ අමාත්‍යාංශ ගොඩනැගිල්ල, අක්කර 0.18ක පිහිටි මහ තැපැල් කාර්යාලය, අක්කර 1.37 පිහිටි සීනෝර් රෙස්ටුරටන් දේපළ, අක්කර 5ක වෝටර්ස් ඒජ් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ අක්කර 11 සහ කංකසන්තුරේ පිහිටි ජාත්‍යන්තර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන භූමිය විකුණන්න සූදානම් වෙනවා.
එස්.පී.වී. කියන සමාගම හදන්නේ මේ විකිණීමේ ක්‍රියාවලියට. උපාය මාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සියලු බදු සහන ලබා දෙන බව සඳහන් වෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්නේ එහෙම. ඒ හා සමානම තත්ත්වයක් මේ ක්‍රියාවලියෙන් ද ඇති වනවා.
වැලිකඩ බන්ධනාගාරය සම්බන්ධයෙන් වෙනම ම කැබිනට් පත්‍රිකාවක් තිබෙනවා. ඒ 2021 මැයි 05 වනිදා කොරෝනා අස්සේම ගෙනා තවත් පත්‍රිකාවක්. වැලිකඩ බන්ධනාගාරයේ අක්කර 42ක භූමි ප්‍රමාණයක් විකුණලා හම්බ වෙන සල්ලිවලින් කළුතර බන්ධනාගාරයක් හදන්න යනවා. බිලියන 30.6ක මුදලක් ගන්න බලාපොරොත්තු වෙන බව පැහැදිලිව සඳහන් වෙනවා.
අවුරුදු 99ක් හෝ අවුරුදු 198ක්, වගේ කාලවලට කොළඹ නගරයේ වටිනා ඉඩම් පුද්ගලික කොම්පැණිකාරයන්ට දෙනවා. ආණ්ඩුව බලයට එන්න කලින් කීවේ එක්සත් ජාතික පක්‍ෂයෙන් විකුණන ඒවත් ආපහු ගන්නවා කියලා. හැබැයි ආපු ගමන් ෂැංග්‍රිලා හෝටලයේ පිටු පස්සේ ඉඩම සිංගප්පූරු සමාගමකට වික්කා.
පෝට් සිටිය පාර්ලිමේන්තුවේ සම්මත වෙන කොටම ඊට සමාන්තරව කොළඹ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා. මේ පාර කපන්නේ මේ රටේ දුප්පත් ජනතාවටද..? මේ බරපතළ අපාරධයක්. හේන රකින්න තමයි පඹයා හැදුවේ කියලා ටයි කෝට් අන්දලා පෙන්වනවා. කොළඹ වාණිජ නගරයේ ඉඩම් රකින්න සෙලෙන්දිවා සමාගම හදන බව පෙන්වලා ජනතාව රවටනවා. ඒ කියන්නේ මිනිස්සු මාරාන්තික බියකින් ජීවත් වන අතරේ ඉඩම් ටික විකුණන්න කැබිනට් පත්‍රිකා දානවා
එක පැත්තකින් කොරෝනාවෙන් බැට කන ජනතාවට උත්තර නැහැ. ඒ අස්සේ ඉඩම් ටික විකුණනවා. අනික් පැත්තෙන් අහක යන නැව් ගෙන්වා ගෙන පරිසරය විනාශ කරනවා. පොහොර ගෙන් වන එක නවත්වලා ගොවි ජනතාව විපතට හෙළා කාබනික පොහොර ගෙන්වන්න වෙනම මාෆියාවක් හදන්න යනවා. මුළු රටේම ජනතාව විපතෙන් විපතට පත් වෙලා. ඒ නිසා මේ ආණ්ඩුවේ ඔළමොට්ටල සහ චෞරයන් රකින වැරදි ප්‍රතිපත්තියට එරෙහිව අවධානය යොමු කරන්න කියලා රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. රටේ සම්පත් රැක ගැනීම වෙනුවන් අවදි වී නැගී සිටින්න කියලා ඉතා ඕනෑකමින් ජනතාවට කියා සිටිනවා.
