අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරනු

මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරනු

සීනි මිල වැඩි වීමේ වගකීම ගජ මිතුරන්ට වාසි දුන් ආණ්ඩුව භාර ගත යුතුයි වසංගතයෙන් චීනයේ මිය ගිය ප්‍රමාණය වගේ දෙගුණයක් අපේ රටේ මිය ගිහින් ආණ්ඩුව මිනිස් ජීවිත ලංසු තබලා මේ ආණ්ඩුව යටතේ සංවර්ධනයේ සේයාවක්වත්…

සීනි මිල වැඩි වීමේ වගකීම ගජ මිතුරන්ට වාසි දුන් ආණ්ඩුව භාර ගත යුතුයි 

වසංගතයෙන් චීනයේ මිය ගිය ප්‍රමාණය වගේ දෙගුණයක් අපේ රටේ මිය ගිහින් 

ආණ්ඩුව මිනිස් ජීවිත ලංසු තබලා 

මේ ආණ්ඩුව යටතේ සංවර්ධනයේ සේයාවක්වත් නැහැ

(නිලන්ති මානෙල් චන්ද්‍රසේන) 

රට සංවර්ධනය කිරීම තබා ඒ පිළිබඳ සේයාවක්වත් ලබා දිය නොහැකි බව වර්තමාන ආණ්ඩුව විසින්ම සහතික වශයෙන් ඔප්පු කොට ඇති තත්ත්වය හමුවේ අවම වශයෙන් රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කිරීමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ  සඳහන් වේ. 

කොරොනා වෛරසය ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය වගේ දෙගුණයකට වඩා, එනම් 9000ට ආසන්න පිරිසක් මේ වන විටත් අපේ කුඩා රටට අහිමි වී තිබේ. ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සාමාන්‍ය පුරවැසියන් සේම මේ රටේ අනාගත භාරකරුවන් වන කුඩා දරුවන් විශාල පිරිසක් ද ඒ අතර වෙති.

දැන්වීම

සිය සමිපතයින් අහිමිවීමේ ශෝකය සහ කම්පනය කෙතරම්දැයි කියා අප පෞද්ගලිකව ද අත්විඳ තිබේ. මාගේ දයාබර පියාණන්ගේ අකල් වියෝවේ කම්පනය තවමත් මා අත් විදින අතර එබැවින් මේ අකල්හි සමුගත් සියලු දෙනාගේ සමීපතයින් අත්විඳින කම්පනය පිළිබඳව අපට බරපතළ වටහා ගැනීමක් තිබේ.

අවසන් සතිය පුරාම හාර දහස ඉක්මවූ කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර වෛද්‍ය විශේෂඥයන් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් දෛනික මරණ ප්‍රමාණය දෙසිය සීමාව ඉක්මවා යාම ද බ්‍රහස්පතින්දා (26) සිදු විය. මේ අතර ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා කොරෝනා මරණ සම්බන්ධයෙන්  සාමාන්‍යකරණය සිදු කොට ඇත්තේ කොරෝනා ඇතත් නැතත් දෛනිකව දෙසීයක සීමාව ඉක්මවා මිය යන බවට අඳ බාල ප්‍රකාශයක් කරමින් ය .

දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මිය යද්දීත්, මුළු ලෝකයම මේ ව්‍යසනය පිළිබඳව සලිතව සිටියදීත් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති  සෙම්ප්‍රතිශ්‍යාව තරම් සුළු රෝගයක් පමණක් බව කියාය. මේ ප්‍රකාශ මගින් ම ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලංසුවට තබා ඇති තරමය.

අද වන විට එන්නත්කරණය ගුටි බැට හුවමාරුවලට පෙරළී ඇත. රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර බරපතළ ඖෂධ හිඟයකට රට පත්ව ඇත.
සෞඛ්‍ය සේවකයින්ට දේශපාලකයින් උපදෙස් දීමට යාම හේතු කොට ගෙන ඔවුන් මහත් පීඩනයකට පත්ව ඇත .

රට වසා දැමීමෙන් පසු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ තීන්දුව ලබා දී, ජනතාව පිළිබඳ වගකීමෙන් අත පිසදා ගත් ආණ්ඩුව මේ වන විට ජනතාවට උහුලා ගන්නට බැරි තරමට අත්‍යවශ්‍ය  භාණ්ඩවල මිල ඉහළ දමා ඇත. වී කිලෝ පහක් අලෙවි කළත් අද පවත්නා අධික මිලට සීනි කිලෝවක් මිලට ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇත.
 
බ්‍රහස්පතින්දා (26) වන විට වෙළද පොළේ සීනි කිලෝවක මිල රුපියල් 210 කි. සතියකට පෙර රුපියල් 160ක්ව තිබූ සීනි මිල සති දෙකකට පෙර තිබුණේ රුපියල් 140ක්ව ය. පසු ගිය මාසයේ මිල රුපියල් 115ක් විය. සීනී මිල ඉහළ යාම තමාට පවා අදහගත නොහැකි යැයි පාරිභෝගික රාජ්‍ය ඇමතිවරයාට පවා කියන්නට සිදුවී ඇත.

නමුත්, සීනි බදු වංචාව නිසා රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් වු බව අප 2021 ජනවාරි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී හෙළි කළ අතර මාර්තු මස 16, 23 සහ 24 යන දිනවලද ඒ පිළිබඳව අනාවරණය කළ බව හැංසාඩ් ගතව තිබේ.මේ අසාමාන්‍ය සීනි මිල ඉහළයාමේ වගකීම,
එවන් බරපතළ වංචාවක් හරහා ගජ මිතුරන්ට සහන දුන් ආණ්ඩුව භාර ගත යුතුය.

මෑතක ඇති වූ බරපතළම උද්ධමනයටද මේ වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත. ආණ්ඩුව ලබා ගැනීමට පෙර එහි නායකයින් කියන ලද සියලු ජනතාවාදී කතා සහමුලින් පුස්සක් බවට පත්ව ඇති අතර ලබා දුන් සියලු පොරොන්දු ද අමානුෂික ලෙස කඩා දමා ඇත. නිරෝධායන ඇඳිරි නීතිය පනවා රට වසා දමා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළාට එම පියවර මොනතරම් අසාර්ථක ද යන්න පැහැදිලි වන්නේ අත්‍යාවශ්‍ය නොවන වාහන පවා දහස් ගණනින් මාර්ගවල දකින්නට ලැබෙන හෙයිනි.

මේ රට ගොඩ නැඟීමක්  හෝ සංවර්ධනය කිරීමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබා දිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ, අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය සහතික කරනු | Lanka Newsweek