මැතිසබේ කැත කරන අනංගයෝ

මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික…
මේ රටේ උත්තරීතරම ස්ථානය ලෙස සැලකෙන පාර්ලිමේන්තුවේ සිදුවන ඇතැම් සිදුවීම් මේ රටේ සාමාන්‍ය ආයතනයක වත් සිදු නොවන පන්නයේ හිරිකිත යුගුප්සාජනක ඇඟ ලොමුදැහැගැන්වෙන ඒවාය. එහි ඇතැම් සේවක සේවිකාවන්ට ලිංගික වශයෙන් සිදුවන හිරිහැර මෙන්ම පරිපාලනමය වශයෙන් සිදුවන හිරිහැරද එමටය. සමහරු සිය රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා මෙම හිංසන දරාගෙන විඳගෙන රාජකාරි කරති. තවත් සමහරුන් එම හිංසනයන්ට එරෙහිව අරගල කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතැම් ප්‍රධානීන්ගේ රැවුම් ගැරහුම් වලට මෙන්ම පහරකෑම්වලටද මුහුණදෙමින් සිටිති. මේ සියල්ලටම හේතුව පාර්ලිමේන්තුවේ සමහර නිලධාරින් ඔවුන් මේ රටේ විශේෂිත පිරිසක් හෝ විශේෂිත උරුමක්කරුවන් පිරිසක් ලෙස සිතා කටයුතු කිරීමයි. සමහර නිලධාරීන් තවමත් සිතාගෙන සිටින්නේ තමන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන් සුවිශේෂ වරප්‍රසාද ලත් සුපිරි පිරිසක් බවයි. මේ නිසා
තමන්ට ආහාරපාන ප්‍රවාහන පහසුකම් ඇතුළු සියලු පහසුකම් අනෙකුත් ආයතන වල සේවකයන්ට වඩා ඉහළින්ම ලැබිය යුතු බව ඔවුහු සිතාගෙන සිටිති. පාර්ලිමේන්තුවේ සමහර කටයුතු හෝ අක්‍රමිකතා හෝ මාධ්‍ය මගින් කතා කරන විට හෙළිදරව් කරන විට ඔවුන් ඒවාට දැඩි ලෙස පහර දෙන්නේද උරණ වන්නේද කලබල වන්නේද මේ මනෝභාවය නිසාවෙනි. තවත් සමහරුන් කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ අයිතිකරුවන් සේය. අනුන්ගේ ජීවිත සෙල්ලමට ගෙන තුට්ටු දෙකට ඇද දමන්නේ හිංසා පීඩා කරන්නේ මේ නිසාය. තවත් සමහරුන් විශ්‍රාම ගොස් විශේෂ වරප්‍රසාද යටතේ නැවතත් විවිධ අංශ වලට පැමිණ සේවය කරති. ඒ වෙනුවෙන් වැටුප් දීමනා ඇතුළු වරප්‍රසාද ලබමින් ජනතාවගේ මුදල් විශාල වශයෙන් කාබාසිනියා කරති.ඒ පාර්ලිමේන්තුව මැරෙනතුරු දමා යා නොහැකියි සිතන පිරිසකි. එසේ සිතා කටයුතු කරන අයෙකු මෑතකදී පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක්ද අල්ලා ගෙන එහි පදිංචියට ගියේය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේ ඇමති කාමරයක් වෙන් කෙරෙන්නේ ඇමතිවරුන්ට පමණකි.
මේ රටේ උත්තරීතර ස්ථානයේ ඇතැම් නිලධාරීන් කරන මෙම නොපනත්කම් නොසන්ඩාලකම් හේතුවෙන් නම කැත වන්නේ වෙන කාගේ හෝ නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවනීය මන්ත්‍රීවරුන්ගේය. මන්ද පාර්ලිමේන්තුවේ කුමන හෝ දෙයක් වන්නේ නම් ඒ සියල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගිණුමට බැර කිරීම හෝ චෝදනා කිරීම මේ රටේ සාමාන්‍යයෙන් සිදුවන ක්‍රියාදාමයක් හෙයිනි.කණගාටුවට කරුණක් වුවත් රටේ බොහෝ අයගේ මනෝභාවය සැකසී ඇත්තේද එපරිද්දෙනි.
පාර්ලිමේන්තුවේ ඇතැම් ප්‍රධානීන් විසින් ඇතැම් සේවිකාවන්ට කරන ලදැයි කියන ලිංගික හිංසන පිළිබඳ පසුගිය කාලයේදී මාධ්‍ය මගින් විශාල වශයෙන් තොරතුරු අනාවරණය කෙරිණ. මින් ප්‍රධානම ලිංගික හිංසන සිදුවී ඇතැයි පැවසෙන්නේ පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේය. එහි ඇතැම් ප්‍රධානීන්ට සහ සේවකයන්ට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලවිය.
එහි ප්‍රතිඵලයක් ලෙස පැවැත්වුණු මූලික විමර්ශනයකින් අනතුරුව පාර්ලිමේන්තුවේ සහකාර ගෘහපාලකවරයකුගේ සහ සේවකයන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරිණ.
ඉන් අනතුරුව මෙම සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කෙරුණු අතර එම විමර්ශනය කරනු ලැබුවේ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය විසිනි. සිය සාක්ෂි විභාගයේදී එම දෙපාර්තමේන්තුවේ ලිංගික හිරිහැර පැහැදිලිවම සිදුවී ඇති බවට තොරතුරු තහවුරු කරගත් වීරවර්ධන මහත්මිය සහකාර ගෘහපාලකවරයාගේ සහ සේවකයන් දෙදෙනෙකු පාර්ලිමේන්තුවෙන් නෙරපන ලෙස දන්වමින් පසුගියදා සිය නිර්දේශ ඉදිරිපත් කළාය. ඇයගේ එම නිර්දේශ අනුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා එම තිදෙනාම පාර්ලිමේන්තු සේවයෙන් ඉවත් කිරීමේ ලිපියට අත්සන් තැබුවේය.
දැන්වීම
මෙම ලිංගික හිංසන සිද්ධිය පිළිබඳ මාධ්‍ය මගින් තොරතුරු අනාවරණය කෙරුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ඇතැම් නිලධාරීහු සහ ඇතැම් සේවකයෝ ජනමාධ්‍යයන්ට විවිධ චෝදනා එල්ල කළහ. ඒ මාධ්‍ය අසත්‍ය තොරතුරු ජනගත කරන බවට අභූත චෝදනා නගමිනි. විනිසුරු කුසලා සරෝජනී වීර වර්ධන මහත්මියගේ වාර්තාවෙන් ඔවුන්ගේ එම චෝදනාවලට අවලාද වලට අද නිසි පිළිතුරු ලබාදී ඇත්තේය. පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවෝ 15 දෙනෙක් එම කමිටුව හමුවේ සාක්ෂි දුන්හ. සේවිකාවන් බහුතරයක් තමන්ට ලිංගික හිංසන සිදුවූ බව එහිදී පිළිගෙන තිබිණැයි සඳහන්වේ.
පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවල රැඳී
සිටින සියලු දෙනා රජයේ වෙනත් දෙපාර්තමේන්තුවල මෙන් වසර පහෙන් පහට මාරුකර යැවීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නැත. රාජ්‍ය සේවයේ එවැනි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වන්නේ වංචා දූෂණ සහ විවිධ අක්‍රමිකතා වැළැක්වීමේ පියවරක් ලෙසිනි. වෙනත් විදියකින් කියන්නේ නම් යහපාලනය උදෙසාය.කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට නම් එම ක්‍රමය අදාල ම නැත්තේය. පාර්ලිමේන්තුවේ බොහෝ අංශ ප්‍රධානීහු වසර දහය පහළොව විස්ස යනාදී වශයෙන් ඉහළ පුටුවල වැජඹෙති . බොහෝ දෙනකු ආක්‍රමිකතා සහ හිංසන වලට පෙළඹෙන්නේ මේ නිසාය.මේ තත්වය වැළැක්වීමට රාජ්‍ය සේවයේ පොදු මාරු කිරීමේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවටද එකසේ ඈඳිය යුතුය. එසේ නොවන තාක් දූෂණ වංචා අක්‍රමිකතා සහ කාන්තා හිංසන වැළැක්විය නොහැක්කේය. පාර්ලිමේන්තුවේ ඉහළ පුටුවලට සුදුස්සන් රාජ්‍ය පරිපාලන සේවයෙන් වරින් වර බඳවාගැනීමද
මීට එක විකල්පයකි. ලෝකයේ පිළිගත් සම්මත ක්‍රමවේදය වන්නේද එයමය. ඒ සම්බන්ධයෙන් විශේෂ යෝජනාවක් දැනටමත් ඉදිරිපත්ව ඇත.
කාන්තාවන්ට ලිංගික වශයෙන් හිරිහැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තවත් වැදගත් අංශයක ප්‍රධානියෙකු කල් තියා විශ්‍රාම ගැන්වීමටද පාර්ලිමේන්තු ප්‍රධානීහු පසුගියදා පියවර ගත්හ.ඔහු කාන්තාවන්ට ලිංගික වශයෙන් හිරිහැර කිරීම සම්බන්ධයෙන් නම් දරා සිටි පුද්ගලයකු බව පැවසිණි. එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන්ට උසස්වීම් ලැබීමට අවශ්‍ය නම් ඔහුට ලිංගික අල්ලස් දිය යුතුව තිබූ බව පාර්ලිමේන්තුවේ බොහෝ දෙනකු දන්නා කාරණයකි.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදුවී ඇතැයි පැවසෙන කාන්තාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් කිරීමක් පිළිබඳවද මාධ්‍ය මගින් පසුගියදා තොරතුරු අනාවරණය කෙරිණ.
අනතුරුව මෙම සිද්ධිය පිළිබඳව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් මහතා පාර්ලිමේන්තු සභාගර්භයේදී ප්‍රශ්න කිරීමෙන් එම කාරණය සමාජයේ දැඩි කතාබහට සහ ආන්දෝලනයට ලක්වීමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ නියෝගයෙන් ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කෙරුණේ ඒ අනුවය. පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂිකා ඉන්දිරා දිසානායක මහත්මිය එම මූලික විමර්ශනය පවත්වා එහි වාර්තාව දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට භාරදී ඇත.
එහෙත් තවමත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන ඇති පාටක් නම් පෙනෙන්නට නැත. යම් නිලධාරියකු හෝ නිලධාරීන් පිරිසක් වරදක් කරනවා නම් ඔවුන්ට දඬුවම් කිරීම පරිපාලනයට භාර කටයුත්තකි. එසේ නොවනතාක් නිලධාරීහු බඩ පිනුම් ගසමින් ඒ වැරදි දිගින් දිගටම සිදුකරති. ඇතැම් ප්‍රධානීන්ගේ හිංසනයට ලක්වූ බව කියන නිලධාරිනිය පමණක් දැනට ඇයගේ විෂය පථයට අදාල නොවන වෙනත් අංශයකට මාරුකර යවනු ලැබ සිටින්නීය. පාර්ලිමේන්තු ප්‍රධානීන් පවසන්නේ ඇයගේ ආරක්ෂාව සඳහා එම පියවර ගත් බවකි. ආරක්ෂාව සඳහා යැයි පවසමින් එවැනි පියවරක් ගත්තේ නම් එතන ගැටළුවක් තිබූ බව සක්සුදක් සේ පැහැදිලිය. කෙසේ වෙතත් ඇයට හිංසන කළ බව පැවසෙන ප්‍රධානීන් එම දෙපාර්තමේන්තුවේ පුරසාරම් දොඩමින් තවමත් සුවසේ රාජකාරි කරමින් සිටින බව පාර්ලිමේන්තු සේවකයෝ පවසති.
මෙය දැඩි අසාධාරණයක් මෙන්ම හිරිහරයට ලක් වූ සේවිකාවන්ට යුක්තිය ඉෂ්ට වීමක් නොවන බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සිදුවූ ලිංගික හිංසන සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පැවැත්වූවා සේ මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සේවකයන් පිරිසක් පසුගියදා කතානායකවරයාගෙන් සහ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීමක් කළේ මේ නිසාය. අද පාර්ලිමේන්තුව කාන්තාවන් ගණනාවක් මුල් පුටු හොබවන ස්ථානයකි.එවැනි ස්ථානයක කාන්තා හිංසන සිදුවන්නේ නම් එය කණගාටුවට කාරණයක් නොවන්නේද?
පාර්ලිමේන්තුවේ ඉතිහාසය පුරා ඇතැම් අභ්‍යන්තර විමර්ශන අවසන් වූයේ වින්දිතයන් වැරදිකරුවන් කරමින් බව තතු දත් සේවකයෝ පෙන්වා දෙති.
එසේම තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ගෙන් ඇතැම් සේවිකාවන්ට හිරිහැරවීම් ආරම්භ වී ඇත්තේ අද ඊයේ නොවන බව තතුදත් ආරංචි මාර්ග සඳහන් කළේය. මේ ලිංගික හිරිහැර හේතුවෙන් සේවිකාවන් දෙදෙනෙකු රට පවා අතහැර ගිය බව දැනගන්නට ඇත. අද ඒ ප්‍රධානියාද පාර්ලිමේන්තුවේ නොමැත.
පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාන්තා හිංසන සිද්ධියද පසුගිය දිනවල මැතිසබේත් විවිධ මාධ්‍යවලත් ප්‍රබලව කතා බහට ලක් වූවකි. එසේ හෙයින් මේ සිද්ධියද වින්දිත නිලධාරිනිය පමණක් පැත්තකට මාරුකර වසා දමන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදය මුදුන් මල් කඩ කරගත් පාර්ලිමේන්තුවට තරම් නොවන්නකි. යමෙකුට යුක්තිය ඉෂ්ට නොවීම අපරාධකරුවන්ට තෝතැනි තැනීමක් බව නීතියේද පැහැදිලිව සඳහන්වේ. යහපාලනය වෙනුවෙන් විවිධ සාධනීය පියවර ගණනාවක් ගත් මාලිමා රජය සහ නව කතානායකවරයා මේ සම්බන්ධයෙන් ගන්නා අපක්ෂපාති එඩිතර තීරණය දෙස රටේ යුක්තිය සාධාරණය අගයන බොහෝ පිරිසක් මහත් නොඉවසිල්ලෙන් අද බලා සිටින බව මෙහි අවසන් වශයෙන් සඳහන් කළ යුතුමය.