මැතිවරණ වියදම් නියාමන කෙටුම්පතට කරූගේ ප්‍රණාමය

සාධාරණ-ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් උදෙසා පනත යොදා ගත යුතුයි සාධාරණ සහ ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම උදෙසා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත යොදා ගත යුතු යැයි…
සාධාරණ-ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් උදෙසා පනත යොදා ගත යුතුයි
සාධාරණ සහ ශිෂ්ටසම්පන්න මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීම උදෙසා මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත යොදා ගත යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
මැතිවරණ වියදම් නියාමනයට ලක් කරමින් නිදහස් සහ සාධාරණ මැතිවරණ සංස්කෘතියක් උදෙසා අවශ්‍ය වන සමබිමක් නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබීම පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අප අපගේ බලවත් ප්‍රසාදය පළ කරන්නෙමු.
දැන්වීම
එමෙන්ම එකී පනත් කෙටුම්පත සම්මත කර ගැනීම මගින් ජාතියක් ලෙස අප අපේක්ෂා කරන අරමුණ ඉටු කර ගැනීමට නම් මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මතු කර ඇති සාධනීය විවේචනයන් ද සැලකිල්ලට ගනිමින් එම කෙටුම්පත සම්මත කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන්නෙමු.
ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ශිෂ්ට සම්පන්න කිරීම උදෙසා සෑම දේශපාලන පක්ෂයක් සේම මැතිවරණ අපේක්ෂකයෙකු විසින් ද සිදු කරන වියදම් සහ ඒ සඳහා අරමුදල් රැස් කර ගන්නා ආකාරය පිළිබඳව නියාමනය කිර්‍රීම වගේම ඒ සඳහා යොදා ගන්නා අරමුදල් නීත්‍යානුකූල මාර්ගවලින් ලබා ගන්නා බවට ද සහතික විය යුතුමය. ඒ සඳහා නීතියක් බලාත්මක කර ගැනීම අතිශයින්ම වැදැගත්ය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමෙන් අපේක්ෂා කරන පළාත් පාලන, පළාත් සභා, මහ මැතිවරණ සහ ජනාධිපතිවරණයන් සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ මැතිවරණ වැය නියාමනය කිරීම සාධනීය වන අතරම ඊට අමතරව ජන මත විචාරණ ද ඊට ඇතුළත් කරමින් එහිදී ද එක් එක් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් මගින් සිදු කරන වියදම් එකී නීතිමය රාමුවට ඇතුළත් කළ යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
ඊට අමතරව මැතිවරණයන්හි දී සිදු කරන ප්‍රචාරක සහ අනෙකුත් වියදම් හරහා ඡන්ද දායකයන්ට අනිසි බලපෑම් සිදු කිරීමට දේශපාලන පක්ෂවලට සහ අපේක්ෂකයන්ට හැකියාවන් ලැබෙන ආකාරයට මෙම කෙටුම්පතේ ද දක්නට ඇති ඇතැම් සිදුරු වසා දැමීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු. ඒ අනුව යම් අපේක්ෂකයෙකු වෙනුවෙන් වෙනත් පාර්ශවයක් විසින් යම් මුදලක් වැය කරන්නේ නම් ඒ සදහා අදාළ අපේක්ෂකයාගෙන් හෝ පක්ෂයෙන් පූර්ව අවසරයක් ලබා ගැනීම අනිවාර්‍ය කරමින් නීතියෙන් පැහැදිළි වගවීමකට ලක් කළ යුතුව තිබේ.
එමෙන්ම මුල් පනත් කෙටුම්පතෙහි දක්නට තිබූ ආකාරයට සෑම අපේක්ෂකයෙකුම සිය වියදම් නිශ්චිත බැංකු ගිණුමක් හරහා වැය කළ යුතුව ඇතැයි යෝජනා කර තිබුණ නමුත් මෙමෙ පනත් කෙටුම් පතෙහි එම කරුණ අන්තර්ගත නොවීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතුව ඇත.
එමෙන්ම විදේශ ආධාර ලබන ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති සංවිධානවලින් සේම සමාගම් පනත යටතේ ලාභ නොලබන සමාගම් ලෙස හෝ පාර්ලිමේන්තු පනත් මගින් සංස්ථාපනය කර ඇති සංවිධානවලින්ද මැතිවරණයකදී අරමුදල් ලබා ගත නොහැකි වන ආකාරයට මෙම පනත් කෙටුම් පතටද විදිවිධාන ඇතුළත් කිරීම වැදැගත් වන බව අපගේ නිගමනය යි.
ඒ අනුව මැතිවරණ වියදම් පදනම් කර ගනිමින් මෙවැනි නීතියක් බලාත්මක කර ගැනීමේ අවශ්‍යතාවය වෙනුවෙන් කටයුතු කරන සියලු පාර්ශවයන් වෙත සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපි අපගේ බලවත් සහාය සහ ස්තුතිය පළ කරන්නෙමු.
එමෙන්ම අප ආණ්ඩුවෙන් සේම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ මැතිවරණ කොමිෂන් සභාව මගින් වගේම ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ගණනාවක් විසින් සකස් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ද සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව තුළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ සාර්ථක නීතිමය පදනමක් සකස් කර ගැනීම සදහා පියවර ගැනීමට මෙය අනගි අවස්ථාවක් කර ගන්නා ලෙසය.