අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාධ්‍ය ප්‍රධානීන් රකින්නේ මාධ්‍ය නිදහස ද?රාජපක්ෂ රෙජීමය ද?

මාධ්‍ය ප්‍රධානීන් රකින්නේ මාධ්‍ය නිදහස ද?රාජපක්ෂ රෙජීමය ද?

(සුජිත් මංගල ද සිල්වා) රටේ බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට අවශ්‍ය වී තිබෙන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ද නැතිනම් එම නිදහස ආරක්ෂා කරමින් යහ පාලනයට පහර දී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය යළි තහවුරු කිරීමට ද යන…

(සුජිත් මංගල ද සිල්වා)

රටේ බොහෝ මාධ්‍ය ප්‍රධානීන්ට අවශ්‍ය වී තිබෙන්නේ මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ද නැතිනම් එම නිදහස ආරක්ෂා කරමින් යහ පාලනයට පහර දී ඒකාධිපති රාජපක්ෂ රෙජීමය යළි තහවුරු කිරීමට ද යන ප්‍රශ්නය මතුව ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී  පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, තාජ් සමුද්‍රා හෝටලයේදී සඳුදා (04) පැවැති මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහි අන්තර්ජාතික සමුළුවට සහභාගී වෙමිනි.

දැන්වීම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

මෙම අන්තර්ජාතික සමුළුවේ අරමුණ මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව පෙළගැසීමයි. රාජපක්‍ෂ රෙජිමය යටතේ එම අපරාධ එකක් සම්බන්ධයෙන්වත් ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. තමන්ගේ හිතුමනාපයට ඕනෑම මාධ්‍යවේදියෙකුට පහරදුන්නා. අත්අඩංගුවේ තබා ගත්තා. අද අපි මේ පවත්වන වැදගත් උත්සවයට මාධ්‍යවේදීන්, මාධ්‍ය ප්‍රධානීන් පැමිණේවි යැයි මා බලාපොරොත්තු වුණා. නමුත් එවැනි කිසිවෙකුත් මෙහි පැමිණ නැහැ. රාජ්‍ය මාධ්‍ය දෙකක සභාපතිවරුන් සහ පෞද්ගලික මාධ්‍යයක කර්තෘවරයෙකු ඉන්නවා. අපට බලාපොරොත්තු විය හැක්කේ මෙය ද? ලසන්ත වික්‍රමතුංග, ප්‍රදිප් එක්නැලිගොඩ, කීත් නොයාර්, උපාලි තෙන්නකෝන්, උදයන් පුවත් පතේ මාධ්‍යවේදීන්ට පහරදීම්, ජීවිත නැති කිරීම් කලාට ඒ පිළිබඳව තමන්ට කිසිම ළැදියාවක් නැති බව, උනන්දුවක් නැති බව මෙම මාධ්‍ය පිරිස නොකියා කියනවා.

මේ කියන්නේ මාධ්‍ය නිදහස අවශ්‍ය නැති බව ද? රාජපක්‍ෂ රෙජිමය නැවතත් අවශ්‍ය බවද? ආණ්ඩුව නැති කර දමා හෝ නැවත රාජපක්‍ෂ රෙජිමය ගෙනැවිත් අප නැවතත් මාධ්‍යවේදීන් මරාදමන්නට ඉඩදෙමු කියන කාරණය ද? නැතිනම් ඔවුන් කියන්නේ වෙන මොනවාද?  මේ කතාව පළ කරාවිදැයි කියාවත් මා දන්නේ නැහැ. හෙට සිට මට තවත් පහර ගසාවි. නමුත් සත්‍ය මෙයයි. අද ගල්ගමුවේ ඇතාගේ ප්‍රශ්නය පිළිබඳව, දළ පිළිබඳව කතා කරනවා. එය ඉතා හොඳයි. ඒ පිළිබඳවත් අප ක්‍රියා කරනවා. නමුත් මාධ්‍යයේ කරඬුව ගෙන ගිය ඇතා මරා දැමූ පසු මේ අය කතා කළේ මොනවාද? මේ තත්ත්වය බලපාන්නේ මට නොවෙයි. මාධ්‍යවේදීන් සියලූම දෙනාටයි. මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමට අප උනන්දු වෙනවා. නමුත් ඔබ වැඩකරන සමාගම එලෙස උනන්දු වෙනවා ද? එදත් ඔවුන් නිශ්ශබ්දව සිටියා. රාජපක්‍ෂ රෙජිමය සමග හවුල් වී බිස්නස් කළා.

අද ඔවුන් මේ ආණ්ඩුවට ගහන්නේ ඇයි? අද ප්‍රජාතන්ත්‍රවාදය තුළ අප ජීවත් වන නිසයි. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය එපාවී තිබෙනවා. ඔවුන්ගේ අරමුණ රාජපක්‍ෂ සමග නැවත පැමිණ මුදල් ඉපැයීමයි. ව්‍යාපාර කිරීමයි. ඒ ක්‍රමවේදය නැවත ගෙන ඒමයි. එවිට මෙරට මාධ්‍ය නිදහස ආරක්‍ෂා වන්නේ කෙසේද? ආණ්ඩුවෙන් පමණක් මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්න හැකියාවක් නැහැ. සිවිල් සමාජයට පමණක් එය කරන්නට බැහැ. අප පොරොන්දු වූ දේ අප විසින් සිදු කරනවා. මාධ්‍ය නිදහස ආරක්‍ෂා කරන්නට කැපවී සිටිනවා. ඇතැම්විට අතපසුවීම් සිදුවිය හැකියි. නමුත් අපේ කාර්යය අප කරනවා.

මෙම වැදගත් සමුළුවේදී මට රටෙන් අසන්නට තිබුණේ අප මාධ්‍යවේදීන් ආරක්‍ෂා කරන්නට මෙහි පැමිණි අවස්ථාවක මාධ්‍ය නියෝජනය කරන ප්‍රධාන පුද්ගලයන් මෙහි නොපැමිණියේ ඇයි? යන ප්‍රශ්නයයි. මොවුන්ට අවශ්‍ය මාධ්‍ය ආරක්‍ෂා කරන්න ද මාධ්‍ය නිදහස පාවිච්චි කොට ආණ්ඩුවට පහර ගසා, යහපාලනයට පහර ගසා රාජපක්‍ෂ රෙජිමයක් නැවත ඇති කරන්න ද? යන ප්‍රශ්නය අපට ඇති වෙනවා. මේ කාරණයෙන් එකක් ඔප්පු වෙනවා. සමහර කරුණු හෙළි දරව් නොකරන්නේ ඇයි ද යන වගත්, මෙතරම් පහර ගහන්නේ ඇයි යන වගත් ඔවුන්ගේ මේ ක්‍රියාවෙන්ම ඔප්පු වෙනවා. මා මේ කතාව අවසන් කළ මොහොතේ සිට මට බනින්නට නිදහස තිබෙනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මාධ්‍ය ප්‍රධානීන් රකින්නේ මාධ්‍ය නිදහස ද?රාජපක්ෂ රෙජීමය ද? | Lanka Newsweek