මාදුවේ මිනිස් ජීවිත අනතුරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7

පාලම මරු කපොල්ලක් වෙලා..! වජිර අබේවර්ධනට-සජින් වාස්ට චෝදනා..? (ජයකාන්ත ලියනගේ) අති රමණීය ගංගාවක් වන ගාල්ල බළපිටිය මාදු ගගේ පිහිටි විශාලතම දූපත වන මාදූව ගම්මානයට යෑමට තිබෙන එකම පාලම අවුරුදු ගණනාවක්…
පාලම මරු කපොල්ලක් වෙලා..!
වජිර අබේවර්ධනට-සජින් වාස්ට චෝදනා..?
(ජයකාන්ත ලියනගේ)
අති රමණීය ගංගාවක් වන ගාල්ල බළපිටිය මාදු ගගේ පිහිටි විශාලතම දූපත වන මාදූව ගම්මානයට යෑමට තිබෙන එකම පාලම අවුරුදු ගණනාවක් තිස්සේ සිට අබලන් වීම හේතුවෙන් මහා අනතුරකට අත වනන තත්ත්වයක් උදා වී තිබේ.
මාදූව බළපිටිය ප්‍රාදේශිය මහ ලේකම් කොට්ඨාශයට අයත් එක් ග්‍රාමසේවා වසමකි. ඊට අදාළව ග්‍රාම සේවා නිලධාරී කාර්යාලය සහ සමෘද්ධි නිලධාරී කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල කීපයක්ම දූපත ඇතුළතම පිහිටා තිබේ. පවුල් 300 කට අධික ප්‍රමාණයකට අයත් දහසකට අධික ජනගහනයක් මේ දූපතේ වාසය කරති. දූපත විහාරස්ථාන දෙකකින් ද පළමු වන ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා වූ රජයේ පාසැලකින් ද උප තැපැල් කාර්යාලයකින් සහ රජයේ බෙහෙත් ශාලාවකින්ද සමන්විතය. ළමා සායන ඇතුළු වෛද්‍ය සායන කීපයක්ම දූපතේ පැවැත්වේ. පෞද්ගලික සේවා සපයන ආයතන හා ඒවායේ ශාඛා කීපයක්ද දූපතේ පිහිටා ඇත. මේ ආයතනවල සේවය කරන රජයේ සහ පෞද්ගලික ආයතනයන්ට අයත් නිලධාරීන් දිනපතාම එහා මෙහා යන්නේද මෙම පාලම මතිනි.
දූපත්වාසීන්, දූපතතුලින් සලසා ගන්නා අවශ්‍යතාවයන්ට අමතරව අනිකුත් සියලු අවශ්‍යතා සලසා ගන්නේ බළපිටිය, අහුන්ගල්ල සහ අම්බලන්ගොඩ නගරවලිනි. ඊට අමතරව කොළඹ සහ අනෙකුත් ප්‍රදේශයන්හි රැකියාව කරන දූපත් වාසීන් විශාල පිරිසක්ද දිනපතාම මෙම පාලමෙන් එහා මෙහා යති.
අඩි එක් දහස් දෙසීයක් පමණ දිගැති මෙම පාලම ඉවත් කරන ලද දුම්රිය පීලි හා දුම්රිය මැදිරිවල තට්ටු උපයෝගි කර ගෙන ඉදි කර තිබේ. 1993 සහ 1994 වර්ෂවලදී එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ විජයපාල මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි ත්‍රී රෝද රථයක් පමණක් ගමන් කිරීමට හැකි පලලකින් යුක්තව මෙම පාලම ඉදි කර තිබේ. පාලමේ දිග අඩු කර ගැනීම සදහා පාලම මීරල දූව හරහා මාදූවට ගමන් කිරීමට හැකි වන පරිදි ඉදිකර ඇත. මෙම පාලම වසර ගණනක් තිස්සේ කිසිදු අලුත් වැඩියාවක් නොකිරීම නිසා දිරා පත්ව කඩා වැටෙමින් තිබේ.
දෙපස අත් වැල් කැඞී ගොස් තිබෙන අතර දැනටමත් කිහිප දෙනෙකු අනතුරුවලට පත්ව ජීවිත අනූ නමයෙන් බේරා ගෙන තිබේ. මේ වන විට පාලමේ ගග යටට ගිල්වා ඇති යකඩ කොටස්ද බොහෝ සෙයින් දිරා පත්ව ඇති බව දූපත් වාසීහූ ප්‍රකාශ කරති. දුම්රිය මැදිරි තට්ටුද බොහෝ සෙයින් දිරාපත් වී තිබේ. පාලම ඉදි කිරිමට පෙර දූපත් වාසීන් සහ නිලධාරීන් එහා මෙහා ගියේ බොට්ටුවක් මගිනි. බළපිටිය ප්‍රාදේශිය සභාව ගමන්වාර සදහා ගාස්තු ක්‍රමයක් යටතේ මෙම බෝට්ටු සේවාව ලබාදී තිබුණි. ඈත අතීතයේදී මේ සදහා යොදා ගත්තේ ඔරු හා අගුල්ය. එකල ඔරු බෝට්ටු පෙරළීමෙන් දූපත්වාසීන් හා නිලධාරීන් කීප දෙනෙකුම ජීවිතක්ෂයට පත්වූ අවස්ථාවන්ද ඇත.
මේ පිළිබදව අදහස් දැක් වූ බළපිටිය මාදූවේ පදිංචි තිදරු පියෙකු වන පී. ඥානපාල ද සිල්වා මහතා (83) මෙසේ කීය.
"මාදු ගගේ දූපත් තිස් දෙකක් පමණ තිබෙනවා. අතීතයේ දූපත් 64 ක් තිබුණ බව පැරණි පොත පතේ සදහන් වෙනවා.ඒ අතරින් විශාලම දූපත මාදූවයි. පවුල් දෙසිය පනහක් තුන්සියයක් පමණ ජීවත් වෙනවා. මුලින්ම ගියේ ඔරුවෙන්. පසුව අගුලෙන් ගියේ. ඊට පස්සේ බෝට්ටුවක් පැරණි ගම් සභාවෙන් යොදා තිබුණා. 1977 දී පැවති මහා මැතිවරණයේදී බළපිටිය මන්ත්‍රීවරයා වූ නෝමන් වෛද්‍යරත්න මහතා ජන්දෙදි පොරොන්දු වූ පරිදි ජයග්රහණයෙන් පසු මාදූවට ආවේ අලුතෙන්ම බෝට්ටුවක් අර ගෙනයි. 1988 දී පැවති භීෂණ සමයේදී කිසියම් පිරිසක් බෝට්ටුවට ගිනි තියල පුච්චල දැම්මා. පසුව ඒ වෙනුවට ආණ්ඩුවෙන් නැවත බෝට්ටුවක් ලැබුණා.
1993 දී පැවති දකුණු පළාත් සභා අතුරු මැතිවරණයේදී බළපිටිය කොට්ඨාශය භාරව කටයුතු කළේ ප්‍රවාහන සහ මහා මාර්ග ඇමතිවරයා වූ විජේපාල මැන්දිස් මහත්තයා. එතුමා මාදූවට ආ විට අපි කවුරුත් ඉල්ලා සිටියේ පාලමක් හදා දෙන්න කියලයි. මගේ ඥාතීන් ඉන්න නිසා පාලමක් හදා දෙනව කියල එතුමා කිව්වා. ඒ මැතිවරණයේදී දකුණු පළාතෙන්ම එක්සත් ජාතික පක්ෂය දිනුවේ බළපිටිය විතරයි. ඇමතිතුමා පොරොන්දු වූ පරිදිම ත්‍රී වීල් එකකට යන්න පුළුවන් විදියට පරණ රේල් පීලි උපයෝගී කර ගෙන මේ පාලම හදා දුන්නා. 1994 දි ආණ්ඩු මාරු වීමත් සමගම එතුමාට පාලම විවෘත කරන්න බැරි වුණා. ඒ නිසා පාලම මොනම ආයතනයකටවත් භාර දෙන්න බැරිවුණා. අද වන තුරු පාලමේ අයිති කරුවෙක් නැහැ. හැම ආතනයකින්ම කියන්නේ ඒ අයට අයිති නැහැ කියලයි. හරියට අවජාතක දරුවෙක් වගෙයි.
පාලම දැන් හොදටම අබලන් වෙලා තිබෙන්නේ.දෙපැත්තේ අත් වාරු සියල්ලම දිරල කඩා වැටිල. පාලම නැති වුණොත් අපි ඉතා අමාරුවේ වැටෙන්නේ. හැත්තෑවෙ දශකයේදී අගුලක් පෙරළිලා අට දෙනෙක් නැති වුණා. එවැනි අනතුරක් ආයෙත් නොවෙන්න කටයුතු කරන්න කියලයි අපේ ඉල්ලීම තිබෙන්නේ"
බළපිටිය මාදූවේ පදිංචි කරුවකු වන සිව් දරු පියෙකු වූ නාමල් සුනිල් ශාන්තසිරි ද සිල්වා මහතා (52) මෙසේ කීය.
"මේ පාලම හදල අවුරුදු විසි හතරක් පමණ වෙනවා. වරින් වර අලුත් වැඩියා කළාට දැන් හොදටම දිරල අබලන් වෙලා. පාලම යටට දැමූ රේල් පීලි සියල්ලම දිරා පත් වෙලා. ගුරුවරු ළමයි ඇතුඵ හාර පන්සියයක් පමණ දවසකට මේ පාලමෙන් එහා මෙහා ගමන් කරනවා. පාසල් ළමයි ටික විතරක් එක පාරට ආවොත් පාලම හෙල්ලෙනවා. පසුගිය දවසක විදුහල්පතිවරුන්ගේ රැස්වීමක් මාදූව ඉස්කෝලේ තිබුණා. ඒ අය සියලූ දෙනාම මෝටර් බයිසිකල් සියල්ල තොටු පළේ නවත්වලයි ගියේ.
මේ දූපතේ ප්‍රධාන වැවිල්ල වන්නේ කුරුදු හා පොල් වගාවයි. අවුරුද්දකට රුපියල් කෝටි ගණනක ආදායමක් උපයනවා. පවුල් දෙසිය පනහකට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා. ඕන තරම් දේශපාලනඥයෝ මාදූවට ඇවිත් දී යන එක පොරොන්දුවක් තමයි පාලම හදල දෙනවයි කියන එක. සජින් ද වාස් ගුණවර්ධන මන්ත්‍රීතුමා යකඩ බට කන්ටේනර් පෙට්ටියක් හා යකඩ බඩු ගෙන යන යකඩ පෙට්ටියක් ගෙනැවිත් දැම්මා. ජන්දෙ ඉවර වූ ගමන් ඒ සියල්ල ආපසු අර ගෙන ගියා. දැන් ඉතිරි වී තිබෙන්නේ යකඩ පෙට්ටිය වගේ එක විතරයි. දැන් ඒකත් දිරා පත් වෙනවා. අපේ මිනිස්සු රැවටුණ එක විතරයි වුණේ.
පසුගිය මහා මැතිවරණයේදී වජිර අබේවර්ධන ඇමතිවරයා ඇවිත් පොරොන්දුවක් දුන්නා පළමු කටයුත්ත පාලම හදන එකයි කියල. ඊළග ජන්දෙදි වෑන් එකකින් මාදූවට එනව කියල කිව්වා. බොරු කියල ගිය නිසා මෙවර එනව කියලත් ආවෙ නැහැ. එතුමගේ ලේකම්වරයා එවල තිබුණේ. පාලමේ මාරු වන තැන් මරු කපොලූ වෙලා. දැනටමත් කිහිප දෙනෙක් පාලමෙන් වැටිල ජීවිත බේර ගත්තේ අනූ නමයෙන්. ගගේ කිඹුල්ලු වැහි වැහලා. ඒ තර්ජනයත් තිබෙනවා. රැයකදි කෙනෙක් ගගට වැටුණොත් බේරෙන්න විදියක් නැහැ. පාලම හදන්න සල්ලි වෙන් වෙලා කියල පසුගිය දවස්වල දේශපාලනඥයෝ කිව්වා. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් බැලූවම එහෙම මුදල් වෙන්වෙලා නැති බව දැන ගන්න ලැබුණා. තව දුරටත් මාදූවේ ජනතාව මේ විදියට රවටන්න එපා කියල ඉල්ලා සිටිනවා"
ඩී මෙත්තානන්ද ද සිල්වා මහතා (60) මෙසේ කීය.
"මම උපන්දා සිට මාදූවේ පදිංචිව සිටිනවා. දැනට වසර 40 කට 50 කට පමණ පෙර තත්ත්වය නොවෙයි අද තිබෙන්නේ. ඒ කාලේ වැඩි පිරිසක් දූපතේම වගේ ජීවත් වුණේ. මිරිදිය ධීවර කරමාන්තය මෙන්ම කෘෂි කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය වුණා. නමුත් අද රජයේ හා පෞද්ගලික අංශයේ විශාල පිරිසක් රැකියාව කරනවා. ඒ අය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දිනපතාම යනවා, එනවා. සේවය අවසන් වෙලා විශාල පිරිසක් නිවෙස්වලට එන්නේ රාත්‍රී කාලයේ. ඒ නිසා පාලම ඉතා වැදගත්. මේ පාලම පිළිබදව බොරු පොරොන්දු වැඩියෙන්ම දීල තිබෙන්නේ සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීතුමා. එතුමා ඡන්දය එන විට බඩු පෙට්ටි ගේනවා. ඡන්දයෙන් පස්සේ ආපසු අරන් යනවා. මාදූවේ පන්සලේ හාමුදුරුවෝ විදේශීය ජාතිකයෙක් සමග ඇවිත් ඔහුගේ අනුග්‍රහය යටතේ පාලම හදන්න සූදානම් වුණා. එයටත් රජයෙන් අනුමැතිය ලැබුණේ නැති බව සජින් වාස් මන්ත්‍රීතුමා ඒ කාලේ කිව්වා. පාලමේ කැඩිච්ච තැන්වලින් දැනටමත් කීප දෙනෙක් වැටිල තිබෙනවා. එක් අයෙක් මාස කීපයකට පෙර රාත්‍රීයේ මෝටර් සයිකලයත් එක්කම ගගට වැටුණා. පාලමේ එල්ලිලා ඉන්න විට මමයි අත දීල ඇදල ගත්තේ. ඊට පසුවදා ගමේ ළමයි බෝට්ටුවකින් ගිහින් මෝටර් සයිකලය ගොඩට ගත්තේ"
මාදූවේ පදිංචි විජේලතා පෙරේරා මහත්මිය (44).
"මම මාදූවට ඇවිත් වසර 25 ක් පමණ වෙනවා. මගේ මහත්තයා මාදූවේ උපන් අයෙක්. පාර්ලිමේන්තු මැතිවරණයට වජිර අබේවර්ධ ඇමතිතුමා ඇවිත් ඊලග මැතිවරණයට මාදූවට එන්නේ වෑන් එකකින් කියල කිව්වා. පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයට එතුමා වෑන් එකෙන් තියා දිරච්ච පාලමෙන් පයින් වත් ආවේ නැහැ. අපේ ළමයි ඉස්කෝලේ යන්නේ බළපිටියට. බඩුගන්න යන්නේ බළපිටියට, අම්බලන්ගොඩට. පාලමෙන් යන්නේ හරිම බයෙන්. කීප දෙනෙක් යන විට පාලම හෙල්ලෙනවා. දැන් හොදටම දිරල. වැඩිකල් යන්න කලින් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. එයින් පස්සේ පාලම හදල වැඩක් තියෙනවද"
මාදූව, බළපිටියේ පදිංචි ජගත් විජේමුණි මහතා (56).
"මම ව්‍යාපාරික කටයුතු කරලයි ජීවත් වෙන්නේ. ත්‍රී රෝද රථයක් හයර් කරනවා. මාදූවේ පදිංචි අය බළපිටියට, ගාලු පාරට ගියේ මගේ ත්‍රී වීල් එකෙන්. දැන් අවුරුදු 03 ක් තිස්සේ ත්‍රීවීල් එක මාදූවට ගෙන්න විදියක් නැහැ. පාලමේ ත්‍රී රෝද රථ මාරු වෙන්න හදපු ස්ථාන සියල්ලම දිරාපත් වෙලා කොන්ක්‍රීට් ලෑලි ගගට වැටිල. මේ පාලම දිරාපත් වීම නිසා මට විතරක් මාසෙකට රුපියල් 20,000/- ක් විතර පාඩුයි. ගමට ගේන බඩු මුට්ටු සියල්ලම දැන් ගේන්නේ බෝට්ටුවෙන්. මම දැන් ඒකෙන් තමයි කීයක් හරි හොයා ගන්නේ. මේ නිසා ගමේ අයටත් අමතර වියදමක් දරන්න වෙලා"
දර්ශණ දනංජය මහතා (24).
"මම කුඩා කාලයේ ඉදලා මාදූවේ පදිංචිව ඉන්නවා. දේශපාලනඥයෝ පුදුම විදියට අපි රැවැට්ටුවා. ඒ නිසා ආණ්ඩුවේ දේශපාලනඥයෝ කව්රුවත් මේ පාර ඡන්දය කියන්න මාදූවට ආවේ නැහැ. මේ පාලමේ ගැටළුව නිසා මේ පාර මාදූවෙන් ආණ්ඩුවට ඡන්ද ලැබුණේ නැහැ. සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීතුමා සහ වජිර අබේවර්ධන ඇමතිතුමා තමයි මාදූවේ ජනතාවට වැඩියෙන්ම බොරු කිව්වේ. මේ අය ඡන්දයට කලින් පාලම හදන්න කියල බඩු ගේනවා. ඡන්දයෙන් පස්සේ අරගෙන යනවා. කිසිම ලැජ්ජාවක් නැතුව මේ දෙන්නා බොරු කියනවා. එක් කෙනෙක්ගේ දේශපාලනය ඉවර වෙලාම ගියා. අනිත් කෙනාටත් ඒකම වේවි"
ශිරෝමී සමන්තා මහත්මිය (40).
"මගේ සහෝදරයා, අම්බලන්ගොඩ පී ද එස් කුලරත්න විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරනවා. එයාගේ ළමයි දෙන්නත් යන්නේ ඒ ඉස්කෝලෙට. වැඩිය මිනිස්සු පාලමට එන්න කලින් අයියා එගොඩට යනවා. පොඩි දෙන්නාගේ ජීවිතේට අනතුරක් වේවි කියලයි එහෙම කරන්නේ. අපි පුදුම ගැටළුවකට මුහුණ දීල ඉන්නේ. පාලමෙන් යන්නේ පුදුම බයකින්. එන්න එන්නම පාලම දිරාපත් වෙනවා. තවමත් මිනිස්සු පාලමෙන් යන නිසා අපිත් යනවා. දැන්නම් විකල්ප ක්‍රමයක් අවශ්‍යයි. රජය පාලම පරීක්ෂා කරල එයින් ගමන් කිරීම හෝ නතර කල යුතුයි. එහෙම නොකලොත් ලොකු විනාශයක් වෙන්න පුළුවන්. ජනතා විරෝධයක් එන නිසා රජය එහෙම කරන්නේත් නැහැ. පාලමත් හදන්නේ නැතිනම් රජය මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට හෝ විකල්ප ක්‍රම වේදයන් සැකසිය යුතුයි"
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7


