මහ බැංකුව ඇතුළේ- බැඳුම්කර කම්බ හොරු නිදැල්ලේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

එජාපයට කැපූ බැඳුම්කර වලේ-මහ බැංකුවම වැටේ..! මහ බැංකුවේ වාර්ෂික වැටුප් පිරිවැය රු. කෝටි 5467ක්..! එක් සේවකයකුගේ වාර්ෂික වැටුප රු.ලක්ෂ 38යි..! මහ බැංකුව මහ බරක් වෙලා..! විශ්ව විද්‍යාල ආචාර්යවරු මහ…
එජාපයට කැපූ බැඳුම්කර වලේ-මහ බැංකුවම වැටේ..!
මහ බැංකුවේ වාර්ෂික වැටුප් පිරිවැය රු. කෝටි 5467ක්..!
එක් සේවකයකුගේ වාර්ෂික වැටුප රු.ලක්ෂ 38යි..!
මහ බැංකුව මහ බරක් වෙලා..!
විශ්ව විද්‍යාල ආචාර්යවරු මහ බැංකු නිලධාරීන්ට එරෙහි සටන අරඹති..!
(සුජිත් මංගල ද සිල්වා)
අවුරුදු නමයක් මුළුල්ලේම ඍජු ක්‍රමය යටතේ සියයට අනූ නමයක්ම බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ නියමිත වෙළඳ අනුපාතයට නොවන බව විගණකාධිපතිවරයා තහවුරු කර තිබෙන තත්ත්වය හමුවේ 2015 බැඳුම්කර සිද්ධිය හුදකලාව ගෙන ඒ සම්බන්ධයෙන් පමණක් තීරණයක් ගන්නේ කෙසේදැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණකාධිකරණ පීඨයේ මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටියි.
ඒ අනුව 2008 සිට 2015 දක්වා සිදු වූ සමස්ථ බැඳුම්කර නිකුතුවන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර සිදු කරන පුළුල් විභාගයකින් තොරව 2015 බැඳුම්කර සිද්ධිය හුදකලාව ගෙන ඒ සම්බන්ධයෙන් පමණක් තීරණයක් ගැනීමට නොහැකි යැයි ද මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වෙනුවෙන් පමණක් රජය වර්ෂයකට රුපියල් කෝටි 5467ක් වැය කරන නමුත් එහි නිලධාරීන්ගෙන් ඊට සමානව රටට,රටේ ආර්ථිකයට සහ මුල්‍ය යහ පාලනයට සේවයක් සිදු වනවා ද යන ප්රශ්නය බරපතළ ලෙස මතුව තිබෙන්නේ යැයි ද ඔහු සඳහන් කළේය.
මහාචාර්ය කෙනඩි ඩී ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ විගණකාධිපතිවරයාගේ 2017 ජනවාරි මස 16 විශේෂ විගණන වාර්තාව සම්බන්ධයෙන් “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කෙනඩි ඩී ගුණවර්ධන මහතා මෙසේ ද කීය.
මහ බැංකු අධිපතිවරයා ඇතුළුව ශ්‍රී ලංකා මහ බැංකුවේ සමස්ථ සේවක සේවිකාවන් සංඛ්‍යාව 1405ක් වනවා. 2017 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ පිටු අංක 8 හි සඳහන් වී ඇති ආකාරයට අනුව එම බැංකුවේ සියලු සේවක සේවිකාවන්ගේ මූලික වැටුප්වලට පමණක් රුපියල් කෝටි 4012ක් ද (රුපියල් බිලියන 4.1) සියලු දීමනා සහිත වැටුප් සඳහා කෝටි 5467ක් ද (රුපියල් බිලියන 5.4) වාර්ෂිකව වැය කරනවා.
ඒ කියන්නේ මේ අති විශාල මුදල සමස්ථ සේවක සේවිකාවන්ගෙන් බෙදුවාම ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒක සේවකයකුගේ වාර්ෂික දළ වැටුප පොදුවේ ගත් විට රුපියල් ලක්ෂ 38ක් වන අතර මාසික දළ වැටුප රුපියල් තුන් ලක්ෂ විසි පන් දහසක් වනවා.
මේ තරම් විශාල වැටුපක් සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ කිසිම ආයතනයක කිසිදු සේවකයකුට හෝ සේවිකාවකට නොලැබෙන අතර රාජ්‍ය සේවයේ වැඩිම වැටුප් සහ දීමනා ඇතුළු තවත් විවිධ පහසුකම් බුක්ති විඳින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් ඇතුළු සේවක සේවිකාවනුයි.
මේ තරම් විශාල වැටුප් සහ දීමනා ඇතුළු පහසුකම් බුක්ති විඳින ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ගෙන් ඊට සමානව රටට,රටේ ආර්ථිකයට සහ මුල්‍ය යහ පාලනයට සේවයක් සිදු වනවා ද යන ප්රශ්නය මේ වන විට රටේත් ජන සමාජයේත් බරපතළ ලෙස මතුව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ එහි නිළධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රටේත්,ජන සමාජයේත්,විද්වතුන් අතරත් එවැනි බරපතළ ප්‍රශ්නයක් මතුව තිබෙන්නේ මන්ද යන්න පිළිබඳව කරුණු සොයා බලමු.
2015 දී සිදු වූ ආන්දෝලනාත්මක මහ භාණ්ඩාගාර බැඳුම්කර ගනු දෙනුවට පදනම සකස් වී ඇත්තේ 2008 සිට 2015 දක්වාම සිදු කර ඇති බැඳුම්කර නිකුත් කිරීම් වන අතර ඊට හේතු වී ඇත්තේ ඍජු ක්‍රමය වෙනුවට වෙන්දේසි ක්‍රමය අනුගමනය කිරීමයි.
2008 සිට 2015 දක්වා වූ කාලය ඇතුළතදී සිදු කෙරුණු සියලුම භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳව කරුණු විමර්ශනය කර තමාට වාර්තාවක් ලබා දෙන ලෙස එවකට මුදල් අමාත්‍යවරයාව සිටී රවී කරුණානායක මහතා “එෆ්/එම්/17/16” අංක දරන ලිපිය මගින් 2016 අගෝස්තු මස 19 වැනිදා රජයේ විගණකාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව විගණකාධිපතිවරයා ඊට අදාළව කරුණු විමර්ශනය කර 2017 ජනවාරි මස 16 වැනිදා විශේෂ විගණන වාර්තාවක් නිකුත් කරනවා.එම විගණන වාර්තාවේ පිටු අංක 21 හි සහ එහි 4.6 ඡේදයේ මෙසේ සඳහන් වනවා.
“2008 ඔක්තෝබර් මස 7 වැනි දිනැති මුදල් මණ්ඩල තීරණය මගින් වෙළඳ පොළ අනුපාතයට 0.05ක් (Basis Point 5ක්) එකතු කර වෙළඳ අනුපාතය ගණනය කිරීමට අනුමැතිය ලබා දී ඇත.එසේ සිදු කර ඇත්තේ රජයේ සුරැකුම්පත් වෙළඳ පොළේහි වර්ධනය පිළිබඳව අවධානය යොමු කිරීමටයි.
නමුත් ගත වූ වර්ෂ නමය ඇතුළත ඍජු ක්‍රමයට නිකුත් කර තිබූ මුළු බැඳුම්කර වටිනාකමෙන් සියයට අනූ නමයක්ම වෙළඳ පොළ අනුපාතයට 0.05ක් (Basis Point 5ක්) එකතු කර ලබා ගත යුතු වෙළඳ අනුපාතිකයෙන් බැහැර අනුපාතයකට නිකුත් කර ඇති බව නිරීක්ෂණය වේ”
ඒ කියන්නේ පුරා අවුරුදු නමයක් මුළුල්ලේ ඍජු ක්‍රමය යටතේ සියයට අනූ නමයක්ම බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ නියමිත වෙළඳ අනුපාතයට නොවන බවයි.ශ්‍රී ලංකා මහ බැංකු බලධාරීන් සහ නිලධාරීන් මේ ගනු දෙනු ඇතුළු වැඩ කටයුතු නිවැරදිව,විධිමත්ව සහ විනිවිද භාවයෙන් යුතුව සිදු නොකළේ අයි?මෙහිදී ඇත්තටම සිදුව ඇත්තේ කුමක්ද කියා තේරුම් ගැනීමට සිහි බුද්ධිය ඇති ඕනෑම පුද්ගලයෙකුට හැකියාවක් තිබෙනවා නොවේද?
2015 බැඳුම්කර සිද්ධියට පදනම් වී ඇත්තේ ද 2008 සිට 2015 දක්වා සිදු වෙමින් පැවති මේ කියන බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාදාමයම බව මේ අනුව ඉතාම පැහැදිලියි.
ඒ අනුව 2008 සිට 2015 දක්වා සිදු වූ සමස්ථ බැඳුම්කර නිකුතුවන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඒ ගනු දෙනුවලට අදාළ මහ බැංකු නිලධාරීන්,පුද්ගලයින්,සහ තැරැව්කාර සමාගම් ඇතුළු සියලු පාර්ශවයන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඒ අයගේ අදායම්,වියදම් සහ වත්කම් පිළිබඳව කරුණු විමර්ශනය කරමින් සිදු කරන පුළුල් විභාගයකින් තොරව 2015 බැඳුම්කර සිද්ධිය හුදකලාව ගෙන ඒ සම්බන්ධයෙන් පමණක් තීරණයක් ගන්නේ කෙසේද?
මේ සිද්ධියටත්,ශ්‍රී ලංකා මහ බැංකුවේත්,එහි බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේත් ක්‍රියාකාරකම්වලටත් අදාළව විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ලෙස අප ඉදිරියේදී තොරතුරු රැසක් රට ජනතාව හමුවේ හෙළිදරව් කරනවා.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

