අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!

මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!

ගාලු උරුමයට ගෙවන්න වෙන කරුමය ගැන කලින්ම කරුණු කියලා..! (සුජිත් මංගල ද සිල්වා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින්…

ගාලු උරුමයට ගෙවන්න වෙන කරුමය ගැන කලින්ම කරුණු කියලා..!

මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම අනවසර ඉදිකිරීම් වළක්වා ගාලු උරුමය රැක ගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා ගාලු උරුමය සභාපති පරාක්‍රම දහනායක මහතා විසින් 2007.10.03 වන දින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යැවූ ලිපියේ පිටපතකි මේ.

මේ ලිපිය 2007.12.11 වන දින 173 වන කාණ්ඩය - 16 වන කලාපය යටතේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගතවී ඇත.

 

ඉතා හදිසියි.

2007 ඔක්තෝම්බර් 3 වැනි දින,

අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා,

ශ්‍රී ලංකා ජනාධිපති,

ජනාධිපති කාර්යාලය,

කොළඹ 01.

අතිගරු ජනාධිපතිතුමනි,

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම

ඉහත කී විෂය යටතේ 2007 සැප්තැම්බර් 24 දාතමින් ස්මාරක සහ ඵෙතිහාසික භූමි පිළිබඳ ජාත්‍යන්තර සභාවේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති පී.බී.මන්දාවල මහතාගේ ලියමනට වැඩිමනක් වශයෙන් මෙම ලිපිය එවමි.

මා ගාලු උරුමය පදනමේ සභාපති ධූරයට පත් වුයේ 2007 අගෝස්තු 2 වැනි දින බැවින් එදිනට පෙරාතුව පැවති සාකච්ඡාවලට හෝ එළැඹි තීරණවලට මාගේ සහභාගිත්වයක් තිබුණේ නැත.

එකී රැස්වීම්වලදී ගාලු උරුමය පදනම නියෝජනය කරන ලද්දේ පී.බී. මන්දාවල මහතා විසිනි.කෙසේ නමුත් පැවති රැස්වීම්වල කාර්ය සටහන් පරීක්‍ෂා  කර බැලීමේදී මවිසින් පහත සඳහන් නිරීක්‍ෂණ කරන ලදි.

01 ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු රැස්වීමේදී ගත් තීරණ අතර පහත සඳහන් තීරණ ද විය.

*කොටුවේ අතීත විභූතිය නොනැසෙන පරිදි ඉදිකිරීම් කටයුතු කළ යුතු බව.

*කොටුවේ විද්‍යාමානවීම වළක්වාලන පරිදි උස ගොඩනැගිලි ඉදිකිරීමෙන් වළක්වාලන ආකාරයට සැලසුම් සකසන ලෙසත් ප්‍රධාන මාර්ගයේ සිට කොටුව විද්‍යාමාන විය යුතු බව.

02 එම රැස්වීමේදී විශේෂ කමිටුවක් පත් කර ඇති අතර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමය පිළිබඳ අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් 2007 පෙබරවාරි 07 වැනි දින එම කමිටුව රැස් වී ඇත. එහිදී එළැඹුණු තීරණ අතර පහත සඳහන් තීරණ ද ඇතුළත් වේ.

*ඉදි කිරීම්වලදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ගාලු උරුමය පදනමේ අනුමැතිය ලබා ගත යුතුය.

*යෝජිත ඉදිකිරීම් මගින් ලෝක උරුම බිමට කිසිදු ආපදාවක් නොවන බව සහතික කරමින් දකුණු පළාත් ක්‍රිකට් සංගමය විසින් එම සවිස්තර සැලසුම ඉදිරිපත් කරමින්  “යුනෙස්කෝ” සංවිධානයට වාර්තා කළ යුතුය.

මේ දක්වා සිදු කර තිබෙන ඉදිකිරීමේ සැළකීමේදී ඉහත කී තීරණ පහත සඳහන් පරිදි උල්ලංඝණය වීම සිදු කර ඇති බවට පැහැදිලි වේ.

01 ප්‍රධාන මාර්ගය දෙසින් බැලීමේදී කොටු බැම්ම සම්පුර්ණයෙන්ම වැසී යන ආකාරයේ උස ගොඩැගිලි බස් නැවතුම දෙසින් මතු වෙමින් පවතී.

02 පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හෝ ගාලු උරුමය පදනමෙන් හෝ මෙතෙක් අනුමැතිය ලබා ගෙන නොමැති බව.

03 “යුනෙස්කෝ” සංවිධානයට කිසිදු වාර්තාවක් මෙතෙක් භාර දී නොමැත.

1949 අංක 09 දරන පුරා විද්‍යා ආඥාපනතේ iv වැනි කොටසේ 27 වැනි වගන්තිය අනුසාරයෙන් ප්‍රකාශිත අංක 29 සහ 30 දරන රෙගුලාසි ප්‍රකාරව කොටුවේ සිට යාර 400 ක දුරින් කෙරෙන ඉදිකිරීම් සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත යුත බවද (ඉහත කී ඉදිකිරීමේ මෙම වපසරිය ඇතුළත පිහිටයි.) පෙන්වාදීමට කැමැත්තෙමි.

තවදල මෙම ක්‍රීඩා පිටියේ හිමිකාරිත්වය ඇත්තේ ගාල්ල මහා නගර සභාවට වන අතර 1998 දෙසැම්බර් 31 දිනැති අංක 681 දරන බදු ගිවිසුමෙන් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බදු දී තිබේ. මෙම ගිවිසුමේ 17 වැනි වගන්තිය ප්‍රකාරව සඳහන් වන්නේ ඕනෑම ඉදිකිරීමක් සඳහා මහා නගර සභාවේ පූර්ව අවසරය අවශ්‍ය බවයි. මෙතෙක් එවැනි අවසරයක් ගෙන නොමැත.

අවසන් වශයෙන් ඔබතුමා වෙත දන්වා සිටිනුයේ වර්තමානයේ කෙරෙමින් පවතින ඉදිකිරීම්වලින් නීතිය මෙන්ම ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ගත් නිශ්චිත තීරණයන්ද උල්ලංඝණයවී ඇති බවයි.

කරුණු එසේ හෙයින් මේ අදියරේදී හෝ මෙම තත්ත්වය නිවැරදි කිරීම පිණිස මැදිහත් වන මෙන් ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ඔබතුමාට ස්තූතියි.

මීට,

විශ්වාසි,

අත්සන් කළේ,

පරාක්‍රම දහනායක,

මහා නගර සභික,

සභාපති,

ගාලු උරුමය පදනම.

  මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මහින්ද රාජපක්ෂ ගාලු උරුමය නොතැකූ හැටි මෙන්න..! | Lanka Newsweek