මහින්ද රටට කළ විනාශය කිරිඇල්ල හෙළි කරයි

"යුද්ධය අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් පොරොන්දුව ඉටු කළේ නෑ.ඒ නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණයක් ගෙන තියෙනවා යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය…
"යුද්ධය අවසන් කාලයේ මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබා දුන් පොරොන්දුව ඉටු කළේ නෑ.ඒ නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණයක් ගෙන තියෙනවා යුද්ධය අවසන් කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන්න.ඒ සඳහා මුදල් වෙන් කරලත් ඉවරයි" යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී සඳුදා (28) හෙළි කර සිටියේය.
පාර්ලිමේන්තුවේදි 2023 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට සම්බන්ධ වෙමින් මේ බව කියා සිටී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
ගරු මූලාසනාරූඩ මන්ත්‍රීතුමනි, යුද්ධය අවසන් කාලයේ බෑන් කීන් මූන් ලංකාවට ආවා. එදා මහින්ද රාජපක්ෂ හිටියේ මහනුවර. මහින්ද රාජපක්ෂ මහත්තයා කොළඹට ආවේ නෑ. බෑන් කීන් මූන් මහත්මයා මහනුවරට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බ වෙලා කිව්වා යුද්ධය අවසන් කාලයේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරලා තියෙනවා, මානව හිමිකම් උල්ලංඝනය කරලා තියෙනවා මේ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියලා.
දැන්වීම
මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කරන්න ඕනේ නෑ අපි ඒ පරීක්ෂණය කරන්නම් කියලා. එහෙම පොරොන්දුවක් එදා එතුමා දුන්නත් එතුමාගේ කාලය තුළ ඒ පොරොන්දුව ඉටු කළේ නෑ.විවිධ කමිටු පත් කළා. වාර්තා ඉදිරිපත් කළා. නමුත් කිසිම දෙයක් ක්‍රියාත්මක වුණේ නෑ.පසුව 2013-2014වර්ෂවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ අපේ රටට විරුද්ධව යෝජනාවන් සම්මත වුණා. අභ්‍යන්තර පරීක්ෂණය කරලා දුන්නු පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා.නමුත් කෙරුවෙ නෑ. 2015 වර්ෂයේ දී අපේ රටට ආර්ථික සම්බාධක පැනවීමටයි තිබුනේ.එදා ඒක නිසයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මැතිවරණයකට ගියේ. සම්බාධකවලින් බේරෙන්නයි එහෙම කළේ. මේක තමයි ඉතිහාසය.
පසුව යහපාලන ආණ්ඩුව ආවා. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයත් එක්ක හැප්පෙන්න ගිය නෑ. මොකද අපේ බලය අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සහයෝගයෙන් වැඩ කෙරුවා. එදා අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඒකාබද්ධ යෝජනාවක් දැම්මා අපේ රටේ පරීක්ෂණයක් කරනවා කියලා. අපි එහෙම කිව්වම එදා විරුද්ධ පක්ෂය විරුද්ධ වුණා.දැන් මේ සැරේ මොකක්ද උනේ..?
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තීරණයක් අර ගෙන තියෙනවා ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්න. ආණ්ඩුව හිතා ගෙන ඉන්නේ කල් යන කොට මෙවා අමතක වෙයි කියලා.එහෙම මේවා අමතක වෙන්නේ නෑ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා සල්ලිත් වෙන් කරා.එපමණක් නොවෙයි රටවල් 175 ක් ඉන්න එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ මහා මණ්ඩලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාවක් ඉදිරි කාලයේ එනවා. අපි ජාත්‍යන්තර වශයෙන් පච වෙලා ඉවරයි. අපේ රට දේශීය වශයෙනුත් විනාශ වෙලා. ජාත්‍යන්තර වශයෙනුත් විනාශ වෙලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයත් එක්ක හැප්පිලා රට ගොඩ දාන්න පුලුවන්ද..? කොච්චර කිව්වත් මේක ආණ්ඩුව තේරුම් ගන්නේ නෑ.ආන්ඩුවේ ආයු කාලය ඉවරයි. මේ ආණ්ඩුව කල් ඉකුත් වූ භාණ්ඩයක්. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ අද දහ දෙනෙක් වත් නෑ. කිසිම ජවයක් නෑ අද මේ ආණ්ඩුවේ.
අපේ රට ඉදිරියට යන්න නම් අලුත් ආණ්ඩුවක් අපේ රටට ඕනේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එහෙම කිව්වා. වත්මන් ආණ්ඩුව බලයට ආවේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියලා. නමුත් දැන් මොකද කරන්නේ..? අයි,එම්,එෆ් පවා දන්නවා ජනවරමට පටහැනි දෙයක් මේ ආණ්ඩුව කරන්නේ කියලා. ඒ නිසයි ජනවරමක් අවශ්‍යයි කිව්වේ. නිදහස ලැබුණු දා ඉඳන් කිසිම ආණ්ඩුවක් රට බංකොලොත් කළේ නෑ. ණය තිබුණා. නමුත් ණය කළමනාකරණය කර ගත යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව ඒක කරේ නෑ..අද රුපියලුත් නෑ ඩොලරුත් නැ. ආණ්ඩු කොතනින්ද වැටුණේ..? ආණ්ඩුවේ පලවෙනි අයවැයෙන්ම බිලියන අටසීයක් නැති කර ගත්තා.
අද මෙතන අලි සබ්රි මැතිතුමා නැති එක ගැන මම කණගාටු වෙනවා. මුළු ජාත්‍යන්තරය තරහ කර ගෙන ඉන්නෙ. අපේ රටේ ඉන්න සුළු ජාතීන් තරහ කර ගෙන ඉන්නෙ. මුස්ලිම් සහෝදරයෝ, ද්‍රවිඩ සහෝදරයෝ මේ සියල්ල තරහ කර ගෙන ඉන්නේ. එතුමා මුස්ලිම් ජාතිකයෙක් වෙලත් මුස්ලිම් ජනතාවට කොච්චර වද දුන්නාද..? කෝවිඩ් කාලේ කෝවිඩ් හැදිලා මුස්ලිම් ජාතිකයකු මිය ගියාම km 150 ක් විතර අරන් යන්න වුණා වල දාන්න. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ සිරිත් පරිදි මුස්ලිම් ජාතිකයන් වල දාන්න කියලා නමුත් මේ අය එමගින් කෝවිඩ් පැතිරෙනවා කියලා බොරු කතාවක් හැදුවා. දැන් ලැජ්ජ නැතුව මුස්ලිම් රටවල් පස්සේ යනවා. ආත්ම ගරුත්වයක් තියෙන්න ඕනේ. ආණ්ඩු බලයේ ඉන්නකම් හොඳටම වද දීලා දැන් මුස්ලිම් රටවල් පස්සේ යනවා ඉන්ධන ඉල්ලන්න.
යහපාලන ආණ්ඩුව කාලෙත් අපි චීනයෙන් සතයක්වත් ගත්තෙ නෑ පාරවල් හදන්න. හුඟ දෙනෙක් හිතන්නේ අපි චීනය පස්සේ ගියා කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නෑ.අපිට අපේ සල්ලි තිබ්බා, බිලියන අටසියයක් ආවා බදු මුදල් වශයෙන්. මම හදපු මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් අපේ රටේ සල්ලිවලින් හැදුවේ. එදා රවී කරුණායක ඇමතිතුමා මට කිව්වා කඩවත මීරිගම කොටසටත් අවශ්‍ය මුදල් අපේ රටේ සල්ලිවලින් දෙන්නම් කියලා. නමුත් 2014 මහින්ද රාජපක්ෂ මැතිතුමා චීනයට ලියුමක් දීලා තිබ්බා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් චීනයට ලබා දෙනවා කියලා. ඒ ලියුම නැත්තම් අපිට අපේ මුදල්වලින් මීරිගම කුරුණෑගල අධිවේගී මාර්ග කොටසත් ආරම්භ කරන්න තිබ්බා. නමුත් අද මොකක්ද වෙලා තියෙන්නේ. මිරීගම කුරුණැගල කොටස බාරගත්තු අය දාලා ගිහිල්ලා.
ගරු මන්ත්‍රීතුමනි, මම මගේ වත්කම් ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපි තුත්තිරි ගස් අල්ල අල්ල ආවේ නෑ, රජ කාලයේ ඉදන් අක්කර දහස් ගණන් ඉඩම් අපිට තිබ්බා. තුත්තිරි ගස් අල්ල අල්ල ආපු අය අද පිටිපස්සෙ ඉඳන් කෑ ගහනව. මම මගේ වත්කම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට බලන්න පුළුවන් විදිහට. වෙබ් අඩවියේ මම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. අද අපිට ඇඟිල්ල දික් කරන අයට කියන්න තියෙන්නේ ඒ අයගේ වත්කම් ප්‍රදර්ශනය කරන්න කියලයි. සමහර අය ලොරි ගණන් බොරුවට ෆයිල් අරන් එනවා. නමුත් ෆයිල් ඇතුලෙ මුකුත් නෑ.
ගරු මන්ත්‍රීතුමනි මේ අය අධිවේගී මාර්ගය හදන්න, හම්බන්තොට වරාය හදන්න, හම්බන්තොට ගුවන්තොටුපල හදන්න, නෙළුම් කුළුණ හදන්න, පෝට් සිටි එක හදන්න, මේ සියල්ලටම ණය ගත්තා. අපේ ණය මුදලින් 75%ක් චීනයටයි අපිට ගෙවන්න වෙලා තියෙන්නෙ. මේ ණය ඇති කෙරුවේ මේ අය. මේ අය ගත්තු ණය නිසයි අපේ රට අද ණය උගුලට අහු වෙලා ඉන්නේ.
අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් විසි පස් දෙනෙක්ට විතරයි ඊළඟ මැතිවරණයෙන් එන්න පුළුවන්. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රීවරු 25යි මතක තියා ගන්න. සමීක්ෂණ වාර්තා අනුව ආණ්ඩුවට තියෙන්නේ 3%යි. අද ආණ්ඩුවට ප්‍රශ්නවලට උත්තර නෑ පාර්ලිමේන්තුවේ විලාප නඟනවා.
අපේ පවුලේ නීතිඥවරු හතර දෙනෙක් ඉන්නවා. මමත් නීතිඥවරයෙක්, මගේ භාර්යාව, පුතා, දුව අපි හැමෝම නීතිඥවරු. එම නිසා අපි නීතියට වැඩ කරන්න දන්නවා කියන එක මේ පාර්ලිමේන්තුවේ කියන්න කැමතියි .
අද අපේ රට දේශීය වශයෙනුත්, ජාත්‍යන්තර වශයෙනුත් විනාශ වෙලා ඉවරයි. අපි කොහොමද ජාත්‍යන්තර ආධාර ගන්නේ..?මහා මාර්ග අමාත්‍යාංශයේ අවසාන අවුරුදු 2ක තුල කිසිම වැඩක් වුණේ නෑ. ඇත්ත වශයෙන්ම මහා මාර්ග අමාත්‍යාංශය ගැන කතා කරන්න දෙයක් නෑ. අද අපිට පේනවා පළාත් පාලන මැතිවරණය කල් දාන්න විවිධ උප්පරවැට්ටි කරනවා කියලා. නමුත් මම කියනවා පළාත් පාලන මැතිවරණය තියන්න. එතකොට ජනතාව හොඳ තීරණයක් ලබා දෙයි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව අපිට පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න පුළුවන්. අප ජනතාව ආණ්ඩුවේ වෙනසක් ඉල්ලනවා. මොකද වත්මන් ආණ්ඩුව අසාර්ථකයි. මොළ හතක් කියලා එක්කෙනෙක් ගෙනාවා. ලංකාවේ කිසිම නායකයකු මෙහෙම රට දාල ගියාද..? මහ ලොකු වීරයෝ පස්ස දොරෙන් පැනලා ගියා. මුළු රටම අනාථ කෙරුවා. ජනාධිපති, අගමැති කැබිනට් මණ්ඩලය සියල්ල අස් වුණා. සමහර අය ඇඬුවා. නැවත මේකට එන්නේ නෑ කියලා. ආණ්ඩුව රටට ආදරේ නම් ඉල්ලා අස්වන එක තමයි එකම විසඳුම.