මහින්ද-මෛත්‍රි-ගෝඨා රුපියල් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් වරාය අධිකාරියට සිදු කර…
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර් මිලියන 24ක (රුපියල් කෝටි 300කට වැඩි) පාඩුවක් වරාය අධිකාරියට සිදු කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය.
මේ බාල තෙල් මිල දී ගැනීමට එරෙහිව වරාය අධිකාරිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර තිබෙන්නේ සිදු වීමෙන් වසර දහයක්ද ඉක්ම ගොස් තිබියදී, පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදී බවද කෝප් කමිටුවේදී තහවුරු විය. ඒ අනුව මෙම පැමිණිල්ල කර තිබෙන්නේ 2024 අගෝස්තු මාසයේදීය.
මේ තෙල් මිල දී ගැනීම සඳහා අදාළ සමාගමට මුදල් සපයාගෙන තිබෙන්නේ වරාය අධිකාරියේ සංස්ථාපිත ඇපකරයකට පෞද්ගලික බැංකුවක් මගින් ලබා දුන් ණය මුදලකින් බවටද එහිදී කරුණු ඉදිරිපත් විය. ඉදිරිපත් වූ තොරතුරු අනුව අදාළ සමාගම එම ණය මුදලෙන් ඩොලර් මිලියන 18.4ක් මෙතෙක් ගෙවා නැත. ඒ සම්බන්ධයෙන් අදාළ බැංකුව මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියට එරෙහිව 2019 දී නඩු පවරා ඇති බවද කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසීය.
දැන්වීම
එලෙස මාගම්පුර වරාය කළමනාකරණ සමාගම ගත් ණය මුදල ද නොගෙවා තිබියදී ඒ පිළිබඳ නොසලකා හරිමින් 2022 ජූනි 1 දින සමාගම ඈවර කිරීම සඳහා ඈවරකරුවකුද පත් කර ඇති බව කෝප් කමිටුවේදී හෙළි විය.
කෝප් කමිටුවේදී ඉදිරිපත් වූ තොරතුරු අනුව මෙම සමාගම 2013 ජූලි 5 දින ස්ථාපිත කර ඇත්තේ හම්බන්තොට වරාය කළමනාකරණ කටයුතු භාරව වන අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් බලපත්‍රයක් මඟින් හම්බන්තොට වරායේ ඉන්ධන සැපයුම්කරුවකු ලෙස මෙහෙයුම් ආරම්භ කර ඇත. මේ බාල තෙල් මිල දී ගැනීම් සිදු කර තිබෙන්නේ එම බලපත්‍රය භාවිත කරමිනි.