අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මහින්දව අළු කළ කළු මාධ්‍ය..!

මහින්දව අළු කළ කළු මාධ්‍ය..!

ආණ්ඩු පෙරළන්න මාධ්‍යට තිබූ තදියම..! තදියමට ආණ්ඩු පෙරළා 2001 දී රනිල්ට වූ දේ..! (උපුල් ජෝශප් ප්‍රනාන්දු) 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න රනිල් ගත්ත තීරණය දුරදිග නොබලා ගත් තීරණයක් යැයි කියන අය අදටත්…

ආණ්ඩු පෙරළන්න මාධ්‍යට තිබූ තදියම..!

තදියමට ආණ්ඩු පෙරළා 2001 දී රනිල්ට වූ දේ..!

(උපුල් ජෝශප් ප්‍රනාන්දු)

2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළන්න රනිල් ගත්ත තීරණය දුරදිග නොබලා ගත් තීරණයක් යැයි කියන අය අදටත් සිටි. රනිල් 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළුවේ නැත්නම් ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුම ගහන්න වෙන්නේ චන්ද්‍රිකාටය. බින්දුවටත් පහළට ගිය ආර්ථිකය ගොඩගන්න වෙන්නේ චන්ද්‍රිකාටය. කොළඹ වරායට,ගුවන් තොටුපළට පනවා තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ගන්න වෙන්නේ චන්ද්‍රිකාටය. යුද්ධය පැත්තෙනුත්, ආර්ථිකය පැත්තෙනුත්, ජාත්‍යන්තරවත් කොටු වී  සිටි චන්ද්‍රිකාට මේවා කිරීම පහසු වන්නේ නැත. 2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළුවේ නැත්නම් චන්ද්‍රිකා රටත් තල්ලු කර ගෙන යන්නේ විනාශයටය. එසේ වුවා නම් 2005 ජනාධිපතිවරණය රනිල්ට පහසුවෙන් ජය ගත හැකිව තිබිණි. හේතුව 2005 චන්ද්‍රිකාට තරඟ කළ නොහැකි වීමත් 2001 ආණ්ඩුව පෙරළුවේ නැත්නම් මහින්ද කෙනෙක් මතු නොවන නිසාත්ය. රනිල් 2001 හදිස්සි වී ආණ්ඩුව පෙරළීමෙන් වාසි වුණේ ශ්‍රීලනිපයටය.

ඇත්තටම 2001 ආණ්ඩුව පෙරළන්න තීරණය ගත්තේ රනිල් නොව එකල චන්ද්‍රිකා විරෝධී මාධ්‍යය.   චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරලන ලෙස රනිල්ට බලපෑම් කිරීමට මේ මාධ්‍ය එජාපය තුළ කැරැල්ලක් පවා නිර්මාණය කිරීමට සමත් විය. ඒ කැරැල්ලට නායකත්වය දුන්නේ ගාමිණී අතුකෝරාළය.

පක්ෂයේ ඉහළ තනතුරක් ඕනෑ දැයි රනිල් ගාමිණිගෙන් ඇසු විට ගාමිණි කිවේ ආණ්ඩුව පෙරළන්න කියාය. ගාමිණි ඇතුළු කැරළි කාරයින් උපදෙස් ගත්තේ චන්ද්‍රිකා විරෝධී මාධ්‍යයගෙන්ය. අන්තිමේදී රනිල් ඒ කැරැල්ලට යට විය. ඒ කැරැල්ලට බය විය.

ඔහු 2001 ආණ්ඩුව පෙරළන්න තීරණය කළේය. හැබැයි එකල චන්ද්‍රිකා විරෝධී මාධ්‍ය එතැනට රනිල්ව තල්ලු කළේ තම පෞද්ගලික න්‍යාය පත්‍ර හෝ ලාභ ප්‍රයෝජන තකා නොවේ. ඔවුන්ගේ දේශපාලන වුවමනාවටය. තමන්ට පන්න පන්නා ගහපු චන්ද්‍රිකාට පාඩමක් උගන්වන්නටය.

ඔවුන්ගේ බලපෑමට අවනත වූ රනිල්ට අන්තිමේදී අගමැති ධූරය පමණක් නොව ජනාධිපති ධූරය ද අහිමි විය. සටන් විරාමයෙන් පසු, ඍණ ආර්ථිකය ධන කරන්න ගිහින් ගහපු බදු රනිල්ගේ හිස මත වැටිණි.

එකල චන්ද්‍රිකා විරෝධී මාධ්‍යන්ගේ දේශපාලන අරමුණු ඉටු කරන්න ගොස් රනිල් අමාරුවේ වැටුණා සේ මෙදා මහින්ද, මහින්දවාදී මාධ්‍යන්ගේ ලාභ ප්‍රයෝජන පෞද්ගලික න්‍යාය පත්‍ර ඉටු කරන්න ගිහින් අමාරුවේ වැටි ඇත.

මේ මාධ්‍ය මහින්දගේ ආණ්ඩු කාලයේ මහින්දවාදී මාධ්‍ය හිමිකරුවන් පමණක් නොව මහින්දවාදී මාධ්‍යවේදීන් මහින්දට කඩේ ගියේ මහින්දගේ ආණ්ඩුවෙන් ලද වරදාන, වරප්‍රසාද වෙනුවෙන්ය. මේ හැම මාධ්‍යක්ම 2015 ජනාධිපතිවරණයේදී හිටියේ මහින්ද එක්කය. මහින්ද පරාජය වූ විගස මේ මාධ්‍ය අන්ද මන්ද විය. මහින්දගේ ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද ගත් මේ මාධ්‍ය ආයතනවල  මාධ්‍යවේදීන්ට ද  මහින්දගේ ආණ්ඩු කාලයේ ලබපු වරදාන වරප්‍රසාද අහිමි විය.

මේ සමගම මහින්දවාදී මාධ්‍ය හිමිකරුවන්ගේ හොර ගණුදෙනු එළියට එන්න පටන් ගෙන තිබිණි. ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ වෙද්දී ඔවුන්ට යකා වැහුණි.

2015ජනාධිපතිවරණයේදී මෛත්‍රීව පරාජය කරන්න මාධ්‍ය මෙහෙයවූ මේ මාධ්‍ය හිමිකරුවන් මෛත්‍රී ට ළං වුයේ තමන්ට එරෙහි පරීක්ෂණ යට ගහ ගෙන මෛත්‍රී ව රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කරන්නටය. මහින්දගේ ආණ්ඩු කාලයේ මහින්දගේ වරදාන වරප්‍රසාද ගත් මාධ්‍යවේදීන්ට මෛත්‍රී ළං විය. මෛත්‍රී ඔවුන්ව කරට ගත්තේය. ‘ආප්පයා’ කියා මෛත්‍රී ට ප්‍රසිද්ධ වේදිකාවේ බැණ බැණ සිටිය මහින්දවයි, මෛත්‍රීවයි ළං කරන්න ගේම ගැහුවේ මේ මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ය. මෛත්‍රීගෙන් පිනට අගමැතිකම ගන්නේ  නැතැයි පොහොට්ටු පාක්ෂිකයන්ට දිවුරා පොරොන්දු වූ මහින්ද, මෛත්‍රී එක්ක සාකච්ඡා ආරම්භ කළේ මේ ම්ධ්‍යවල බලපෑමටය.

මේ මාධ්‍ය බැසිල් එක්ක පෑහුණේ නැත්තේ බැසිල් මහින්ද -මෛත්‍රී දීගයට වළ කපපු නිසාය. බැසිල් මහින්දට කිවේ 2020 පොහොට්ටුවේ ජන රැල්ලකින් බලය ගමු කියාය. මාධ්‍ය හිමිකරුවන් ඒතාක් ඉවසා සිටින්න සුදානම් නොවිය. ඔවුන්ට ඉක්මනට බලය ඕනෑ විය. ඇතැම් මාධ්‍ය හිමිකරුවන්ට තම සහෝදරයන්ව හිරෙන් නිදහස් කර ගැනීමට අවශ්‍ය විය. තවත් මාධ්‍ය හිමිකරුවන්ට කොටස් වෙළඳපොළ මහින්දගේ ආණ්ඩුව කාලයේ වගේ මෙහයවා ලංකාවේ ව්‍යාපාර ජාලය සියතට ගන්න අවශ්‍ය විය.

තව හිමිකරුවන්ට ඉක්මනින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ගන්න ඕනෑ විය. ඇතැම් මාධ්‍ය හිමිකරුවන්ට එජාපයේ බලය සියතට ගන්න අවශ්‍ය විය. බොහොමයක් මාධ්‍ය හිමිකරුවන්ට තමන්ට එරෙහි දුෂණ නඩුවලින් බේරීමට අවශ්‍ය විය. මේ ඕනෑ එපාකම් ඉෂ්ට කර ගැනීමට ඔවුන්ට ඉක්මනට ආණ්ඩුවක් අවශ්‍ය විය. ඔවුන් මෛත්‍රීගෙන් පිනට අගමැති ධූරය ගන්නා තැනට මහින්දව තල්ලු කළේ ඒකය. මහිනද ඔවුන්ට  බය විය.

මහින්ද අගමැති ධූරය ගත් ඒ දවස් පනහේ මේ මාධ්‍ය හැසුරුණු ආකාරය දෙස බලන විට මෛත්‍රී-මහින්ද දීගයේ “අදිසි කපුවා” මේ මාධ්‍ය බව මොනවට පැහැදිළි විය. මහින්දට අගමැති ධූරය දෙන්න මෛත්‍රීගේ චකිතයක් තිබුණත් මේ මාධ්‍ය මෛත්‍රීට පෙන්නුවේ ඔබ එය කළොත් මාධ්‍ය සියල්ල ඔබ අතෙහි කියාය.

“ ඔබ රාජ්‍ය මාධ්‍ය පවරා ගෙන වැඩේ දෙන්න. අපි මෙහෙන් වැඩේ දෙන්නම්. යූ.ඇන්.පී. යට මාධ්‍යක් නැති කරමු. ජනතාව අන්තිමේදී විශ්වාස කරන්නේ මාධ්‍ය කියන දෙයයි. උසාවියත් මාධ්‍යට බය වේවි. කතානයකවත් මාධ්‍යයෙන් බය කරමු. 113  අපි බය කරල හදලා දෙන්නම්. ..”

මේ මාධ්‍ය මෛත්‍රීට දුන් උපදෙස්ය. මෛත්‍රීත් මේ මාධ්‍ය ලණුව කෑවේය. මහින්දත් කෑවේය. හැබැයි ජනතාව කෑවේ නැත. උසාවිය බය වුණෙත් නැත.

“අනේ අපොයි ...2020 මිනිසුන්ගේ කර පිටින් රජ ගෙදරට යන්න හිටිය මහින්ද මහත්තයා කරගත්ත නස්පැත්තිය..”

මහින්ද අගමැති ධූරය භාරගෙන 113 හදාගන්න බැරිව අසරණ වෙද්දී පොහොට්ටු පාක්ෂිකයන් කිවේ මේ කතාවය.හැබැයි මහින්ද මහත්තයාගේ දේශපාලනය අළු කළේ මේ කළු මාධ්‍ය බව මේ පාක්ෂිකයන් දන්නවාද.. දන්නේ නැත.

මහින්දව අළු කළ කළු මාධ්‍ය..!

-ගුරුදා විග්‍රහය-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
මහින්දව අළු කළ කළු මාධ්‍ය..! | Lanka Newsweek