අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..!

මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..!

ජෙහාන් මලික්ගේ හයියෙන් කෝටි 1000ක ණය ගිළලා..! ජිත් වර්ණකුලගේ බැංකු ඩිජිටල් කරණය ගැන වෝහාරික පරීක්ෂණයක්..! “ජෙහාන්-ජිත්” පරීක්ෂණවලට මලික්ගෙන් බලපෑම්..! (සුජිත් මංගල ද සිල්වා) මහ ජන බැංකුවේ…

ජෙහාන් මලික්ගේ හයියෙන් කෝටි 1000ක ණය ගිළලා..!

ජිත් වර්ණකුලගේ බැංකු ඩිජිටල් කරණය ගැන වෝහාරික පරීක්ෂණයක්..!

“ජෙහාන්-ජිත්” පරීක්ෂණවලට මලික්ගෙන් බලපෑම්..!

මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..!

(සුජිත් මංගල ද සිල්වා)

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරමින්, ජෙහාන් අමරතුංග නැමැත්තා තමා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල ණය මුදලක් සිය දේශපාලන හයිය සහ සබඳතා පාවිච්චි කරමින් ලබා ගැනීම හේතුවෙන් බැංකුව අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වන ජෙහාන් අමරතුංග මහතා මේ අති විශාල ණය මුදල ලබා ගෙන ඇත්තේ මලික් සමරවික්‍රම මහතාගේ ද, බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස තමාගේ ද බලතල අනියම් ලෙස  පාවිච්චි කරමින් බව මහ ජන බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මලික් සමරවික්‍රම මහතා ද ප්‍රධාන කොටස්කරුවකු වන “MTD WALKERS PLC” යනු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා  මහ මාර්ග සහ අනෙකුත්  ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන සිටින මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමේ ප්‍රධානතම දේශීය කොටස්කරුය.

මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමට අනුබද්ධිත මෙම “MTD WALKERS PLC” හී නියෝජ්‍ය විධායක සභාපතිවරයා වන ජෙහාන් අමරතුංග මහතා,මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද සමග එක්ව එම සමාගමේ මුදල් අයථා ලෙස පාවිච්චි කර ඇතැයි කියන චෝදනාව මත මැලේසියානු බලධාරීන් “MTD WALKERS PLC” සමාගමේ සියලුම ගිණුම් මේ වන විටත් “සීල්” තබා ඇත.

මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වී තිබෙන්නේ මේ පසුබිම මත වන අතර මහ ජන බැංකුව පිහිටුවා ගත වූ වසර හැට පහ කාලය ඇතුළත එම බැංකුව ලබා දී තිබෙන විශාලතම ණය මුදල මේ රුපියල් කෝටි දහය ඉක්ම වූ ණය මුදල වන  බව එම බැංකුවේ වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මහ ජන බැංකුවේම අධ්‍යක්ෂකවරයකු වන ජෙහාන් අමරතුංග මහතාට මේ අති විශාල ණය මුදල ලබා දී තිබෙන්නේ කිනම් පදනමක් සහ කවර ණය සහන කොන්දේසි යටතේ ද යන්න පිළිබඳව, එම බැංකුවේ මහ පරිමාණ ණය මණ්ඩලයේ මැදිහත්වීමෙන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ වන විට විශේෂ මුල්‍ය පරීක්ෂණයක් ද ආරම්භ කර තිබේ.

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන අතර තුර ජෙහාන් අමරතුංග  මහතා, තමා නියෝජ්‍ය විධායක සභාපති ධූරය දරන පුද්ගලික සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ ණය මුදලක්  ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ මේ තත්ත්වය ප්‍රධානියා සහ අනුගාමිකයින් අතර පවතින ගැටුම හෙවත් ළබැඳියාවන්ගේ නීතිමය ගැටුම ලෙස හඳුන් වන අතර මේ ක්‍රියාවලිය මුල්‍ය විනයට, සදාචාරයට සහ බැංකු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද අවධාරණය කරති.

ජෙහාන් අමරතුංග මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස ක්‍රියා කරන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සමීපතමයෙකි.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා යහ පාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවත් මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස දිගටම රැදී සිටීමට ඔහුට හැකි වී තිබෙන්නේ ඔහු මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වීම සහ මලික් සමරවික්‍රම මහතාත් ගාමිණී සෙනරත් මහතාත් අතර පවතින කුළුපගකම හේතුවෙන් යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දුන්නේ මලික් සමරවික්‍රම මහතාගේ සහ ජෙහාන් අමරතුංග මහතාගේ මේ ක්‍රියා කලාපය ආණ්ඩුවට විශාල ප්‍රශ්නයක් වී තිබෙන්නේය යන ස්ථාවරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සිටින බවයි.  

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂක ධූරය හැරුණු විට ජෙහාන් අමරතුංග මහතා “PEOPLE’S INSURANCE LIMITED”හී විධායක නොවන සභාපතිවරයා ලෙස ද “PEOPLE’S LEASING” හී විධායක නොවන අධ්‍යක්ෂකවරයා ලෙස ද ක්‍රියා කරයි.

මහ ජන බැංකු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බැංකුවට රුපියල් කෝටි 1000ක ණයකාරයකු වී සිටින ජෙහාන් අමරතුංග මහතා වහාම බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවය.

මේ අතර “SILVERLAKE DIGITAL ECONOMY” සමගම මගින් ක්‍රියාත්මක කෙරුණු මහ ජන බැංකුව “ඩිජිටල් කරණය” කිරීමේ ව්‍යාපෘතියේ දී සිදුව ඇතැයි සැක කෙරෙන මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා පිළිබඳව විශේෂ වෝහාරික පරීක්ෂණයක් සිදු කිරීමට ද එම බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබේ.

මේ ව්‍යාපෘතියේ දේශීය ඒජන්තවරයා ලෙස ක්‍රියා කරන්නේ “JUST IN TIME GROUP” හී සභාපති ජිත් වර්ණකුලසූරිය මහතා වන අතර ඔහු ද මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයෙකි.එමෙන්ම ඔහු අග්‍රාමාත්‍ය පෞද්ගලික සහයිකා සැන්ද්‍රා පෙරේරා මහත්මියගේ සමීපතම මිතුරෙකු වන අතර නිතර අරලිය හග මන්දිරයට යන එන පුද්ගලයෙක් ද වේ.

මහ ජන බැංකුව “ඩිජිටල් කරණය” කිරීමේ ව්‍යාපෘතියට අදාළව සිදු කිරීමට නියමිත මේ පරීක්ෂණයට ද ජෙහාන් අමරතුංග මහතාගේ රුපියල් කෝටි 1000 ඉක්ම වූ ණය මුදල සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට ද මලික් සමරවික්‍රම මහතාගෙන් මේ වන විටත් විවිධ අයුරින් බලපෑම් සිදු වෙමින් පවතින බව ද එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.  

මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ..! | Lanka Newsweek