අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“මලික්-ජෙහාන්”ගෙන් මහජන බැංකුව බේරා ගන්න ජනපති මැදිහත් වෙයි..!

“මලික්-ජෙහාන්”ගෙන් මහජන බැංකුව බේරා ගන්න ජනපති මැදිහත් වෙයි..!

කෝටි 1000 මදි වෙලා-තව කෝටි 80ක් ඉල්ලලා..! ජනපති දැඩි ස්ථාවරයක..! (උපුල් බණ්ඩාර) මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන ජෙහාන් අමරතුංග මහතා තමා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC”…

කෝටි 1000 මදි වෙලා-තව කෝටි 80ක් ඉල්ලලා..!

ජනපති දැඩි ස්ථාවරයක..!

(උපුල් බණ්ඩාර)

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන ජෙහාන් අමරතුංග මහතා තමා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල මුදලක් ණයට ගැනීමේ සිද්ධියත් සමග එම බැංකුව අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි මහ ජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු බැංකු බලධාරීන් ද,මහ බැංකු නිලධාරීන් වගේම ආර්ථික සහ මුල්‍ය විශේෂඥයින් ද සිකුරාදා (24) කැඳවා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරනු විමසා ඇත.

මේ ණය මුදල මෙසේ නිකුත් කිරීම සඳහා පසුබිම් වූ බලපෑම් සහ මේ ක්‍රියාදාමයට අදාළව මලික් සමරවික්‍රම අමාත්‍යවරයාගේ භූමිකාව පිළිබඳව ද ජනාධිපතිවරයා එහිදී කරුණු විමසා තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය වී තිබෙන්නේ මහජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන ජෙහාන් අමරතුංග මහතා තමා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000ක ණයක් ගැනීම සදාචාරයට,සම්ප්‍රදායට සහ මුල්‍ය යහ පාලනයට විරුද්ධ නිසා ඔහු මහජන බැංකුවේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සිද්ධිය සම්බන්ධ සිය ස්ථාවරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධන එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් බ්‍රහස්පතින්දා (23) සවස හමුවූ අවස්ථාවේදී ද පැහැදිළි කර ඇති මහ ජන බැංකුවේ උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.  

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ද  ක්‍රියා කරන ජෙහාන් අමරතුංග මහතා “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් එම බැංකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ අති විශාල ණය මුදලක් ලබා ගෙන ඇත්තේ  සිය දේශපාලන හයිය සහ සබඳතා පාවිච්චි කරමින් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මේ හේතුවෙන් මහජන බැංකුව අභ්‍යන්තරයේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයක් කලක සිටම නිර්මාණය වී තිබූ අතර “මලික් නිසා මහ ජන බැංකුව අනතුරේ…” යන ශීර්ෂය යටතේ 2018 අගෝස්තු මස 02 වැනිදා මේ පිළිබඳ සියලු තොරතුරු මුලින්ම රටට හෙළි කළේ “lankanewsweek” කණ්ඩායමය.

උපාය මාර්ගික සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වන ජෙහාන් අමරතුංග මහතා මේ අති විශාල ණය මුදල ලබා ගෙන ඇත්තේ මලික් සමරවික්‍රම මහතාගේ ද, බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස තමාගේ ද බලතල අනියම් ලෙස  පාවිච්චි කරමින් බව මහ ජන බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මලික් සමරවික්‍රම මහතා ද ප්‍රධාන කොටස්කරුවකු වන “MTD WALKERS PLC” යනු මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් ඇතුළු රට පුරා  මහ මාර්ග සහ අනෙකුත්  ඉදිකිරීම් කොන්ත්‍රාත් ගණනාවක් ලබා ගෙන සිටින මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමේ ප්‍රධානතම දේශීය කොටස්කරුය.

මැලේසියාවේ “CML-MTD CONSTRUCTIONS” සමාගමට අනුබද්ධිත මෙම “MTD WALKERS PLC” හී නියෝජ්‍ය විධායක සභාපතිවරයා වන ජෙහාන් අමරතුංග මහතා,මලික් සමරවික්‍රම අමාත්‍යවරයා ද සමග එක්ව එම සමාගමේ මුදල් අයථා ලෙස පාවිච්චි කර ඇතැයි කියන චෝදනාව මත මැලේසියානු බලධාරීන් “MTD WALKERS PLC” සමාගමේ සියලුම ගිණුම් මේ වන විටත්අත්හිටුවා තිබේ.

මේ අතර මේ අර්බුද හමුවේ “MTD WALKERS PLC” සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ වන විට ඉල්ලා අස්වී ඇති අතර ඒ හේතුවෙන් සහ මැලේසියානු බලධාරීන් එම සමාගමේ ගිණුම් අත්හිටුවා තිබීම මත මේ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වී තිබේ.

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකවරයකු ලෙස ක්‍රියා කරන අතර තුර ජෙහාන් අමරතුංග  මහතා, තමා නියෝජ්‍ය විධායක සභාපති ධූරය දරන පුද්ගලික සමාගම වෙනුවෙන් එම බැංකකුවෙන්ම රුපියල් කෝටි 1000 ඉක්ම වූ ණය මුදලක්  ගන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටින ආර්ථික සහ මුල්‍ය විශේෂඥයෝ මේ තත්ත්වය ප්‍රධානියා සහ අනුගාමිකයින් අතර පවතින ගැටුම හෙවත් ළබැඳියාවන්ගේ නීතිමය ගැටුම ලෙස හඳුන් වන අතර මේ ක්‍රියාවලිය මුල්‍ය විනයට, සදාචාරයට සහ බැංකු සම්ප්‍රදායට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද අවධාරණය කරති.

ජෙහාන් අමරතුංග මහතා මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස ක්‍රියා කරන අතර ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාගේ සමීපතමයෙකි.

මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා යහ පාලන ආණ්ඩුව පිහිටුවීමෙන් පසුවත් මහ ජන බැංකුවේ අධ්‍යක්ෂකරයකු ලෙස දිගටම රැදී සිටීමට ඔහුට හැකි වී තිබෙන්නේ ඔහු මලික් සමරවික්‍රම මහතාගේ ව්‍යාපාරික සගයා වීම සහ මලික් සමරවික්‍රම මහතාත් ගාමිණීසෙනරත් මහතාත් අතර පවතින කුළුපගකම හේතුවෙන් යැයි අරලිය ගහ මන්දිර ආරංචි මාර්ග පවසයි.

මහ ජන බැංකුවේ අධ්‍යක්ෂක ධූරය හැරුණු විට ජෙහාන් අමරතුංග මහතා “PEOPLE’S INSURANCE LIMITED”හී විධායක නොවන සභාපතිවරයා ලෙස ද “PEOPLE’S LEASING” හී විධායක නොවන අධ්‍යක්ෂකවරයා ලෙස ද ක්‍රියා කරයි.

මහ ජන බැංකු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ බැංකුවට රුපියල් කෝටි 1000ක ණයකාරයකු වී සිටින ජෙහාන් අමරතුංග මහතා වහාම බැංකුවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් විය යුතු බවය.

මේ අතර ජෙහාන් අමරතුංග මහතා තමා තමා විධායක නියෝජ්‍ය සභාපති ධූරය දරන “MTD WALKERS PLC” සමාගම වෙනුවෙන් මහ ජන බැංකුවෙන්ම තවත් රුපියල් කෝටි 80ක ණයක් ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලය මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
“මලික්-ජෙහාන්”ගෙන් මහජන බැංකුව බේරා ගන්න ජනපති මැදිහත් වෙයි..! | Lanka Newsweek