අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

කලාව

මම මගේම GAME එකේ අවසාන ක්‍රීඩකයා

The Last Player in My Own Game

කෙටි කතා

(සුජිත් මංගල ද සිල්වා)

මිනිසෙකුගේ ජීවිතය විනාශ කිරීමට හැම විටම සතුරෙකු අවශ්‍ය නැත. ඇතැම් විට ඔහුගේ ආදරයම ඒ සඳහා ප්‍රමාණවත්ය. තවත් විටෙක, ඔහුගේම මනස ඔහුට එරෙහිව කැරලි ගසයි. එහෙත් මා සම්බන්ධයෙන් මට තිබුණේ වෙනත් ප්‍රශ්නයකි. මම මගේ ජීවිතය ජයග්‍රහණය කරමින් සිටියාද, නැත හොත් මගේ ජීවිතය මට අවශ්‍ය ආකාරයෙන් ක්‍රීඩා කරමින් සිටියාද සහ සිටින්නේද..? මේ දෙක අතර වෙනස මට තේරුම් ගැනීමට බොහෝ කාලයක් ගත විය.

දැන්වීම

මම ජීවත් වෙමින් සිටින්නේ, ශ්‍රී ලංකාවේය. එහෙත් මගේ ඇතුළත පැවති ප්‍රශ්නවලට ජාතිකත්වයක් නොතිබිණි. ආදරය, ලිංගිකත්වය, බලය, දේශපාලනය, නිදහස, මතකය සහ මිනිසා තම තමාටම කියා ගන්නා බොරු ඇතුළු මේ සියල්ලට දේශසීමා තිබුණේ නැත.

මිනිසුන් මා ගැන විවිධ දේ සිතන්නට ද, කියන්නට ද, ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට ද ඇත. මේ මොහොතේත් තත්ත්වය එසේමය. ඇතැමෙක් මා ආඩම්බරකාරයෙකු ලෙස දකිති. තවත් අයෙකුට මා අහිංසකයෙකුය. සමහරුන් කියන්නේ මා ගැටුම් ඇති කරවන්නෙක් කියාය. සමහරවිට මේ තුනම නිවැරදි විය හැකිය. ප්‍රශ්නය වන්නේ මම කවුදැයි මම තවමත් නොදැන සිටීමය.

මගේ අභාන්තරයේ ජීවත් වන්නේ කිනම් මිනිසෙකු දැයි මම නොදනිමි. එහෙත් ඔහුට තමා ගැන විශාල විශ්වාසයක් සේම විභවයක් නම් තිබේ. ඒ අතරම, සිය ආත්මය ම බෙල්ලෙන් අල්ලා හොල්ලන වසඟාවියක් ඉදිරියේ ඉදිරියේ කුඩා දරුවෙකු වගේ නිහඬව හිඳීමටත් ඇයගේ දෙපා සිප වැළඳ ගනිමින් හඬා වළපීමටත් හැකි මට අවසානයේ දී ඇය නොමරා මරා දැමීමටත් මට හැකිය.

මේ විරුද්ධාභාශය එකම හදවතක තිබීමේ අනතුර මම පසුව ඉගෙන ගතිමි. මගේ ජීවිතයේ කාන්තාවන් හය දෙනෙකුගේ නම් මට මතකය. ඔවුන්ගේ අවසරය නොමැතිව මම ඒ නම් හෙළිදරව් නොකරමි. එහෙත් "නිලා" මගේ ජීවිතයේ සුවිශේෂීම ගැහැණිය වන අතර ඒ නම හෙළි කිරීමට මට නීත්‍යානුකූල අයිතියක් ද ඇත.

මේ නම් සය වැදෑරුම් අමල-කොමල-සුඛිත-මුදිත ගැහැණු එකම කතාවේ එකම අර්ථය නොදරති. මිනිසුන් බොහෝ විට ආදරය මනින්නේ එම සම්බන්ධය කොපමණ කාලයක් පැවතුණේද යන්නෙනි. නමුත් මම ඒ ආදරය-ලිංගිකත්වය සේම සම්බන්ධතාවයේ ජීවනය මනින්නට උත්සාහ කළේ වෙනත් ආකාරයකටය.

එනම් ගැහැණියෙක් මගේ ජීවිතයට ඇතුළු වූ විට මගේ අභ්‍යන්තරයේ කුමක් සිදු වූයේද..? මම ඇය සමඟ සිටියදී කවුරුන් බවට පත්වුණේද..? සමු ගැනීමෙන් පසුව මගේ අභ්‍යන්තරයේ කුමක් ඉතිරි වූයේ කුමක්ද..? මා ඒ සඳහා ප්‍රතිචාර දැක්වුයේ කෙසේ ද සහ මා නිසා ඇයට අකැපක් සිදු වුයේ ද යන්න පිළිබඳවය.

එකම ප්‍රශ්නයට ඒ හය දෙනාගෙන් ලැබුණේ එකම පිළිතුරක් නොවේ. සමහර සම්බන්ධතා මට නිදහස ගැන කියා දුන්නේය. තවත් අය මා වසඟයට පත් කළහ. සමහරුන් සමග සංවාදය. සමහර ඒවා ආකර්ෂණයේ බලය ගැන කියා දුන්නේය. තවත් ඒවා මිනිසෙකුට ගෞරවයෙන් සැලකීම සහ ඔහුගේ ජීවිතයේ බරක් වීම අතර ඇති වෙනස සිතන්නට සැලැස්වීය.

"නිලා" මගේ ජීවන මතකයි. ඇය මගේ මුළු ජීවිතයයි. එහි ආදරය-ලිංගිකත්වය-ආරක්ෂාව සියල්ල තිබිණි. අප දෙදෙනාට දාව ඉතා බුද්ධිමත්-හුරතල් සහ ලස්සන දුවක සේම පුතෙකු ද සිටියහ. නමුත් මගේම අවසරය පරිදි ඈ මා හැර ගියාය. ඊට පසුව ඒ තරමටම මගේ මුළු ආත්මයම හය වැනි කාන්තාව මට හමු වූ නමුත් ඇයගේත් නම හෙළි කිරීමට මට සදාචාරාත්මක හෝ නීතිමය අයිතියක් නොමැත. මේ ගැහැණුන් ගැන මට මගේ මතකවලට ද, ඒ ඒ සම්බන්ධතාවලටම ද මටම ආවේණික වූ අර්ථ තිබේ. එහි හරි හෝ වැරදි තේරුම් ගැනීමට මම උත්සහ නොදරමි. ඒ සිතුවිලි වළාවෝ එසේම පවතිති.

ඔවුන් සියල්ලන්ම එකම ගැහැනියකගේ විවිධ මුහුණු නොවීය. ඔවුන් වෙනස් මිනිසුන්ය. මගේ ජීවිතයේ වෙනස් පරිච්ඡේදය. එහෙත් ඒ සියල්ල අතරින් මම සොයමින් සිටියේ එකම දෙයක්දැයි මට විටෙක සිතේ. ඒ ආදරයද..? මානසික නිදහසද..? මාව සම්පූර්ණයෙන්ම තේරුම් ගත හැකි කෙනෙකුද..? නැත හොත් මට මාවම අහිමි නොකර ආදරය කළ හැකි ආකාරයක්ද..? ඒ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මට තවමත් අවශ්‍ය වේ. ඒ ප්‍රශ්න කවදාවත් නොවිසදෙනු ඇතැයි මට සිතේ. ප්‍රශ්නවලට උත්තර අවශ්‍යමද..? ඒවා ප්‍රශ්න ලෙසම තිබිය නොහැකි ද..?

මගේ ජීවිතයේ ඇතැම් සමු ගැනීම් සුන්දර නොවීය. මම අඬා ඇත්තෙමි. දවස් ගණන්, ඇතැම් විට සති ගණන් මගේ හිතේ බර උසුලා ගෙන සිට ඇත්තෙමි. අරක්කු බෝතලයක් අසල හිඳ ගෙන මගේම ජීවිතය ගැන ප්‍රශ්න කළ රාත්‍රීන් තිබිණි. එවැනි අවස්ථාවලදී මගේ අභ්‍යන්තරයේ සිටි ආඩම්බරකාර මිනිසා නිහඬ විය. ඔහුට කතා කිරීමට නොහැකි විය. ඒ මොහොතේ සිටියේ ආදරය කළ මිනිසා පමණි.

ඔහුට කෙනෙකු අවශ්‍ය විය. ඔහුට මතකයන් අමතක කිරීමට අවශ්‍ය විය. ඔහුට තමාට සිදු වූ දේ සාධාරණීකරණය කිරීමට අවශ්‍ය විය. ඇතැම්විට ඔහුට කිසිවක් නොසිතා නිදා ගැනීමට පවා අවශ්‍ය විය. නමුත් උදෑසන පැමිණියේය. ඒ වුණාට ලෝකය මගේ දුක වෙනුවෙන් නතර වී තිබුණේ නැත. දේශපාලන බලය තවමත් ක්‍රියාත්මක විය. මිනිසු තවමත් තමාගේම වාසිය සොයමින් සිටියහ. මගේ වැඩ කටයුතු තවමත් මා එනතුරු බලා සිටියේය.

මම නැඟිට්ටෙමි. ඒ මගේ වීරත්වය ගැන කියන කතාවක් නොවේ. මම කිසිදා බිඳී නොගිය මිනිසෙකු නොවෙමි. මා නැවත නැඟිටීමට හේතුව මගේ කඳුළු ව්‍යාජ වූ නිසා නොවේ. මගේ දුක සැබෑ විය. නමුත් මගේ ජීවිතයද සැබෑ විය. ඒ දෙකෙන් එකක් තෝරා ගෙන අනෙක අත්හැරීමට මට නොහැකි විය. නමුත් මගේ දුක-මගේ ජීවිතය කියා "කිසිවක්" තිබේ ද..? ඔව් තිබේ. ඒ "මගේ" කියා ගත් කල්හීය. එතෙකුදු වුවත් අපට එසේ ගැනීමට සිදුව තිබේ.

මට කාලයත් සමඟ අලුත් අදහසක් ඇති විය. මිනිසා තමාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ යැයි සිතීම එක්තරා මිථ්‍යාවකි. අපි සැලසුම් කරමු. තීරණ ගනිමු. අනාගතය පිළිබඳ සිහින දකිමු. එහෙත් අපේ හදවත ඇතැම්විට අපේ සැලසුම්වලට පිටතින් ක්‍රියා කරයි.

සංගීතයක් ඇසෙන විට මට අවශ්‍ය හැඟීමක් ඇති විය හැකිය. පැරණි මතකයක් හදිසියේ මතු විය හැකිය. මට අමතක වී ඇතැයි සිතූ යමක් එක් ගීතයකින් නැවත ජීවමාන විය හැකිය. මගේ ඇතුළත තවත් කෙනෙකු සිටිනවා වැනි හැඟීමක් මට ඇති විය. මම ඔහුට නමක් දුන්නෙමි. ඒ "අභ්‍යන්තර සෙවණැල්ල"

ඔහු මගේ සතුරා නොවීය. එහෙත් ඔහු මමම ද යන්න මට නිශ්චිතව කිව නොහැකි විය. මම සියල්ල විශ්ලේෂණය කරමින් සිටින විට, ඔහුට අවශ්‍ය වූයේ සමහර දේ ඒවා තිබෙන ආකාරයෙන්ම අත්විඳීමටය. මම ජීවිතයේ අර්ථය සොයමින් සිටින විට, ඔහු ඇතැම්විට සංගීතයකට සවන් දෙමින් ඒ මොහොතේ ජීවත් විය.

මම ඔහුගෙන් ඉගෙන ගත්තෙමි. හැම හැඟීමක්ම විසඳිය යුතු ප්‍රශ්නයක් නොවේ. හැම මතකයක්ම මකා දැමිය ද යුතු නොවේ. හැම සම්බන්ධතාවයකම අවසානය පරාජයක් නොවේ. ඒ වගේම සියල්ල ජය ගත යුතු යැයි නියමයක් ද නොවේ. සමහර දේ සිදුවීමට ඉඩ දිය යුතුය. ඒවායින් ඉගෙන ගත යුතුය. ඉන්පසු ජීවිතය ඉදිරියට ගෙන යා යුතුය.

මම මේ ආකාරයට සිතීම මගේ GAME එක බවට පත් කළෙමි. නමුත් ඒ ක්‍රීඩාවේ එක් නීතියක් මට පැහැදිලිව තිබිණි. මගේ ඇතුළත හඬ-ආත්මීය ඉල්ලා සිටීම-අභ්‍යන්තර ගැස්ම මට මාර්ගයක් පෙන්විය හැකිය. එහෙත් එම මාර්ගයේ ප්‍රතිවිපාකවලට මුහුණ දිය යුත්තේ මාය. මට මගේ හදවතට සවන් දිය හැකිය. නමුත් මගේ තීරණවල වගකීම හදවතට භාර දිය නොහැකිය.

මිනිසාගේ හැසිරීම තේරුම් ගැනීමට මට දේශපාලනයද උපකාරී වෙයි. දේශපාලනයේදී මිනිසු බලය ලබා ගැනීමට උත්සාහ කරති. සමහරු බලය ආරක්ෂා කරති. තවත් සමහරු බලය අහිමි වීමෙන් බියට පත්වෙති. ආදරයේදීද ඇතැම් විට ඒ ආකාරයේම දෙයක් සිදු වේ.

කෙනෙකුට අනෙකාගේ ආදරය අවශ්‍යය. නමුත් ඒ සමඟම අනෙකාගේ නිදහස ගැන බියක් ඇති විය හැකිය. කෙනෙකුට සමීපත්වය අවශ්‍යය. එහෙත් සමීපත්වය මත තමාගේ අනන්‍යතාව අහිමි වේ යැයි බිය විය හැකිය. ඒ නිසා මම මගෙන්ම ප්‍රශ්න කළෙමි.

මිනිසෙකුට කෙනෙකුට ආදරය කළ හැකි ද, ඔහුගේ නිදහසට ගරු කරන අතරම..? ලිංගික ආකර්ෂණය සහ මානසික බැඳීම එකම දෙයක්ද..? කෙනෙකු සමඟ ගත කරන රාත්‍රියකින් ලැබෙන සතුට සහ ඔහු හෝ ඇය සමඟ ජීවිතයක් ගොඩනැඟීමේ හැකියාව එකම දෙයක්ද..?

මට ඒවා එකම දේවල් නොවීය. ශරීරයට තමාගේම භාෂාවක් තිබිණි. හදවතට වෙනම භාෂාවක් තිබිණි. බුද්ධියට තවත් භාෂාවක් තිබිණි. එහෙත් ජීවත් විය යුත්තේ ඒ තුනම එකම මිනිසෙකු තුළය. මගේ ගැටලුව වූයේ ඒවා අතරින් එකක් තෝරා ගැනීම නොව, ඒවා සියල්ල සමඟ ජීවත් වන්නේ කෙසේද යන්නයි.

මම කෙනෙකුට ගැඹුරින් ආදරය කළ හැකිය. ඒ පුද්ගලයාගෙන් ලැබෙන සතුටට ආශක්ත විය හැකිය. ඔහු හෝ ඇය අසල සිටීමට මට අවශ්‍ය විය හැකිය. එහෙත් එක් අවස්ථාවකදී මට මගේ ජීවිතය නතර වී ඇති බවක් දැනුණොත්..? එවිට මම කුමක් කළ යුතුද..? මම මගේම අභ්‍යන්තරයෙන් නැඟෙන පිළිතුරට සවන් දුන්නෙමි.

ඉදිරියට යා යුතුය. ඒ පිළිතුර මට සැමවිටම නිවැරදිම පිළිතුර වූ බව මම නොකියමි. මිනිසෙකුට තමාගේ තීරණයක් නිවැරදි යැයි තදින් විශ්වාස කළ හැකි අතරම, එම තීරණය ඇතුළත නොදකින පැති තිබිය හැකිය. නමුත් මට මගේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමට සිදු විය.

සමු ගැනීමේදී මා ඉගෙන ගත් වැදගත්ම දෙය වූයේ ආදරය කළ ගැහැණිය අමතක කිරීම නොවේ. ගැහැණියකගෙන් ඉවත් වීම ඇය මගේ ජීවිතයේ කිසිදු අර්ථයක් නොතිබූ තැනැත්තියක යැයි කීම නොවේ. මම ඇයගෙන් සමු ගත හැකිය. නමුත් ඇය සමග වූ ඒ ප්‍රේමාලිංගන බැඳීම් ඇතුළු අතීතය සේම මතක

සේයා බොරු වන්නේ නැත.

මම මගේ මාර්ගයේ යා හැකිය. නමුත් එහෙමයි කියා අනෙකාගේ හැඟීම්වල වටිනාකම අහෝසි වන්නේ නැත. මම මගේ පොරොන්දු ඉටු කිරීමට උත්සාහ කළ හැකිය. නමුත් එමගින් නැවත එම සම්බන්ධතාවයට යා යුතු යැයි අදහස් වන්නේ නැත. මේ සියල්ල එකම ජීවිතයක කොටස්ය.

මගේ ජීවිතයේ අවසානයේදී මම කුමන මිනිසෙකු ලෙස ඉතිරි වේදැයි මම නොදනිමි. මම මගේ ආඩම්බරය ආරක්ෂා කරමින් සිටි මිනිසෙකුද..? මගේ අහිංසකකම රැක ගැනීමට උත්සාහ කරන මිනිසෙකුද..? නොඑසේ නම් දේව සළුපිළි පොරවා ගෙන එන මගේ අභ්‍යන්තර රාක්ෂයාට යට වූ මිනිසෙක් ද..? නැත හොත් ඒ තුනම එකවර ආරක්ෂා කිරීමට උත්සාහ කරමින්, ඒවා අතර නිරන්තරයෙන් ගැටෙන මිනිසෙකුද..?

සමහරවිට ඒ සියල්ලම මම විය හැකිය. මගේ ආඩම්බරය මට නැවත නැඟිටීමට උපකාර කළේය. එහෙත් ඇතැම් විට එම උඩඟුව මට මගේම දුර්වලකම් දෙස බැලීම දුෂ්කර කළා විය හැකිය. මගේ අහිංසකකම මට ආදරය කිරීමට ඉඩ දුන්නේය. එහෙත් ඒ හැගීම මාව වේදනාවටද විවෘත කළේය. දේව සළුපිළි පොරවා ගෙන එන මගේ අභ්‍යන්තර රාක්ෂයා නිසා ඇතැම් අයගේ ජීවිත අමු සොහොන් බවට පත් වූවා ද කියා නම් මම නොදනිමි. එහෙත් ඒ සතාගේ වාස භුමිය වූ කැලෑව ද මගේ අභ්‍යන්තරයම.

මට මේ තුනෙන් එකක් මරා දමා අනෙක පමණක් තබා ගැනීමට අවශ්‍ය නොවේ. මට අවශ්‍ය ඒ තුනම සමඟ එකට ජීවත් වීමට ඉගෙන ගැනීමය. මිනිසෙකුගේ ශක්තිය යනු කිසිවෙකුට අවශ්‍ය නොවන කෙනෙකු වීම නොවේ. ඔහුට ආදරය අවශ්‍ය විය හැකිය. ඔහුට සමීපත්වය අවශ්‍ය විය හැකිය. ඔහුට ගැහැණියකගේ උරහිසක හිස තබා ගෙන කිසිවක් නොකියා සිටීමට අවශ්‍ය විය හැකිය. ඒවා ඔහුගේ නිදහසට විරුද්ධ දේවල් නොවේ. ප්‍රශ්නය වන්නේ ඔහුට ආදරය කිරීමට හැකිද යන්න නොව, ආදරය කරන අතරම තමා කවුරුන්ද යන්න අහිමි කර නොගැනීමට හැකිද යන්නයි.

එක් රාත්‍රියක මම සංගීතයට සවන් දෙමින් සිටියෙමි. පැරණි මතක කිහිපයක් මගේ සිත හරහා ගමන් කළේය. ඒ මතක අතර සිනාසුණු මුහුණු තිබිණි. වෙන්වීම් තිබිණි. මට අමතක කිරීමට අවශ්‍ය වූ දේවල් තිබිණි. නැවත මතක් වීම ගැන මට සතුටක් දැනුණු දේවල්ද තිබිණි.

මම ඒ සියල්ලට විනිශ්චයක් දීමට උත්සාහ නොකළෙමි. මම මගෙන්ම ප්‍රශ්නයක් ඇසුවෙමි. මගේ ජීවිතයේ අවසානයේදී මට අවශ්‍ය වන්නේ කුමක්ද..? සියලු සම්බන්ධතා ජයග්‍රහණය කිරීමද..? කිසිවෙකුට මාව පරාජය කළ නොහැකි බව ඔප්පු කිරීමද..? මම ආදරය කළ සෑම ගැහැණියකම මගේ ජීවිතයේ රැඳී සිටීමද..?

නැත. මට අවශ්‍ය වන්නේ, මගේ ජීවිතය දෙස ආපසු හැරී බැලූ විට, මම වෙනත් කෙනෙකුගේ පිටපතක් බවට පත්වීමට උත්සාහ නොකළ බව දැන ගැනීමයි. මම වැරදි කළා විය හැකිය. මම කෙනෙකුගේ සිත රිදවා තිබිය හැකිය. මම මගේම හැඟීම් වැරදි ලෙස තේරුම් ගත් අවස්ථා තිබිය හැකිය. නමුත් මම මගේ ජීවිතය ගැන සිතීම නතර කළේ නැත.

මගේ ඇතුළත සිටි සෙවනැල්ල නිහඬව සිටියේය. සමහරවිට ඔහුට පිළිතුරක් තිබුණේ නැත. සමහරවිට මට ද පිළිතුරක් අවශ්‍ය නොවීය. මම සංගීතයේ හඬ තව ටිකක් වැඩි කළෙමි. ඉන්පසු මම සිනා සුණෙමි.

ඒ සිනහව සතුටින් පිරුණු මිනිසෙකුගේ සිනහවක්ද, දුක හඳුනා ගෙන ඒ දුක සමඟ ජීවත් වීමට ඉගෙන ගත් මිනිසෙකුගේ සිනහවක්ද යන්න මට කිව නොහැකි විය. එහෙත් මම තවමත් ජීවත්ව සිටිමි. මගේ ඉදිරි ගමන තවමත් අවසන් වී නොමැත.

මගේ ජීවිතයේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීමට මට නොහැකි වුවත්, මට එකක් තේරුම් ගත හැකි විය. ජීවිතය යනු තමා කිසිදා නොවැටෙන බව ඔප්පු කිරීමේ ක්‍රීඩාවක් නොවේ. වැටීමෙන් පසුව නැඟිටීමටත්, ආදරය කිරීමටත්, අවශ්‍ය විට සමු ගැනීමටත්, තමා කළ සියල්ලෙහි වගකීම භාර ගැනීමටත්, නැවතත් ජීවිතයට විවෘත වීමටත් ඉගෙන ගැනීමයි.

මම තවමත් ඒ ක්‍රීඩා කරමි.. ඒ අවසාන ජයග්‍රාහකයා වීමට නොවේ. මගේ ජීවිතය මටම හැඟෙන ලෙස ම ජීවත් කරවීමටය. මේ අවසානය නොව, තවත් පරිච්ඡේදයක ආරම්භයකි. නොනවතින අරගලයකි. නොකිසිවක කිසිවක් සොයා යාමක් දැයි මම නොදනිමි. ගැඹුරුම තාවකාලිකත්වය පූර්ණය කිරීමට දරන නොදැරිය යුතු වෙහසක් ද කියාවත් මම දන්නේ නැත.

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 9
බෙදාගන්න
මම මගේම GAME එකේ අවසාන ක්‍රීඩකයා | Lanka Newsweek