මධ්‍යසාර සම්බන්ධයෙන් අයවැය විවේචනය කරන්නේ ඇත්ත නොදන්නා අයයි

(සුජිත්ම මංගල ද සිල්වා ) මධ්‍යසාර සම්බන්ධයෙන් අයවැය විවේචනය කරන්නේ සැබෑ තත්ත්වය නොදන්නා අය යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ජනතා…
(සුජිත්ම මංගල ද සිල්වා )
මධ්‍යසාර සම්බන්ධයෙන් අයවැය විවේචනය කරන්නේ සැබෑ තත්ත්වය නොදන්නා අය යැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේදී පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ගාල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාමීය මට්ටමින් සමාජගත කිරීමේ ආරම්භක අවස්ථාවට ඊයේ (15) එක්වෙමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මක වෙයි.
දැන්වීම
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
" දැන් අද හැමෝගෙම රසවත් මාතෘකාව වෙලා තියෙන්නේ මධ්‍යසාර පාලනයට රජය ගත්තු ක්‍රියාමාර්ගය. අපි දැක්කා ඇතැම් මාධ්‍යවලත් මේක විවේචනය කරනවා. සමාජ ජාල වෙබ් අඩවිවලත් පතුරු ගහනවා. මේ අය මේවා කරන්නේ ඇත්ත තත්ත්වය හරියට නොදැන. ලෝකය මධ්‍යසාර පාලනය කිරීමට ගන්නා පිළිගත් ක්‍රියා මාර්ගයක් රජය මෙවර අරගෙන තියෙන්නේ. ඒක විවේචනය කරන අය ඇත්ත තත්ත්වය දන්නේ නැහැ. ලෝකයා මොනවාද කරන්නේ කියා දන්නේ නැහැ.
'මධයසාර පාලනය කිරීම සඳහා ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් තිබෙනවා. එහි දී මුළින්ම ප්‍රමිතියකින් තොර, අනවසර මත්පැන් සඳහා වෙළෙද පොළේ ඇති ඉල්ලුම පාලනය කරන්න අවශ්‍යයි. අපේ රටේ රා නිෂ්පාදනය කරන්නේ පොල් ගස් 40,000කින්. පොල්ගසකින් ගත හැක්කේ රා ලීටර 1.5ක් පමණයි. පොල්ගස් 40,000න් ම රා මැද්දත් ලීටර 80,000ට වැඩියෙන් රා නිෂ්පදානය කරන්න බැහැ. නමුත් ශ්‍රී ලංකාවේ ගණනය කිරීම් අනුව රා ලීටර ලක්ෂ තුනක් හතරක් වෙළෙඳ පොළේ විකිණෙනවා. මේ නිසා අපි ඇතැම් බලපත්‍ර අවලංගු කළා. රජයෙන් මේ බලපත්‍ර අවලංගු කළ විට දැන් ඒ අය කලබල වෙලා ආණ්ඩුව පෙරලන්න හැමතැනම දුවනවා. වෙන්නප්පුව, නාත්තන්ඩිය, බෙන්තර, අලුත්ගම ප්‍රදේශවල තිබූ බලසම්පන්න රා තැබෑරුම් බලපත්‍ර ටික අපි අවලංගු කළා. දැන් ඇත්ත රා වලට අවස්ථාව දීලා තියෙනවා. දැන් අර රා මදින මනුස්සයන්ට සැබෑ රා ටික විකුණගන්න පුළුවන්. රා කියමින් වෙන වෙන දේවල් විකුණන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. දැන් රා බොහොම සුළු ප්‍රමාණයයි නිෂ්පදානය වෙන්නේ.
සුරාබදු වාර්තා අනුව 2016 වර්ෂයේ දී අපේ රටේ මිලියන ලක්ෂ 129ක් මධ්‍යසාර නීත්‍යානුකූල ලෙස භාවිතා කර තිබෙනවා. නීත්‍යානුකූල නොවන ප්‍රමාණය ගැන කිසිම වාර්තාවක් නැහැ. අපි ඒවා අධ්‍යයනය කරලා තමයි ලෝකය පිළිගත් ක්‍රමය අනුව පාලනය කරන්න පටන් ගත්තේ. දැන් මේකට ඇතැම් අය කලබල වෙලා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් ප්රමුඛ රජය පොරොන්දු වී තිබෙනවා මේ රටේ මධ්‍යසාර භාවිතය අවම කරන්න. නීති විරෝධී ද්‍රව්‍යවලින් නිෂ්පාදනය වන රා ලීටර් ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් වෙළෙඳ පොළට එන නිසා එය පාලනය කරන්න තමයි අය වැයෙන් මධ්‍යසාර භාවිතය ගැන විශේෂ අවධානයක් යොමු කළේ. එය පාලනය කිරිමේන ජනතාවගේ සෞඛ්ය්ය යහපත් තත්ත්වයකට ගත හැකියි."
මෙම වැඩසටහන සඳහා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී.කොඩිකාර මහතා, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.සත්‍යානන්ද මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.