අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මංගල මුළු දිවියම කැප කළේ රට වෙනුවෙන් -කරූ-

මංගල මුළු දිවියම කැප කළේ රට වෙනුවෙන් -කරූ-

ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගියා රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කළා කුරිරු ඒකාධිපතිවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී සටන් නියමුවෙකු වුණා මංගලගේ වියෝව රටට-ජනතාවට-ජාතික දේශපාලනයට…

ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තරයට ගෙන ගියා 

රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කළා 

කුරිරු ඒකාධිපතිවාදයට එරෙහි ප්‍රජාතන්ත්‍රවාදී සටන් නියමුවෙකු වුණා 

මංගලගේ වියෝව රටට-ජනතාවට-ජාතික දේශපාලනයට පිරිමැසිය නොහැකි පාඩුවක් 

මංගල සමරවීරට නිවන් සුව අත්වේවා..!

(සුජිත් මංගල ද සිල්වා)  

ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තර කරළියේ ප්‍රදර්ශනය කරමින් ද, රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කිරීමට වෙර දරමින් ද, රටේ නාගරික සංවර්ධනය නූතනත්වය හා මුසු කිරීමට පියවර ගනිමින් ද, ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් බැහැර වූ නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක්  වෙනුවෙන් පෙනී සිටිමින් ද මේ රටේ දේශපාලන කරළියේ විවිධ භූමිකාවන් ඉටු කළ මංගල සමරවීර මහතා සමස්ත දේශපාලන ක්‍රියාකාරීත්වයම කැප කරන ලද්දේ රටේත් ජනතාවගේත් යහපත වෙනුවෙන් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ මංගල සමරවීර මහතාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් සිය සාතිශය සංවේගය පළ කරමින් දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම ශෝක පණිවුඩය මෙසේය. 

හිටපු අමාත්‍යවරයෙකු සේම නූතන ශ්‍රී ලංකාවේ පළමු පෙළ දේශපාලනඥයෙකුද වූ මංගල සමරවීර මැතිතුමා අභාව ප්‍රාප්ත වී ඇති පුවත අසන්නට ලැබීමෙන් මම ඉතාමත් සංවේගයට පත්වීමි. දක්ෂිණ ලංකාවේ මාතර සිය නිජ බිම කර ගනිමින් දේශපාලනයට එක් වූ මංගල සමරවීර මැතිතුමා ගම්-නගර ආදී සියලුම දේශපාලන මායිම් ඉක්මවා යමින් මානව වර්ගයාගේ යහපත ප්‍රාර්ථනා කළ සුවිශේෂී ලංකා පුත්‍රයෙකු ලෙස සැලකිය හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන දර්ශනය කෙරෙහි සැම විටම විශ්වාසය තැබූ එතුමා කුමන ජයග්‍රහණයක් අත් කර ගත හැකි වුවද කිසි විටෙක පටු සීමාවන්හි කොටු වෙමින් එකී ජයග්‍රහණ අත් පත් කර ගත හැකි උපාය මාර්ගයන් කෙරෙහි විශ්වාසයක් නොතැබීය. 

දැන්වීම

ශ්‍රී ලාංකේය පුරවැසි අභිමානය ජාත්‍යන්තර කරළියේ ප්‍රදර්ශනය කරමින් ද, රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට යොමු කිරීමට වෙර දරමින් ද, රටේ නාගරික සංවර්ධනය නූතනත්වය හා මුසු කිරීමට පියවර ගනිමින් ද, ආණ්ඩුවේ ආධිපත්‍යයෙන් බැහැර වූ නිදහස් ජනමාධ්‍ය සංස්කෘතියක්  වෙනුවෙන් පෙනී සිටි අමාත්‍යවරයෙකු ලෙස මේ රටේ විවිධ භූමිකාවන් ඉසුලූ එතුමා සිය සමස්ත දේශපාලන ක්‍රියාකාරීත්වයම කැප කරන ලද්දේ රටේත් ජනතාවගේත් යහපත මුල් කර ගෙනය. 

ඇතැම් අවස්ථාවල එතුමාගේ අදහස් සහ අප දැරූ අදහස් සමපාත නොවූවේ වුවද විසංවාදයට ගරුත්වයක් දැක්වූ මංගල සමරවීර මහතා එවන් අවස්ථාවලදී පවා රටේ යහපත උදෙසා සියලු දේශපාලන බලවේග සමග එක පෙළට සිට ගත්තේ මැදිහත් සිතකිනි. එතුමාගේ එම හැසිරීම සහ ක්‍රියාකලාපය අගය කළ යුතු ගුණාංගයකි. 

එතුමා සෑම විටම ඉහළින්ම ඔසවා තබන ලද්දේ මනුෂ්‍යත්වයේ සාරධර්මයන්ය. අධිකාරිවාදී සහ බල ඒකාධිකාරීත්වය සැම විටම පිළිකෙව් කළ එතුමා ඒ නිසාම සිදු කර ඇති කැප කිරීම් ද බොහෝය. එවැනි දේශපාලනඥයන් අද මේ රටේ බොහෝ දුර්ලභය. එතුමාගේ නික්ම යෑම මේ රටට අතිශයින්ම පාඩුවක් ලෙස වඩ වඩාත් දැනෙනුයේ ඒ නිසාය. 

ගරු මංගල සමරවීර මැතිතුමා මේ රටට ලබා දුන් දායකත්වය අප සෑම විටම අගය කරන්නෙමු. කෘතඥතාවය පළ කරන්නෙමු. ඒ සමගම එතුමාගේ අභාවය පිළිබඳව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ බලවත් සංවේගයද මංගල සමරවීර මහතාගේ සොහොයුරිය ඇතුළු පවුලේ සියලු දෙනා වෙත පළ කරන්නෙමු. එතුමාට නිවන් සුව අත්වේවා..!
 
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
මංගල මුළු දිවියම කැප කළේ රට වෙනුවෙන් -කරූ- | Lanka Newsweek