බොරළුව ඇලේ මල සිරුරක්..!

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලීසිය සිකුරාදා (21) සවස සොයා ගෙන තිබේ. මෙම මල සිරුර අංක 750 A, මණ්ඩකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව…
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)
බටපොළ පොලිස් වසමේ බොරළුව ඇලේ කොළ රොඩු සමග හිර වී තිබූ මල සිරුරක් බටපොළ පොලීසිය සිකුරාදා (21) සවස සොයා ගෙන තිබේ.
මෙම මල සිරුර අංක 750 A, මණ්ඩකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචිව සිටි ඉලන්දාරිදේව තරිදු ධනුෂ්ක ගුණවර්ධන (24) නැමැති තරුණයාගේ බවට ඔහුගේ මව වන තාවුලුහකුරු සුමනාවතී (64) නැමැති අය අද (21) පස්වරුවේ හදුනාගෙන තිබේ.
මලසිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ලූෂන් වඩුතන්ත්‍රී මහතා විසින් අද (21) පස්වරුවේ පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා මල සිරුර බළපිටිය මූලික රෝහලට රැගෙන යෑමටද නියෝග කළේය. මල සිරුර සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (22) බළපිටිය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතය.
දැන්වීම
ඉතා ගැඹුරු හෙල් සහිත කඩොලාන බහුල වගුරු බිම් යායක් මැදින් ගලා බසින බොරළුව ඇලේ දැව කදන්, අතුඉති, කොළරොඩු හිර වී තිබෙන පාළු ප්‍රදේශයක මෙම මලසිරුර තිබූ බව බටපොළ පොලීසිය කියයි. ඔරු බෝට්ටු ආධාරයෙන් අද (21) දවස පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකින් පසු මල සිරුර සොයා ගත් බවත් ඉදිමී නරක් වී තිබූ මල සිරුර බෝට්ටුවක් ආධාරයෙන් ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ෂණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් බොරළුව ඇල දෙපස මිනිස් වාසස්ථාන සහිත ප්‍රදේශයට ඇදගෙන ආ බවත් බටපොළ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණ පසු වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවත් ඝාතනයක් බවට වූ සැකය මේ වන විටත් පොලීසියට ඇති වි තිබෙන බවත් බටපොළ පොලීසිය කියයි. මියගිය අය අතුරුදන් වූ දින ඔහු සමග ගතකල ඔහුගේ මිතුරා සහ ඔහුගේ සහෝදරයා මේ වන විට දුරකතන ක්‍රියා විරහිත කොට සැගවී සිටින බවත් ඒ නිසාම මෙම සැකය ඇති වි තිබෙන බවත් බටපොළ පොලීසිය කියයි.
මියගිය අය පසුගිය 15 දින බටපොළ, කොබෙයිතුඩුවේ පදිංචි මාදූවගේ හසිදු මල්සර (21) නැමැති සිය මිතුරාගේ නිවසට ගොස් තිබේ. ඒ 15 දින රාත්‍රියේ පැවැත්වීමට නියමිත සිය මිතුරාගේ වැඩි මහල් සහෝදරයගේ විවාහ මංගල උත්සවයක් සදහා ඇදුම් පැලදුම් හා සපත්තුද රැගෙනය. 15 දින මධ්‍යම රාත්‍රිය වන තෙක්ම මොවුන් දෙදෙනා මංගල ශාලාවේ විනෝද වෙමින් සිට ඇති බවත් දෙදෙනා එක යතුරු පැදියකින් පිට වී ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
මියගිය තරිදු ධනුෂ්ක, සිය මිතුරා වන හසිදු මල්සර හදුනාගෙන ඇත්තේ කුරුදු තැලීමේදී බවත් දෙදෙනා තවත් පිරිස්ද එක්ව දිගු කාලීනව කුරුදු තැලීමේ නිරත වි ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී වැඩි දුරටත් තහවුරු වී තිබේ. සිය පුතා අතුරුදන්ව තිබෙන බව දන්වමින් මියගිය අයගේ මව වන 750 A, මණ්ඩකන්ද, කරන්දෙණිය ලිපිනයේ පදිංචි තාවුළු හකුරු සුමනාවතී (64) නැමැති අය පසුගිය 16 දින ඇල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද කර තිබෙන බව ඇල්පිටිය පොලීසිය කියයි.
බටපොළ, බොරළුව ඇලේ මල සිරුරක් තිබෙන බවට පසුගිය 19 දින ගාල්ල යුද්ධ හමුදා විශේෂ බලකායට ලැබුණ තොරතුරකට අනුව එදින දවස පුරා යුද්ධ හමුදා විශේෂ බලකාය සෝදිසි මෙහෙයුමක්ද සිදුකර තිබේ. මල සිරුරක් හමු නොවීම හේතුවෙන් එදින විශේෂ බලකාය මෙහෙයුම නතර කර තිබෙන අතර අද (21) නැවතත් බටපොළ පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදුකරන ලද මෙහෙයුමේදී මෙම මල සිරුර සොයා ගෙන ඇත.
ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි සහ අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරි උපදෙස් පරදි ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශණ ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දිමාල් ද සිල්වා, බටපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ප්‍රියදර්ශණ, පොලිස් සැරයන්වරුන් වන සනත් (35261), වීරසේකර (35207), හොරත් (38615), පොලිස් කොස්තාපල්වරුන් වන විතාන (69483), නිලන්ත (95113) යන නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වයි.