බුද්ධ ශාසනයේ යහ පැවැත්ම වනසන වසලයින් හඳුනා ගනිමු

සුනඛයෙකුට භික්ෂු චීවරය පෙරවීම සහාසික ක්‍රියාවක් නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලය ලබා දෙනු බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සමස්ත සමාජයම නිවැරදිව…
සුනඛයෙකුට භික්ෂු චීවරය පෙරවීම සහාසික ක්‍රියාවක්
නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලය ලබා දෙනු
බෞද්ධ ශාසනයේ යහ පැවැත්මට චේතනාන්විතව අවහිර කරන්නේ කවුරුන් ද යන්න පිළිබඳව සමස්ත සමාජයම නිවැරදිව තේරුම්ගත යුතුව ඇතැයි වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක, තිස්සව රජ මහා විහාරාධිපති සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදයේ සභාපති මුගුණුවටවන සිද්ධත්ත නා හිමියන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
සම්බුද්ධ ශාසනයේ යහපැවැත්ම ශ්‍රී ලංකාවට අදාලව සළකා බැලීමේ දී සුවිශේෂ වන්නේ එය ලංකාවාසීන්ගේ ලෝකෝත්තර විමුක්ති මාර්ගයක මූලික පදනම ස්ථායි කරගැනිමට ලබාදෙන දායකත්වයෙහි වැදගත්කම මත පමණක්ම නොවේ. එය ශ්‍රී ලංකාවේ සංස්කෘතික හර පද්ධතිය පමණක් නොව සමාජයේ යහපැවැත්මෙහි මූලික පදනම ද සංකේතවත් කරන හෙයිනි. භික්ෂු සමාජයේ ස්ථාවරත්වය මෙන් ම ඒ සඳහා පාදම වන ශ්‍රී ලාංකේය භික්ෂුවගේ පරමාදර්ශයන් රටට මෙන් ම සමස්ත ලෝකයට ද ඉතා වැදගත් වන්නේ එහෙයිනි.
එකී වැදගත්කම සලකා බැලීමේදී ශාසනයට මුවා වෙමින් එක්තරා සීමිත පිරිසක් භික්ෂුන් ලෙස පෙනී සිටිමින් සිදු කරන අගතිදායක ක්‍රියාවන් පිලිබඳව මේ රටේ ශාසන භාරධාරී මහතෙරවරුන් වහන්සේලාගේ පමණක් නොව රාජ්‍ය පාලනයට සම්බන්ධ සියළු බලධාරිනගේ ද ප්‍රමුඛ හා ගැඹුරු අවධානයක් යොමු කරවීම අත්‍යාවශ්‍යය.අප මෙම කරුණ පිළිබඳව අවධානය යොමු කරන්නේ මෑත යුගයේදී ශ්‍රමණ ප්‍රතිරූපකයන් කිහිප දෙනෙකු විසින් බෞද්ධ ශාසනයට මෙන් ම රටේ සංස්කෘතික යහපැවැත්මට කර ඇති නිග්‍රහයන් පිළිබඳව පළ වූ වාර්තාවන් සැළකිල්ලට ගනිමිනි.
එහි ආසන්නතම සිදුවිම වන්නේ බෞද්ධාගමට අපහාසයක් සහ ආගමික සංහිඳියාව බිඳී යන ආකාරයේ ක්‍රියාවක් සිදු කර ඇති රත්නපුරේ විමල බුද්ධි හා ‘‘විශ්ව බුද්ධිමුණි’’ නමින් භික්ෂුවක ලෙස පෙනී සිටි පුද්ගලයෙකු මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් තීන්දු කර තිබීමය. එකී පුද්ගලයා විසින් සිදු කර ඇති සාහසික ක්‍රියා හදුනාගැනීමට නම් ඔහු විසින් සුනඛයෙකුට භික්ෂු චීවරය පොරවා එය සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදාහැරීම පමණක් තේරුම්ගැනීම වුවද ප්‍රමාණවත්ය. අප මෙය සළකන්නේ එය මේ රටේ සිදු වූ හා සිදු වෙමින් පවතින එකම ශාසන විලෝපීය සිදුවීම වශයෙන් නොවේ.මෑත භාගයේ දී එවැනි හද කම්පා කරන සිදුවිම් ගණනාවක්ම වාර්තා වී ඇත. එවැනි අගෝචර ක්‍රියාවන් තවදුරටත් සිදුවනු වැළැක්වීම ප්‍රධාන වශයෙන් ම මේ රටේ ශාසන භාරධාරී මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ හා ඒ ඒ නිකායන් හි වගකීමය.
දැන්වීම
එහිදී ඇතැම් සිදුවීම් පදනම් කරගනිමින් අප රටේ මහානායක මාහිමිපාණන් වහන්සේලා යම් යම් අවස්ථාවලදී හැකි උපරිම ආකාරයෙන් කටයුතු කර ඇති බව ද උන් වහන්සේලාට ගෞරවයක් වශයෙන් සඳහන් කල යුතුය. නමුත් ඉන් ඔබ්බට ඵලදායි මැදිහත්වීමකට ඇති තිරණාත්මක බාධාව වී ඇත්තේ ඒ සඳහා නෛතික ප්‍රතිපාදන උන්වහන්සේලා වෙත පවරා නොතිබීමය. එය මේ රටේ ශාසන හිතකාමී බෞද්ධ භික්ෂුන් වහන්සේලා මෙන්ම සැදැහැවත් ගිහි සමාජය ද මැනවින් තේරුම්ගත යුතුය.
එයට ඇති එකම ප්‍රතිකර්මය දැනටමත් සකස් කර ඇති නිකාය කතිකාවත් පනත් කෙටුම්පතට නෛතික බලයක් ලබාදීමය. එය සිදු කල යුතුව ඇත්තේ මේ රටේ නීති සම්පාදන කාර්යයේ පරම වගකීම පැවරී ඇති ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය විසිනි. එකි වගකීම මේ දක්වා ඉටු නොවීම අප සැළකිය යුත්තේ මේ රටේ බෞද්ධ ශාසනයේ යහපැවැත්මට චේතනාන්විතව කරන අවහිර කිරීමක් ලෙසටය. මේ බව දැන්වත් මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තේරුම්ගත යුතුය. එමෙන්ම ඒ පිළිබඳව අදාල බළධාරින්ගේ හා ආයතනවල අවධානයට යොමු කරවමින් ඒ බව ඔවුන් වෙත පෙන්වාදීම ද මේ රටේ ගරු කටයුතු මහා සංඝරත්නයේ වගකීම වී ඇති බව අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරනු කැමැත්තෙමු.