අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බිඳ වැටුණු මව්බිම ගොඩගන්න ජවිපෙ සූදානම්

බිඳ වැටුණු මව්බිම ගොඩගන්න ජවිපෙ සූදානම්

එජාපය-සජබය-ශ්‍රීලනිපය විකල්පයක් නොවෙයි ජනපති ප්‍රධාන ආණ්ඩුව රට වනසලා ඉවරයි බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට පත් වීමට ජාතික ජන බලවේගය සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක…

එජාපය-සජබය-ශ්‍රීලනිපය විකල්පයක් නොවෙයි 

ජනපති ප්‍රධාන ආණ්ඩුව රට වනසලා ඉවරයි 

බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට පත් වීමට ජාතික ජන බලවේගය සූදානම් යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා කොළඹ දී බ්‍රහස්පතින්දා (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අවධාරණය කර සිටියේය.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් රටට-ජනතාවට විකල්පයක් නොවන අතර තට්ටු මාරු ක්‍රමයට තිත තැබීමට ජනතාව පෙළ ගැසී සිටින බව එහිදී පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය. 

මේ වන විට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙකක් ඉක්මවා පාර්ලිමේන්තුවේ කාලය වර්ෂයක් ඉක්මවා තිබෙනවා. ජනාධිපතිවරණයේදී, පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ පාලක කණ්ඩායම රටට  පොරොන්දු රාශියක් ලබා දුන්නා. නීතියේ විධානය සහ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීම, ආර්ථික සංවර්ධනය ඇති කිරීම, ගොවි ජනතාවට සහනධාර ලබාදීම, රැකියා ලක්‍ෂ ගණනක් ලබා දීම ආදී ප්‍රායෝගික නොවන අපේක්‍ෂාවන් පවා ජනතාවට ලබා දුන්නා. නමුත් ඔවුන් ඉතා කෙටි කලක දී, ඉතා වේගයෙන් ජනතාවගේ අප්‍රසාදයට මේ අය පත්වී සිටිනවා. ඊට ප්‍රධානම පදනම වී තිබෙන්නේ ආර්ථික අර්බුදයයි.

දැන්වීම

අපේ ඉතිහාසයේ ඇතිවී තිබෙන ගැඹුරුතම අර්බුදයට ආර්ථිකය මුහුණදී සිටිනවා. මාධ්‍ය මගින් වාර්තා කරන ආකාරයට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර් 1,500කට වඩා වරායේ හිරවී තිබෙනවා. විදේශ ණය වාරිකයන් ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් ඇති වීමේ අනතුර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති වී විශාල ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා. විවිධ ආනයනික සීමාවන් ආණ්ඩුවෙන් පනවා තිබෙනවා. ගොවි ජනතාවට නිසි ප්‍රමිතියෙන් යුත් යෙදවුම් ලබා දීමට අසමත් වී තිබෙනවා. සමාජයේ සෑම තලයකම පුද්ගලයන් සහ සෑම ක්‍ෂේත්‍රයකම පුද්ගලයන් අද මෙම තත්ත්වයන් අත්විඳිමින් සිටිනවා. 

මේ නිසා රටේ මහ ජනතාව අලුත් වෙනසක් අපේක්‍ෂාවෙන් කතා කරන්න පටන් ගෙන තිබෙනවා. කොවිඞ් වසංගත තත්ත්වය මත පවා වංචාව-දූෂණය සිදු කළ බව හෙළිවී තිබෙනවා. පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා ගනු ලැබූ තීන්දු වංචා-දූෂණවලින් ගහණ වී තිබෙනවා. සීනි බදු වංචාව ඇතුළු බදු වංචාවන් රැසක් සිදු කර තිබෙනවා. මේ නිසා අපේ රටේ ජනතාව වංචාව-දූෂණය සහ නාස්තියෙන් තොර පාලනයක් අපේක්‍ෂා කරනවා. රාජ්‍ය ආයතන පද්ධතිය අකාර්යක්‍ෂම වී රාජ්‍ය ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට පත්වී තිබෙනවා. රාජ්‍ය දේපොළ විකුණමින් තිබෙනවා. ලෝකයේ විවිධ කොන්දේසිවලට යටත්ව දණින් වැටී ණය ගැනීමට සිදුවී තිබෙනවා. සෑම අතින්ම අසාර්ථකත්වයට පත් රටක් ඉතිරි කර තිබෙනවා.

මේ අනුව ජනතාවට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාවකට වඩා ප්‍රශ්නවලින් ගොඩ ඒම සඳහා විසඳුමක්. සාම්ප්‍රදායික ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හෝ එක්සත් ජාතික පක්‍ෂයෙන් අපේක්‍ෂා කළ පිළිතුරු වර්තමානයේ අපේක්‍ෂා කරන්නේ නැහැ. ආණ්ඩුව කෙරෙහි කලකිරීමට ලක්වී තිබෙනවා සහ සමානවම එක්සත් ජාතික පක්‍ෂය සහ එමගින් කැඩී ගිය කණ්ඩායමත් ප්‍රතික්‍ෂේප කර තිබෙනවා. ජනතාව නව විසඳුම් මාවතක් කෙරෙහි පෙළ ගැසෙමින් සිටිනවා. 

සාම්ප්‍රදායික බල හුවමාරුව වෙනුවට අලුත් පන්නයේ බල හුවමාරුවක් ගැන සියලු දෙනා විශාල පිපාසයකින් පෙළෙනවා. වංචා-දූෂණවලින් තොර, ඒ අයගේ දේපළ පවරා ගෙන දඬුවම් ලබා දෙන, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය උසස් කර, නීතියේ ආධිපත්‍යය තහවුරු කර සාමකාමී රාජ්‍යයක් ගොඩනැගීමේ පිපාසයකින් පොදු ජනතාව පෙළෙනවා. මෙතෙක් අප රටේ තිබුණේ එක් පක්‍ෂයක් ප්‍රතික්‍ෂේප වන විට අනෙක් පක්‍ෂය බදා වැළඳ ගන්න ඉතිහාසයක්. 

අලුත් පාලක, අර්බුදයට විසඳුම් දෙන, බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ බලවේගය වන්නට ජාතික ජන බලවේගය සූදානම්. සාම්ප්‍රදායික බල හුවමාරුවෙන් සහ ඔළු ගෙඩි මාරුවෙන් එහාට යන ප්‍රතිපත්තිමය වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළ ගැසෙනවා. බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ විසඳුම බවට ජාතික ජන බලවේගය පත්කිරීමේ සහ බිඳ වැටුණු මව්බිම ගොඩනැගීමේ අභියෝගය භාර ගන්න අපි සූදානම්.

නීතිඥ සංගම්, ඉංජිනේරුවන්, කෘෂි විද්‍යාඥයන්, ග්‍රාමීය ජනතාව, වෘත්තීය සංගම්, එක් කර ගෙන අපි දීර්ඝව සාකච්ඡා කළා. මේ රට ගොඩනැගීම එක් එක් පුද්ගලයාගේ තනි තනි අභිලාෂයක් නොවේ. මේ රටේ යහපත් වෙනස්වීමක් අපේක්‍ෂා කරන බලවේග එක තැනකට කැඳ විය යුතුයි. ඒ මධ්‍යස්ථානය තමයි ජාතික ජන බලවේගය. 

මෙතෙක් සිදු කරන ලද සංවාදයන්වලින් වැඩ පිළිවෙළක් සහ එම කණ්ඩායම එළිදැක්වීම මූලික පරමාර්ථය කර ගෙන ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුව 20 වැනිදා අපි පවත්වනවා. සෞඛ්‍ය හේතුන් මත සියලු දෙනාටම ආරාධනා කරන්න නොහැකි වී තිබෙනවා. ඒ නිසා ඒ ඒ ක්‍ෂේත්‍රවලින් හඳුනා ගත් නියෝජිත කණ්ඩායම් කැඳවා මේ සමුළුව පවත්වනවා. ජනවාරි මාසයේදී දිස්ත්‍රික් මට්ටමින් නායකත්ව මණ්ඩල හඳුන්වා දෙන්න අපි සැලසුම් කර තිබෙනවා. 

මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඉහළින් එකතු වෙන කණ්ඩයම්වලට විතරක් බැහැ. ලක්‍ෂ ගණන් එකට පෙළ ගැස්සුවොත් විතරයි මේ අභියෝගය ජය ගත හැකි වන්නේ. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වගේම ග්‍රාමීය, නාගරික සහ සියලු ක්‍ෂේත්‍රවල සිටින ජනතාව එක මධ්‍යස්ථානයකට අපි කැඳවනවා. නාගරික වශයෙන් පමණක් නොවෙයි ග්‍රමීය වශයෙන් ජනතාව බල ගැන්වීමේ වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. ජනතාවත් එක්ක සංවාදයේ යෙදීම, අදහස් හුවමාරු කර ගැනීම ඔස්සේ විශාල මහජන ව්‍යාපාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. මේ දක්වා ගමන් කළ විනාශකාරී මාවත වෙනුවට විසඳුම් සෙවීමේ මාවතට අපි ජනතාව කැඳවනවා.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
බිඳ වැටුණු මව්බිම ගොඩගන්න ජවිපෙ සූදානම් | Lanka Newsweek