අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි”

“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි”

මහා බැංකු නිලධාරීන්ට නඩුත් නැහැ..! “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” අල්ලස් කෑ ඇමතිවරුන් නිදැල්ලේ..! ජනපති විධායක බලය යොදවා පරීක්ෂණ කඩිනම් කළ යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) බැඳුම්කර හොරා රවී කරුණානායක බව…

මහා බැංකු නිලධාරීන්ට නඩුත් නැහැ..!

“පර්පෙචුවල් ට්‍රෙෂරීස්” අල්ලස් කෑ ඇමතිවරුන් නිදැල්ලේ..!

ජනපති විධායක බලය යොදවා පරීක්ෂණ කඩිනම් කළ යුතුයි..!

“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි”

(සුජිත් මංගල ද සිල්වා)

බැඳුම්කර හොරා රවී කරුණානායක බව ඔප්පු වී නොමැති නම් ඔහු එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර, ඇත්ත හොරා කවුරුන් ද කියා රටට හෙළි කරමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම වග කිව යුතු බලධාරීන් වහාම පියවර ගත යුතු යැයි වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ්‍ය සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා “lankanewsweek”වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ  ආචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා මෙසේ ද  කීය.

මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කෙරුණු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම සහ එමගින් නිකුත් කෙරුණු විමර්ශන  වාර්තාව ඒ ඒ මැතිවරණ කාලවලදී පමණක් උඩට ගෙන හෝද හෝදා මඩේ ඔබන හුදු දේශපාලන වාසිය වගේම පැවැත්ම උදෙසා පාවිච්චි කරන උපකරණයක් බවට පත්ව තිබෙනවා.

මේ වාර්තාව,එමගින් හෙළි කෙරුණු කරුණුවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට සහ එම කරුණු ගැන ජන සමාජය ඉදිරියේ කතා කිරීමට ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට මැතිවරණ සමයේ තිබූ උනන්දුව සහ හදිසිය අද නැති වී ගොස් තිබෙන්නේ ඇයි?

මේ සිද්ධියේ ප්‍රධානතම චූදිතයා වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා රටෙන් පැන ගොස් නිදැල්ලේ සිටින අතර අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේන යන මහත්වරුන් අත්අඩංගුවේ පසු වන අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිවැරදිව ක්‍රියාත්මක වන බවක් නම් දිස් වන්නේ නැහැ.

මේ සිද්ධියට අදාළව ශ්‍රී ලංකා මහා බැංකු නිලධාරීන් ගණනාවකගේ ගෑවී තිබෙන අතර ජනාධිපති විශේහ්ස විමර්ශන කොමිසමේ වාර්තා මගින් එම නිලධාරීන්ට ද චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම අර්ජුන් ඇලෝසියස් සහ “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමෙන් “චෙක්පත්”වලින් සල්ලි රුපියල් ලක්ෂ ගණනින් ගත් මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනයක් ද හෙළිදරව් වී තිබෙන අතර සමහරුන් තමා එසේ සල්ලි ගත් බව ප්‍රසිද්ධියේ පළිගෙන ද තිබෙනවා.

මේ අතර මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව තමා ජනමාධ්‍ය ඔස්සේ අසත්‍ය සංඛ්‍යා ලේඛණ රටට ජනතාවට ඉදිරිපත් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ පාපෝච්චාරණය කරමින් පිළි ගත් බව ද අප කවුරුත් දන්නවා.

එසේ තිබියදී මේ සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ චෝදනා එල්ල වී පමණක් නොව එම චෝදනා ඔප්පු වී තිබියදී පවා මේ මහා බැංකු නිලධාරීන් සහ මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පරීක්ෂණ සිදු කර ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

මේ සියලු දෙනා නිදැල්ලේ සිටියදී,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදිසියේම කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උප නායක,හිටපු මුදල් අමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කළා යැයි කියා ඔහුට විරුද්ධව පමණක් නඩුවක් පැවරීමයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කළ එම නඩුවෙන් ගම්‍ය වන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවට සැක කෙරෙන බව විනා ඔහු මහ බැංකු බැඳුම්කර ගනු දෙනුවෙන් හොරකම් කර නොමැති බවයි.

රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් ඔහු සිර භාරයට පත් නොකරන්නේ ඔහු මේ ගනු දෙනුවට සම්බන්ධ වී එමගින් මහ ජන මුදල් සොරකම් කර ඇති බවට කිසිදු සාක්කියක් නොව චෝදනාවක් ද නොමැති නිසයි.

රවී කරුණානායක මහතා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කළා යැයි කියන චෝදනාව සහ සැකය මත ඔහුට විරුද්ධව නඩු පවරනවා නම් රටේ මහත් ආන්දෝලනයට තුඩු දුන්,ජනතාව ඉතාම සංවේදී වූ සහ අතිශය සංකීරණ වගේම ප්‍රශ්නකාරී වූ එම ගනු දෙනුව සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ ජනමාධ්‍ය ඔස්සේ රටට ජනතාවට අසත්‍ය ප්‍රකාශ ඉදිරිපත් කළ බව පාපෝච්චාරණය කරමින් එම කොමිසම හමුවේ සිය වරද පිළි ගත් බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ අයි?

එමගින් ගම්‍ය කිරීමට උත්සහ කරන්නේ මනුෂ්‍ය ඝාතනයක් හෝ සිදු කර වරද පිළි ගන්නේ නම් නීතියෙන් ඕනෑම අයෙකුට ගැලවී සිටිය හැකිය යන භයානක ආදර්ශය ද?

ඒ වගේම මේ ගනු දෙනුවට අදාළව ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් වාර්තාවේ නම් සඳහන් වන මහා බැංකු නිලධාරීන් අත්අඩංගුවට නොගන්නේ ඇයි? ඒ අයට එරෙහිව නඩු නොපවරන්නේ ඇයි?ඒ අයට මහා බැංකුවේ තව දුරටත් නිදැල්ලේ සිටීමට ඉඩ හැර තිබෙන්නේ කිනම් අයෙකුගේ කිනම් බලපෑම් මතද?

එපමණක් නොව අර්ජුන් ඇලෝසියස්ගෙන් සහ “පර්පෙචුවල් ට්‍රෙෂරීස්” සමාගමෙන් සල්ලි ගත් බව කියන මැති ඇමතිවරුන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයක් එළියට ඇවිත් තිබෙන අතර සමහරුන් ඒ බව ප්‍රසිද්ධියේම පිළි ගෙන ඇතත් ඒ අය සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ.

බැඳුම්කර ගනු දෙනුවට අදාළ විශාලම පීඩනය සහ ලොකුම චෝදනාව එල්ල වූයේ ද,සියලු දෙනාගේම ඉලක්කය වූයේ ද රවී කරුණානායක මහතා වන අතර මේ චෝදනා හමුවේ පරෙක්ෂණවලට ඉඩ දී සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ද ඔහුට සිදු වුණා.

කෙසේ නමුත් ඔහු එම ගනුදෙනුවෙන් මුදල් හොරකම් කර නොමැති බව සහ ඔහු ඊට දායක වී නොමැති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.එවැනි චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට නඩු නොපැවරෙන්නේ ඒ නිසා බව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැකියි.

එසේ නම් කාලයක් තිස්සේ හොරෙකු ලෙස හංවඩු ගැසූ රවී කරුණානායක මහතා එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ යුතුකමක්,වගකීමක් සහ සදාචාරයක් ඔහුට එම චෝදනා එල්ල කළ ජන සමාජයට,දේශපාලන බල අධිකාරියට වගේම නීතියට තිබිය යුතුයි.කරුණු නොදැන යමෙකුට චෝදනා එල්ල කර වරදක් සිදු වුණා නම් නිසි කරුණු දැන ගැනීමෙන් පසු තේරුම් ගන්නා එම වරද නිවැරදි කර ගැනීමට ද අප නිහතමානී විය යුතුයි.

ඕනෑම අයෙකුට සියල්ලට වඩා වටින්නේ සිය ආත්ම ගෞරවයයි.එමනිසා යමෙකුගේ අතින් තවත් අයෙකුගේ ආත්ම ගෞරවය කිසුදු පදනමකින් තොරව  විනාශ වුණා නම් ඒ බව අවසානයේදී හෝ තේරුම් ගත්තාට පසුව අගතියට ලක්වූ ඒ පුද්ගලයාගේ ආත්ම ගෞරවය රැක දීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස අප සියලු දෙනාගේම යුතුකම සහ වගකීම වනවා.

රවී කරුණානායක මහතා මෙසේ ඉලක්ක වී ඇත්තේ යම් අදිසි දේශපාලන හස්තයක අවශ්‍යතාවය සහ යම් යම් පාර්ශවයන්ගේ ගැලවීමේ අවශ්‍යතාවය මත බව මේ ක්‍රියාදාමය දෙස අවධානයෙන් යුතුව බලන දේශපාලනය ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන ඕනෑම අයෙකුට තේරෙන බව කිව යුතු අතර ඊට ඉඩ දී බලා සිටීම එක්සත් ජාතික පක්ෂයේ දේශාපලන අනාගතයට ද අගතිගාමී බව ද අවධාරණය කළ යුතුයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපට කියන්න තිබෙන්නේ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ වේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ වේවා පොලීසියේ හෝ වේවා ඇඟිලි ගැසීම් තිබෙන බවට චෝදනා එල්ල නොකර රටේ නායකයා ලෙස සිය විධායක බලතල යොදවා මේ පරීක්ෂණ මන්දගාමී කර යට ගැසීමට ඉඩ නොතබා වේගවත් කරමින් වරදිකරුන්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

මේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පුළුල් වෝහාරික පරීක්ෂණයක් කරන බව මහා බැංකු අධිපතිවරයා කියා සිටියත් එම පරීක්ෂණයට සිදු වූයේ කුමක් ද කියා කවුරුවත් දන්නේ නැහැ.මේ සියලු කරුණු කාරණා සහ ඊට වග කිව යුත්තේ කවුරුන් ද යන්න පළිබඳව ද පරීක්ෂණවල තත්ත්වය වගේම වරදිකරුන්ට එරෙහිව ගන්නා පියවර සම්බන්ධයෙන් ද දැන ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා.

“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
“බැඳුම්කර හොරා රවී නොවේ නම් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුයි” | Lanka Newsweek