බාල් නැටීම වහාම නවතා ජනතාවට සහන පැකේජයක් ලබා දෙනු

ප්‍රිය සම්භාෂණ, සාජ්ජ සහ උත්සව පවත්වමින් ආණ්ඩුව සිදු කරන නාස්තිකාර වියදම් වහාම නතර කර ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා "සහන පැකේජයක්" හඳුන්වා දෙන්නැයි…
ප්‍රිය සම්භාෂණ, සාජ්ජ සහ උත්සව පවත්වමින් ආණ්ඩුව සිදු කරන නාස්තිකාර වියදම් වහාම නතර කර ජනතාවට වසර අවසානයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් හෝ සහනදායි මිලට ලබා ගැනීම සඳහා "සහන පැකේජයක්" හඳුන්වා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
මේ තත්ත්වයෙන් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුව ජනතාවගේ හද ගැස්ම තවමත් තේරුම් ගෙන නැති බව යැයි පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද රට පවතින්නේ ප්‍රිය සම්භාෂණ, සාජ්ජ සහ උත්සව පැවැත්විය හැකි වාතාවරණයක නොවන බවද ප්‍රකාශ කළේය.
ජනතාව වේලක් හැර වේලක් කා අන්ත දුෂ්කරව ජීවත් වන අවස්ථාවක පාලකයන්ට එම කටුක යථාර්තය නොතේරීම ප්‍රහේලිකාවක් බවත් දූ දරුවන් පාසලවල සහ දහම් පාසල්වල ක්ලාන්තවී ඇද වැටෙන තත්ත්වයක් නිර්මාණයවී ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
දැන්වීම
ආහාර සහ පාසල් උපකරණ ගැනීමට නොහැකිව දරුවන් පාසල් නොයන තත්ත්වයක්ද නිර්මාණය වෙමින් පවතින බව පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාසල් උපකරණ සහන මිලට ලබා ගැනීම සඳහාද වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කළේය.
ආණ්ඩුව පරණ සෙල්ලම ඒ ආකාරයටම ගෙන ගිය හොත් රටේ අරගල යළිත් මතුවීම වැලැක්විය නොහැකි බවත් රජය අරගලකරුවන්ගේ ඉල්ලීම් යළිත් සිහිපත් කර ගැනීම මේ මොහොතේදී ඉතා වැදගත් බවත් ඔහු පැවසුවේය.
ආණ්ඩුවේ සියලුම ආකාරයේ නාස්තිකාර වියදම් සොයා බලා කපා දැමීමට කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බව ද අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.