අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන්..!

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කුසපත් ඇදීමෙන්..!

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ගාල්ල, බළපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතා…

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

ගාල්ල, බළපිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා සහ උප සභාපතිවරයා ලෙස එම පක්ෂයේම නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතා කුසපත් ඇදීමෙන් අද (24) සවස තේරී පත් විය.

දකුණු පළාත් පාලන කොමසාරිස් එරංදි උමංගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාවේ පළමු සභාවාරය ගාලුපාර, බළපිටිය ලිපිනයේ පිහිටි බළපිටිය ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේදී අද (24) ප.ව 2.30 ට පැවැත්විණි. ඒ සදහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2025.05.31 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කරන ලද බළපිටිය ප්‍රාදේශීය සභාවට 2025.05.06 දින පැවති පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත් වූ සභිකයින් 19 දෙනෙක් සහ පත්කල සභිකයින් 15 දෙනෙක් ඇතුළු සමස්ථ සභිකයින් 34 ක් සහභාගී විය.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර සදහා ජාතික ජන බලවේගය පක්ෂයේ රූපනිංගල් අනුරුද්ධ මහවැලි සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නිලාහන්දි සමන් ද සිල්වා යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතාගේ නම ජාතික ජන බලවේගය පක්ෂයේ නදීර සුමුදුප්‍රිය රුවන්පුර සහ එම පක්ෂයේම දර්ශණ සපුතන්ත්‍රී යන මහත්වරුන් විසින් සහ නීලාහන්දි සමන් ද සිල්වා මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ අජිත් අසේල ද සොයිසා සහ සමගි ජන බලවේගය පක්ෂයේ පවරසිරි ද සොයිසා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සභාවට ඉදිරිපත් විය. සභාපති තනතුර සදහා සභිකයින් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත් වීම හේතුවෙන් එයින් එක් අයෙකු තෝරා ගැනීම සදහා පැවැත්විය යුත්තේ රහස් ඡන්දයක්ද විවෘත ඡන්දයක්ද යන්න තීරණය කර ගැනීම වෙනුවෙන් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් කරන ලද විමසීමේදී නදීර සුමුදුප්‍රිය රුවන්පුර මහතා විසින් රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවත් මුකදම්වසම් සෙනරත් මහතා විසින් විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවත් ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් පළාත් පාලන කොමසාරිස්වරිය එක් එක් සභිකයින් තමන් සමීපයට කැදවා කරන ලද මත විමසීමේදී සභිකයින් 16 දෙනෙක් රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවත් අනෙක් සභිකයින් 16 දෙනා විවෘත ඡන්දයක් පැවැත්විය යුතු බවත් ප්‍රකාශ කර තිබුණි. ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැලිතොට චරිත් මහේෂ් සහ හෙට්ටියාහන්දි චලන යන මහත්වරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

දැන්වීම

පළාත් පාලන පනත හා රාජ්‍ය පරිපාලන උපදෙස් වලට අනුව ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමෙන් ඡන්ද ක්‍රමය තෝරා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනුව කුසපත් ඇදීමක් සිදු කරන ලදී. මෙවන් අවස්ථාවලදී ‘මා විසින් යෝජනා කල ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක වේ’, සහ ‘මා විසින් යෝජනා කල ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක නොවේ’ යනුවෙන් වූ තුණ්ඩු දෙකින් එකක් තෝරා ගත යුතු අතර එයින් පළමුවෙන් තුණ්ඩුව තෝරා ගැනීම සිදු කරන්නේ ඡන්ද ක්‍රමය සම්බන්ධයෙන් වූ යෝජනාව පළමුව ඉදිරිපත් කල අය බවට පළාත් පාලන පනත හා රාජ්‍ය පරිපාලන උපදෙස් වල සදහන් වන බවත් ප්‍රකාශ කල පළාත් පාලන කොමසාරිස්වරිය ඒ අනුව පළමුව තුණ්ඩුව තොරා ගැනීමට මුකදම්වසම් සෙනරත් මහතාට අවස්ථාව ලබා දුන්නේය. ඒ අනුව පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක් බවට තීරණය විය. විවෘත ඡන්ද විමසීමේදී නීලාහන්දි සමන්ද සිල්වා මහතා ඡන්ද 16 ක් රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා ඡන්ද 16 ක් ලබා ගත් අතර සභාපති තනතුර සදහා ඉදිරිපත් වූ ඔවුන් දෙදෙනා ලබාගත් ඡන්ද නැවතත් සමාන විය. මෙම අවස්ථාවේදීද කොමියුනිස්ට් පක්ෂයේ සභිකයින් දෙදෙනා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

පසුව පළාත් පාලන කොමසාරිස්වරිය ඒ සදහාද කුසපත් ඇදීමක් පැවැත්වීය. ගරු සභාපති යනුවෙන් සදහන් කරන ලද තුණ්ඩුවක් සහ හිස් කොලයක් සහිත තුණ්ඩුවක් ඒ සදහා යොදා ගත් අතර එහි පළමු තුණ්ඩුව ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නේ පළමුවෙන් නම යෝජනා වූ නිලාහන්දි සමන් ද සිල්වා මහතාටය. එහිදී සමන් ද සිල්වා මහතා හිස් තුණ්ඩුව සහිත කොළ කැබැල්ල තොරා ගත් අතර ඒ නිසාම රූපනිංගල් අනුරුද්ධ මහවැලි මහතා බළපිටිය ප්‍රාදේශිය සභාවේ නව සභාපතිවරයා බවට තේරීපත් වු බව පළාත් පාලන කොමසාරිස්වරිය විසින් නිවේදනය කළේය. 

උප සභාපති තනතුර සදහා ජාතික ජන බලවේගය පක්ෂයේ නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතාගේ නම එම පක්ෂයේම ගෝනියා මාලිමගේ තරංගා දර්ශණී අපොන්සු සහ නදීර සුමුදුප්‍රිය රුවන්පුර යන මහත්ම මහත්මීන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් විය. එම තනතුර සදහා සමගි ජන බලවේගය පක්ෂයේ මුකදම්වසම් සෙනරත් මහතාගේ නම එක්සත් ජාතික පක්ෂයේ ගාමිණී යසරත්න සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීලාහන්දි සමන් ද සිල්වා යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත් විය. මේ වෙනුවෙන්ද පැවැත්විය යුත්තේ කුමන ඡන්ද ක්‍රමයක්ද යන්න සම්බන්ධයෙන් කරන ලද මත විමසීමේදී සභිකයින් 16 දෙනෙක් විවෘත ඡන්දයක් පැවැත්වීමට සහ තවත් 16 දෙනෙක් රහස් ඡන්දයක් පැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබුණි. කොමියුනිට් පක්ෂයේ සභිකයින් දෙදෙනා ඡන්දය දීමෙන් වැලකී සිටි අතර සභාපති තොරන අවස්ථාවේදී මෙන් කුසපත් ඇදීමෙන් විවෘත ඡන්දයක් පැවැත්වීමට තීරණය විය.

එම අවස්ථාවේදීද යෝජනා දෙකට ඡන්ද 16 ක් සහ 16 ක් වශයෙන් චන්ද සමාන වූ අතර කුසපත් ඇදීමෙන් උප සභාපති තනතුර සදහා නුවන් සම්පත් ද සිල්වා නිලමුණී මහතා තේරී පත් විය. එම අවස්ථාවේදීද ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂයේ වැලිතොට චරිත් මහේෂ් සහ හෙට්ටියාහන්දි චලන යන මහත්වරුන් ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

බළපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය කොට්ඨාශ 19 කින් සමන්විතය. එම කොට්ඨාශ 19 න් 16 ක් ජාතික ජන බලවේගය පක්ෂය ජයග්‍රහණය කල අතර මහපිටිය කොට්ඨාශය එක්සත් ජාතික පක්ෂය, බෝගහපිටිය කොට්ඨාශය සමගි ජන බලවේගය පක්ෂය සහ කටුවිල කොට්ඨාශය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයින් 07 ක්, සමගි ජන බලවේගය පක්ෂයට සභිකයින් 04 ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයින් 02 ක් සහ කොමියුනිස්ට් පක්ෂයට 02 ක් වශයෙන් සභිකයින් 15 දෙනෙක් ඒ ඒ දේශපාලන පක්ෂ තෝරා එවූ සභිකයින් ලෙස එදින සභාවට සහභාගී විය. මේ අනුව එක් දේශපාලන පක්ෂයක් ලෙස වැඩිම සභිකයින් සංඛ්‍යාවක් ජයග්‍රහණය කර තිබූ ජාතික ජන බලවේගය පක්ෂයට (16) වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩිවීම (18) හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයාට සභිකයින් කැදවා එක් දේශපාලන පක්ෂයක් 50% කට වඩා සභිකයින් සංඛ්‍යාවක් ජයග්‍රහණය කර නොමැති අවස්ථාවකදි පළාත් පාලන කොමසාරිස්වරයා කටයුතු කල යුතු ආකාරය සම්බන්ධයෙන් පැවරී ඇති බලතල අනුව පළමු සභා වාරය කැදවා සභාපති සහ උප සභාපති තෝරා ගැනීමට කටයුතු කළේය.

මෙහි ඡන්ද විමසීමේ රාජකාරී කටයුතු සදහා පළාත් පාලන කොමසාරිස් එරංදී උමංගා මෙන්ඩිස් මහත්මිය සමග ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් අවංකා මුදලිගේ වීරසිංහ, සහකාර පළාත් පාලන කොමසාරිස් මංජුල වසන්ත පෙරේරා, පළාත් පාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ දමිත් සමරවික්‍රම, බළපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් සුරංගී දේශප්‍රිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මෙම අවස්ථාවේ ආරක්ෂක කටයුතු සදහා පොලීසියේ නිලධාරින් 50 කට ආසන්න ප්‍රමාණයක්, විවිධ දේශපාලන පක්ෂ වල නියෝජිතයින් හා පාක්ෂිකයින් හා රාජ්‍ය නිලධාරින් 100 කට අධික පිරිසක්ද සහභාගී විය.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න