බළපිටිය තරුණ බෞද්ධ සංගමය කාන්තා ක්‍රිකට්වලට කිරුළු පළඳවයි

(ජයකාන්ත ලියනගේ - බළපිටිය) ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දියණියන්ගේ උත්සාහය ජාතියක් ලෙස ඉහළින්ම රදවා තිබෙන බව අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළහේවත්ත මහත්මිය ඊයේ (29)…
(ජයකාන්ත ලියනගේ - බළපිටිය)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දියණියන්ගේ උත්සාහය ජාතියක් ලෙස ඉහළින්ම රදවා තිබෙන බව අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කළහේවත්ත මහත්මිය ඊයේ (29) බළපිටියේදී ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා බළපිටිය තරුණ බෞද්ධ සංගමය විසින් සංවිධානය කර එම සංගම් ශාලාවේදී පැවති පිළිගැනීමේ හා උපහාර උත්සවයේදි එම මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.
මෙහිදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ජාතික කණ්ඩායම සහ 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරන රත්ගම දේවපතිරාජ ජාතික පාසැලේ ක්‍රීඩිකාවෝ 08 දෙනෙක් සහ ජාතික කණ්ඩායම නියෝජනය කල බළපිටියේ ක්‍රීඩිකාවක් උපහාරයට පාත්‍ර විය. රත්ගම දේවපතිරාජ ජාතික පාසැලේ ඉගෙනුම ලබන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඩබ්ලිව් ශෂිණි ගිම්හානි සහ ජාතික කණ්ඩායම නියෝජනය කල බළපිටියේ යසෝධා මෙන්ඩින් යන ක්‍රීඩිකාවන්ද ඒ අතර විය.
දැන්වීම
අපි දරුවන්ට ලබා දිය යුත්තේ 21 වන සියවසට සරිලන අධ්‍යාපනයක් බවත් ඒ මගින් අනාගත අභියෝග ජය ගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙන බවත් අනුරුද්ධිකා කළහේවත්ත මහත්මිය මෙහිදී පෙන්වා දුන්නාය. දිවයින පුරා පිහිටි කළාප අධ්‍යාපන කාර්යාල 100 ක් අතරින් අම්බලන්ගොඩ කළාපය තුල සුවිශේෂී දරුවන් සිටින කළාපයක් බවත් කිසිදු භේදයකින් තොරව ජනතා ගෞරවය ක්‍රීඩාවට ලැබෙන බවත් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය මෙහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළාය.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ හසාරා ලියනගේ මහත්මිය අදහස් දක්වමින් කාන්තා ක්‍රීඩිකාවෝ එක තැනකට හිර වෙලා තිබෙන බවත් ජීවිතයේ ඇතිවන අභියෝග ‘ජයගන්න බැහැ’ කියන වින්දිත මානසිකත්වයෙන් මිදිය යුතු බවත් ප්‍රකාශ කළාය. කුමණ කේෂ්ත්‍රයක වුවත් කාන්තාවක් වීම තුලම ඇතිවන අභියෝගයන් රැසක් තිබෙන බවත් මේ වන විට දරුවන් තුල දරා ගැනීමේ හැකියාව අඩු වෙලා තිබෙන බවත් මන්ත්‍රීතුමිය ප්‍රකාශ වැඩි දුරටත් ප්‍රකාශ කළාය. ක්‍රීඩාව තුලින් දරා ගැනීමේ හැකියාව වැඩි කර ගත හැකි බව ප්‍රකාශ කල හසාරා ලියනගේ මහත්මිය මෙම උත්සවය සංවිධානය කිරීම වෙනුවෙන් තරුණ බෞද්ධ සංගමයට ස්තුති කරන බවද ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම පිළිගනිමින් එහි ක්‍රීඩිකාවන්ට උපහාර පුද කිරීමට බළපිටිය තරුණ බෞද්ධ සංගමය සංවිධානය කර තිබූ මෙම උත්සවයට සහභාගි නොවන ලෙස ක්‍රිකට් පාලක මණ්ඩලය දැනුම් දීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් හැර අනෙකුත් ක්‍රිඩිකාවන් සහභාගී නොවූ බව තරුණ බෞද්ධ සංගමයේ හිටපු සභාපති සුනිල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය. ක්‍රිකට් පාලක මණ්ඩලයට නොදන්වා උත්සවය සංවිධානය කළේ යැයි දන්වමින් ක්‍රීඩිකාවන්ට සහභාගී නොවන ලෙස ඔවුන් දැනුම් දී ඇතැයි ප්‍රකාශ කල සුනිල් ගුණරත්න මහතා එම නිසා ක්‍රීඩිකාවන්ගේ අනාගත ක්‍රිකට් දිවිය වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් ලබා දීමට නොහැකි වූ බවද ප්‍රකාශ කළේය.
සුනිල් ගුණරත්න මහතා මෙසේද කීය.
ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන 04 දෙනෙක් සහ 19 න් පහළ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන 06 දෙනෙක් රත්ගම දේවපතිරාජ ජාතික පාසැලේ බව දැනගත්තාම ඔවුන්ට උදව් කිරීමේ අරමුණින් මෙම උත්සවය සංවිධානය කළා. නමුත් මේ උත්සවයට ක්‍රිකට් පාලක මණ්ඩලය තහනමක් පනවල. ඒ නිසා අද මෙතනට ආවේ 09 දෙනෙක් පමණයි. ජාතික කණ්ඩායමේ 21 දෙනෙක් වෙනුවෙන් උත්සවය සංවිධානය කළා. ඒ නිසා මේ ක්‍රීඩිකාවන්ට ලබා දෙන්න තිබුණ රුපියල් ලක්ෂ ගණනක් නැතුව ගියා යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
රත්ගම දේවපතිරාජ ජාතික පැසැලේ විදුහල්පතිනි කෝකිලා මෙන්ඩිස්, හිටපු විදුහල්පති සෑම් ද සිල්වා, බළපිටිය රේවත ජාතික පාසැලේ විදුහල්පති සමන්ත මෙන්ඩිස්, බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී කීර්ති ද සිල්වා, බළපිටිය තරුණ බෞද්ධ සංගමයේ සභාපති නීතීඥ එල්සන් කුමාරවඩු, ලේකම් සිරිල් සමරසිංහ, උපලේකම් තිලකරත්න ඕබඩගේ, හිටපු කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා යසෝධා මෙන්ඩිස් යන මහත්ම මහත්මීන්ද මෙහිදී කතා කලහ.
ශ්‍රි ලංකා මලල ක්‍රීඩාවේ හිටපු තාක්ෂණ කමිටු නිලධාරී ඉංජිනේරු පී එච් ඩී වෛද්‍යතිලක, ප්‍රවීණ සූපවේදී පබලිස් සිල්වා, මහාචාර්යය ඉන්දු වෛද්‍යතිලක, මේජර් ජනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා, තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති විශ්‍රාමික ග්‍රාම නිලධාරී නිමල් කනකරත්න, රත්ගම දේවපතිරාජ ජාතික පාසැලේ ක්‍රිකට් භාර ආචාර්ය දිනූෂා මනෝජි යන මහත්ම මහත්මීන් ඇතුළු ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්, තරුණ බෞද්ධ සංගමයේ සාමාජිකයින්, ප්‍රදේශයේ පාසැල් වල දරු දැරියන්, ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී විය.