බළපිටියේ ගාල්ල මාදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා

'ඒ දරුවා විභාගය සමත් වෙලා තිබෙන්නේ කිසිදු උපකාරක පංතියකට නොගොස්, පාසැලේ ඉගැන්වීම් වලින් විතරයි' බළපිටියේ ගා / මාදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා‘ ඒ දරුවා විභාගය සමත්…
'ඒ දරුවා විභාගය සමත් වෙලා තිබෙන්නේ කිසිදු උපකාරක පංතියකට නොගොස්, පාසැලේ ඉගැන්වීම් වලින් විතරයි'
බළපිටියේ ගා / මාදූව කණිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා‘ ඒ දරුවා විභාගය සමත් වෙලා තිබෙන්නේ කිසිදු උපකාරක පංතියකට නොගොස්, පාසැලේ ඉගැන්වීම් වලින් විතරයි‘. රාජ්‍ය සම්මාන ලාභී කවියෙකු හා මාධ්‍යෙව්දියෙකු වන එම විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය විදුහල්පති වැලිතර අනිල් රාජා මහතාගෙන් ලැබුණ තොරතුරත් සමග එම දරුවාගේ වාංහුං සොයන්නට අප අද (26) මාදූවට ගියෙමු.
මාදූව කණ්ෂ්ඨ විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1894 වසරේය. වසර 131 ක ඉතිහාසය තුල මෙම පාසැලෙන් පළමුව දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇත්තේ 1947 දී ඩී ජී ගිල්මන් ද සොයිසාය. එයින් පසුව 1961 දී හා 2014 දී දරුවන් දෙදෙනෙක් විභාගය සමත්ව තිබේ. 2014 න් පසු වසර 11 කට පසුව මෙම දරුවා සමත්ව තිබේ. තවද පසුගිය වසරේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වූ බවත් එවන් අයගේ කඩඉම් ලකුණු 50 ක් වූ බවත් විදුහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මෙවර විභාගය සමත් වූ දරුවගේ තොරතුරු සොයා අප එහි යන විටත් එම දරුවා, සිය වැඩිමහල් සහෝදරිය සහ බාල සහෝදරිය සමග දහම් පාසැල් ගොසිනි. පියා සහ මව තමන්ගේ දෛනික රාජකාරිය වන කුලී වැඩට ගොසිනි. නිවසේ සිටියේ වසර 03 ක් වයසැති කුඩා දරුවා සහ දරුවන්ගේ මිත්තනිය පමණි. මිත්නනියගේ සහයෙන් මවත් පියාත් දරුවන් තිදෙනාත් ගෙන්නා ගෙන තොරතුරු විමසා සිටියෙමි.
‘මගේ දුව, කේ ඒ චමෝදි සකුනි තාරකා (10) දියණිය ඉගෙනීමට හරිම දක්ෂයි, උපකාරක පංති යවන්න අපිට අමාරුයි, නමුත් දරුවා විභාගය සමත් වීම ගැන හරිම සතුටුයි, වැඩිමහල් දියණිය මාදූව කණිෂ්ඨ විද්‍යාලයේ 9 ශ්‍රේණියේත් තුන්වැනි දියණිය එම විද්‍යාලයේම 3 වන ග්‍රේණියේත් ඉගෙනුම ලබනවා. දරුවා විභාගය සමත් වුවත් මාදූව විද්‍යාලයෙන් වෙනත් විද්‍යාලයකට යන්න අකමැතියි, දරුවාගේ මව වන එල් රේණුකා කුමුදුනී (38) මහත්මිය පැවසුවාය.
දැන්වීම
කේ ඒ චමෝදි සකුනි තාරකා (10).
මම මහන්සි වෙලා පාඩම් කලා. විභාගයෙන් ලකුණු 144 ක් තිබෙනවා. කිසිම අපකාරක පංතියකට ගියේ නැහැ. නදීෂා පියුමාලි ගුරුවරිය ඉතාම කරුණාවෙන් අපිට ඉගැන්නුවා. වෙනත් පාසැලකට යනවද කියල ගුරුවරු මගෙන් අහනවා. අපේ අම්මටයි, තාත්තටයි හොද ඉස්කෝල වලට දාල අපිට උගන්වන්න අමාරුයි. ඒ නිසා සාමාන්‍ය පෙළ දක්වා මම මාදූව කණිෂ්ඨ විද්‍යාලයේම ඉන්නවා යනුවෙන් ඇය පැවසුවාය.
දරුවගේ පියා වන කේ ඒ නිහාල් කුමාර (41) කම්කරුවෙකු ලෙස කුලී වැඩ කරන අයෙකි. ඔහුට ලැබෙන්නේද දෛනිකව සුළු වැටුපකි. නමුත් ඔහු දියණියන් තිදෙනාටම හොදින් උගන්වන්නට වෙහෙසෙයි. හැකි පමණින් ඇදුම් පැලදුම් පොත්පත් අරන් දෙන බවද ඔහු කියයි.
කේ ඒ නිහාල් කුමාර (41) මහතා මෙසේද කීය.
උපකාරක පංති යවන්න සල්ලි නැති නිසා දරුවන් තිදෙනාම දහම් පැසැල් යවනවා. දිනපතාම කොහොම හරි පාසැලටත් යවනවා. මල ගෙවල්, මගුල් ගෙවල්, පොඩි පොඩි ලෙඩ වලට දරුවන් පාසැල් නොයවා නවත්වා ගන්නේ නැහැ. ඉතා කුඩා නිවසක අපි ජීවත් වෙන්නේ. නිවාස හදන්න අපි මුදල් වැය කරන්නේ නැහැ. මේ කුඩා නිවසේ ඉදන් හරි ලැබෙන මුදලෙන් අපි දරුවන්ට උගන්වනවා යැයිද ඔහු කීවේය.
විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය වන්නේ කේ දීපානි රංජනී මහත්මියයි. ඇය මෙසේ කීවාය.
මාදූව කණ්ෂ්ඨ විදුහල ආරම්භ කර තිබෙන්නේ 1894 දී. දැනට වසර 131 ක් වෙනවා. මේ කාලය තුල මේ දරුවාත් සමග දරුවන් 05 දෙනෙක් ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා තිබෙනවා. පාසැලේ දැනට දරුවන් 89 ක් ඉගෙනුම ලබනවා. පළමු ශ්‍රේණියේ සිට 11 ග්‍රේණිය දක්වා පංති පැවැත්වෙනවා. ගුරුවරුන් 16 දෙනෙක් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය දෙදෙනෙක් පාසැලේ සේවය කරනවා. මාදූව, දූපතක්. මාදු ගගේ තිබෙන විශාලතම දූපත මාදූවයි. මාදූව වෙනමම ග්‍රාම නිලධාරී වසමක්. මාදූව කණිෂ්ඨ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නේ මේ දූපතේ දරුවන් පමණයි. දූපතේ සැලකිය යුතු දරුවන් ප්‍රමාණයක් බළපිටිය, අම්බලන්ගොඩ පාසැල් වලටත් යනවා. උසස් පෙළට දරුවන් අනිවාර්යයෙන්ම වෙනත් පාසැල් වලට යනවා. 05 ශ්‍රේණියට ඉගැන්නුවේ ඒ බී එන් පියුමාලී ගුරුවරිය. ඇය ශිෂ්‍යත්ව විභාගයෙන් පස්සේ වෙනත් පාසැලකට මාරු වෙලා ගියා. මාරු වීම ඇවිල්ලත් ළමයි ටික දාල යන්න බැහැ කියල ඇය ගියේ නැහැ. අපේ පාසැලෙන් දරුවෙක් සමත් වීම සම්බන්ධයෙන් විශාල සතුටක් තිබෙනවා.
අති රමණීය ගංගාවක් වන බළපිටිය මාදු ගගේ පිහිටි විශාලතම දූපත මාදූවයි. මාදූව, බළපිටිය ප‍්‍රාදේශිය මහලේකම් කොට්ඨාශයට අයත් එක් ග‍්‍රාමසේවා වසමකි. ඊට අදාලව ග‍්‍රාමසේවා නිලධාරී කාර්යාලය, සමෘද්ධි නිලධාරී කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල කීපයක්ම දූපත තුල පිහිටා තිබේ. පවුල් 350 කට අධික ප‍්‍රමාණයකට අයත් 800 කට ආසන්න ජනගහනයක් මෙහි වාසය කරයි. දූපත විහාරස්ථාන 02 කින්, උප තැපැල් කාර්යාලයකින් මෙන්ම රජයේ බෙහෙත් ශාලාවකින්ද සමන්විතය. ළමා සායන ඇතුළු සායන කීපයක්ම දූපතතුල පැවැත්වේ. පෞද්ගලික සේවා සපයන ආයතන හා ඒවායේ ශාකාවන් කීපයක්ද දූපත තුල පිහිටා ඇත.


