බහු ජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජය තහවුරු වුණා..!

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැමට ප්‍රණාමය පළාත් පාලන මැතිවරණය නිදහස්,සාධාරණ සාමකාමී සහ ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහු ජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
නිදහස් සහ සාධාරණ මැතිවරණයක් උදෙසා කැපවූ සැමට ප්‍රණාමය
පළාත් පාලන මැතිවරණය නිදහස්,සාධාරණ සාමකාමී සහ ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහු ජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති සහ කතානායක කරු ජයසුරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා වූ නව මැතිවරණ ක්‍රමයක පලමු අත්දැකීම ලබමින් පෙබරවාරි 10 වන දින පවත්වන්නට යෙදුණු මැතිවරණය නිදහස් හා සාධාරණ සාමකාමී මෙන්ම ආදර්ශමත් අයුරින් පවත්වන්නට හැකිවීම බහුජන ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.
දැන්වීම
මෙවර මැතිවරණය, බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අමිහිරි වචන අසන්නට නොලැබුණු තරමේ ගෞරවනීය අන්දමින් පැවති මැතිවරණයක් ලෙස ඉතිහාසයට එක් වීම ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස තැබූ ඉදිරි පියවරකි.
මෙම ක්‍රියාදාමය සඳහා පුරෝගාමී වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමන් ඇතුළු කොමිෂන් සභා සෙසු සාමාජිකයින්ද සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපතිතුමා, සාමාජිකයින් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයද මැතිවරණ දෙපාර්තමේන්තුවේ අතිරේක මැතිවරණ කොමසාරිස්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයද ඒ සමග එක් වූ සියලුම රාජ්‍ය නිලධාරීන්ද ඉටු කළ විශිෂ්ඨ සේවාව පැසසුම් කටයුතු බව සඳහන් කරමු.
එමෙන්ම, නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් සන්නද්ධ සේවාවන්හි නිලධාරීන්ටද සියලුම දේශීය හා විදේශීය මැතිවරණ නිරික්ෂණ සංවිධාන නියෝජිතයන්ටද කෘතවේදීත්වය පිරිනමමු.
එමෙන්ම නීතිගරුකව මැතිවරණ කටයුතුවල නිරත වීම සඳහා ස්වකීය අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් මෙහෙයවූ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ද අපක්ෂපාතීව ජනතාව වෙත නිවැරදි තොරතුරු වාර්තා කරමින් විශිෂ්ඨ දායකත්වයක් ලබා දුන් සියලුම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනද නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් කළ කැපවීම අගය කරමු.
අවසන් වශයෙන් රට වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ස්වකීය නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා සාමකාමී අන්දමින් ඡන්දය ප්‍රකාශ කර තම මතය දැක්වීමට ඉදිරිපත් වූ සමස්ත ශ්‍රී ලංකාවාසී ඡන්දදායකයන් වෙතද ගෞරවනීය ස්තුතිය පුද කරන්නෙමු.මෙතැන් සිට ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා යැයි තේරී පත්වූ සියලුම මහජන නියෝජිතයන් වෙත සුභාශිංසනය කරමු.