අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..!

බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..!

ආගමික සංහිඳියාව සහ ජාතික සංහිඳියාවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනපති කියන ගමන්ම, මෙහෙදී ආණ්ඩුව වෙනුවෙන් එලියට ආ පිරිසක් යොදවා ගෙන ජාතික සහ…

ආගමික සංහිඳියාව සහ  ජාතික සංහිඳියාවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී ජනපති කියන ගමන්ම, මෙහෙදී ආණ්ඩුව වෙනුවෙන් එලියට ආ පිරිසක් යොදවා ගෙන ජාතික සහ ආගමික සංහිඳියාව බිඳ වැටෙන ප්‍රකාශ කරවමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මේ බව කියා සිටියේ අද(23) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
 
පාස්කු ප්‍රහාරය සිද්ධ කර දැනට අවුරුදු දෙකයි, මාස පහක් ගෙවී තිබෙනවා. ප්‍රහාරයෙන් පීඩාවට පත්වුණු වින්දිතයන්ට යුක්තිය ඉටුකර නැහැ. චූදිතයන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. විශේෂ ජනාධිපති කොමිසමක් පත්කළා. වෙනත් පරීක්‍ෂණ සිදුකළා.

මේ ආණ්ඩුව බලයට පත්වීමට බලපෑ ප්‍රධානම සිදුවීම පාස්කු ප්‍රහාරයයි. තමන් බලයට පත්වුණූ පසු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඬුවම් දෙන බවට සහ එය වළක්වා නොගත් අයට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගන්නා බව එදා පොරොන්දු දුන්නා. ජනතාව ඒ පිළිබඳව විශාල බලාපොරොත්තුවක් තැබුවා. අවුරුදු දෙකයි, මාස පහක් තුළ ඒ බලාපොරොත්තු බිඳ වැටී තිබෙනවා. 

දැන්වීම

ප්‍රහාරය සිදුකළ අවස්ථාවේ කාදිනල්තුමා කටුවාපිටිය දේවස්ථානයට පැමිණ පීඩාවට පත්ව සිටි සියලු දෙනා සන්සුන් කරන්න මැදිහත් වුණා. ප්‍රහාරයත් එක්ක ප්‍රදේශයේ ජනතාව ප්‍රකෝප වෙලා ප්‍රතික්‍රියා දක්වන්න සූදානම්ව සිටියා. කාදිනල්තුමා පෞද්ගලිකව මැදිහත් වී පිරිස සන්සුන් කර ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදෙන්නත් වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නත් පොරොන්දු වුණා.

මුළුමහත් රටවැසියා හමුවේ කාදිනල්තුමා බැරෑරුම් ඉල්ලීමක් කර කතෝලික ප්‍රජාව ප්‍රතික්‍රියා දැක්වීමෙන් වළක්වා ගත්තා. ප්‍රහාරයේ වාසි විවිධ කණ්ඩායම් ලබාගත්තත් කාදිනල්තුමා සද් චේතනාවෙන් මැදිහත් වී ඇතිවෙන්න ගිය ගැටුම්කාරී තත්වය වළක්වා ගත්තා. ජනතාව වෙනුවෙන් උන්වහන්සේ පෞද්ගලිකව වගකීම ගත්තේ යුක්තිය ඉටුකරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන්.

කතෝලික සභාවත් කෙටි කාලයක් තුළ මේ පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගනීවි යැයි බලාපොරොත්තු වුණා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ සහ අනෙකුත් පරීක්‍ෂණවලින් බොහෝ කරුණු හෙළිදරව් වුණා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව දින කිහිපයක විවාද පැවැත්වූවා. බොහෝ සැකමුසු තැන් මේ විවාදයේදීත් හෙළිදරව් වුණා.

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය, සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම, ඇමරිකානු එෆ්.බී.අයි. ආයතනය පැමිණ කළ පරීක්‍ෂණ, ඒ පරීක්‍ෂණවලින් හෙළිවූ කරුණු සහ වාර්තා අනුව සිදුකළ යුතුව තිබුණු පරීක්‍ෂණ ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වුණා. 

නමුත් එවැනි සංවේදී බැරෑරුම් කරුණු පිළිබඳව පරීක්‍ෂණ කටයුතු විධිමත්ව සිදුවුණු බවක් තවමත් මේ රටේ ජනතාවට පේන්නේ නැහැ. මේ සිදුවීම වළක්වා නොගැනීම පිළිබඳව තහවුරු වී තිබියෙදීත් එක්සත් ජාතික පක්‍ෂයේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව පිළිබඳව ක්‍රියාමාර්ග තවම අරගෙන නැහැ.

මේ ප්‍රහාරය මොන දේශපාලන අරමුණකින්, කාගේ වුවමනාව මත සිදුකරන ලද්දක්ද යන්න එළිකරගන්න අසමත් වී තිබෙනවා. මහ මොළකරුවා කවුද කියන ප්‍රශ්නය බරපතළව නැගෙන විට පොලිසිය භාර ඇමතිවරයා හදිසියේම නවුෆර් මව්ලවි තෝරා ගත් බව කීවා.

මෙයින් වාසිය ගත්තේ කවුද යන්න තේරුම් ගතහොත් ප්‍රහාරය ගැන වගකිව යුත්තන් නිශ්චිතව හඳුනා ගත හැකියි. ඕනෑම පොඩි දරුවෙකුට වුණත් මේ බව පැහැදිලියි. කොමිෂන් වාර්තාවේ සහ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කරුණු හෙළිවී තිබෙනවා. ජනතාව බලාපොරොත්තු වෙන්නේ වින්දිතයන්ට සාධාරණය, යුක්තිය ඉටු කිරීමය. 

මේක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේක මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගේම ප්‍රශ්නයක්. අපේ රටේ ජාතික ආරක්‍ෂාව, බියෙන් සැකයෙන් තොරව ජීවත් වීම පිළිබඳව ප්‍රශ්නයක් නිසා අනාගතයේ එවැනි දෙයක් ඇතිවීම වැළැක්වීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඒ සියල්ල පසෙකලා මේ ප්‍රශ්නය වෙනත් දිශාවකට තොරොම්බල් කරමින් තිබෙන බව අපිට පෙනෙනවා.

ආණ්ඩුව විවිධ කණ්ඩායම් යොදවාගෙන නැවත ජාතිවාදය, ආගමික අන්තවාදය ඇවිස්සීම සිදුකරමින් සිටිනවා. ආණ්ඩුවේ සමහර පාර්ශ්වයන් විශේෂයෙන්ම කාදිනල්තුමා ඉලක්ක කර කරගෙන ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එය ජාතික සංහිඳියාවට තවත් තර්ජනයක්.

පරීක්‍ෂණ නිවැරදි දිශාවට යොමු කරන්න සිදුකරන බාධාවක්. ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටිමින් අතරමැදි කොටස් පරීක්‍ෂණවලට බාධා කරමින් සිටිනවා. පෞද්ගලිකව එදා මැදිහත් වුණු කාදිනල්තුමාගෙන් ජනතාව දැන් ප්‍රශ්න කරනවා. උන්වහන්සේ අසරණ වෙලා ඉන්නේ. ජනතාව ඉදිරියේ නිරුත්තර වෙලා ඉන්නේ.

ඒ නිසා කාදිනල්තුමා නැවත වටයකින් මැදිහත් වීමක් සිදුකළා. මේ නිසා අතරමැදි කොටස් උපයෝගී කරගෙන ප්‍රහාරයක් එල්ල කරමින් සිටිනවා. එදා කාදිනල්තුමාගේ මැදිහත්වීම වාසියක් කරගත් අය අද උන්වහන්සේගේ මැදිහත්වීම ගැන ප්‍රහාර එල්ල කරනවා. මෙය ඉතාම ඛේදනීය කරුණක්. 

නැවත මෙවැන්නක් ඇති නොවීමට වග බලාගැනීම ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිද්ධ වෙන්න දෙන්නේ නැහැ’ කියන සහතිකය ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයාම ලබාදීම සම්බන්ධයනේ අපි සතුටු වෙනවා.

ශ්‍රී ලංකාවේ ජනතාවට බියෙන් සැකෙන් තොරව ජිවත් වීමට හැකි තත්වයක් පිළිබඳ බලාපොරොත්තුව ඔහු විසින්ම ලබාදීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් නිවැරදිව පරීක්‍ෂණ කරලා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙන් පමණයි නැවත මෙවැනි දෙයක් ඇතිවීම වළක්වා ගත හැක්කේ.

ඒ නිසා තමන්ගේ බැරිකම වහගන්න වැහි කාලෙදී අකුණු වදින අවස්ථාවේ යකඩ කෑලි එළියට දානවා වගේ කාදිනල්තුමාට හෝ වෙනත් අයට විවේචන එල්ල කරලා වැඩක් නැහැ. ජාතිවාදය අවුස්සන කොටස් එළියට දානවා වෙනුවට මීට අදාළ පරීක්‍ෂණය නිවැරදිව කරන්න අපි බල කරනවා. 

ලෝකය ඉදිරියේ ජනාධිපතිතුමා ඒ සහතිකය දෙනවා නම් රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි. ආගමික සංහිඳියාව, ජාතික සංහිඳියාව තුළින් ඉස්සරහට යන්න ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී කියන අතරතුර ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දාලා තියෙනවා.

ඔවුන් ජාතික සහ ආගමික සංහිඳියාවට බාධාකාරී ප්‍රකාශ කරනවා. නිව්යෝර්ක්වල කථාව සහ සමහර අයව පාවිච්චි කරලා රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතුයි.

රට තුළ ජාතිවාදී කණ්ඩායම් අවුස්සා ප්‍රශ්නය වෙන පැත්තකට තල්ලු කරනවා වෙනුවට සැබෑවටම මෙය මෙහෙයවූ අය කවුද, ඔවුන්ගේ අරමුණ මොකක්ද කියන පරීක්‍ෂණ පවත්වා චූදිතයන්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත යුතුයි. මෙයට සාධාරණය ඉටු කළ හැක්කේ ඒ තුළින් පමණයි.

පාස්කු ප්‍රහාරයට වසර දෙකයි මාස පහක් සම්පූර්ණ වන අවස්ථාවේ නැවත මෙවැනි දෙයක් ඇති නොවී ජාතික සංහිඳියාව ඇති කිරීමට ඉඩ නොතබන ලෙස අපි ආණ්ඩුවට බල කරනවා. කතෝලික ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා ප්‍රකෝපකාරී ප්‍රකාශ සිදුකර ගැටුම් ඇති නොකරන ලෙසටත් අපි ආණ්ඩුවට බල කරනවා. වින්දිතයන්ට යුක්තිය ඉටුකර සාධාරණත්වය ලබාදෙන ලෙසට අපි ආණ්ඩුවට බලපෑම් කරනවා.
 
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ද පැවසීය.

රට අභ්‍යන්තරයේ යුක්තිය, සාධාරණත්වය, ඉටු නොවන අවස්ථාවල ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝ මේ ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙනයනවා. ඉතාලියේදී, නිව්යෝක්වලදී අපි දැක්කේ ඒක. රට තුළ ආණ්ඩුවේ වගකීම් ඉටුකරනවා නම් මේ ප්‍රශ්න ජාත්‍යන්තරයට යන්නේ නැහැ.

නිව්යෝක් සමුළුව ඉදිරියේත් මේ ප්‍රශ්නය සාකච්ඡා වෙනවා. ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන් විරෝධය දක්වන්නේ යුක්තිය ඉටු නොවීම නිසා. ඒ නිසයි අපි කියන්නේ මේ සම්බන්ධ ක්‍රියාමාර්ග වහාම අරගන්න කියලා. 

ගෝඨාභය රාජපක්‍ෂ මහත්මයා ඉතා පැහැදිළිව සහතික වී තිබෙන්නේ එවැනි ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලංකාව තුළ ඇති නොවන බවයි. ඒ ප්‍රකාශයම ඇති එවැනි තත්වයක් ඇති නොවෙනවා කියලා අපිට ඒතතු ගන්න. 

කෙරවලපිටිය බලාගාරය කුප්‍රකට රහස් ගිවිසුමක් හරහා මධ්‍යම රාත්‍රී 12.06ට ඇමරිකානු නිව් පෝට්‍රස් එනර්ජි සමාගමට පවරා දී තිබෙනවා. ඩොලර් මිලියන 250ක් වැය කර නළ පද්ධතිය ඉදි කිරීමට වඩා මේ ගිවිසුමට අනුව ස්වභාවික ගෑස් සැපයුම ඇමරිකානු පෝට්‍රස් සමාගම වෙත පැවරීම භයානකයි.

අපේ රටේ බලශක්තිය ස්වාධීනත්වය මුළුමනින්ම නැති වෙනවා. ඒ නිසා ජාතික ආරක්‍ෂාවටත් තර්ජනයක් එල්ල වෙනවා. ඕනෑම අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදයට අපේ රටේ බලශක්ති සැපයුම මුළුමනින්ම අඩපණ කරන්න හැකි වෙනවා.

බලශක්තිය ඇමරිකානු අධිරාජ්‍යවාදයට පැවරීමෙන් ජාතික ආරක්‍ෂාවත් මේ රටේ ජනතාවගේ ස්වෛරීත්වය සහ ස්වාධීනත්වයට එරෙහිව යාමක් සිදුවෙනවා. ඒ නිසා මේ ගිවිසුම හකුළා දමා බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් හැටියට පවත්වාගෙන යාමට ආණ්ඩුව ක්‍රියා කළ යුතු බව අපි අවධාරණය කරනවා. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
බලශක්තියේ අයිතිය රටේ ජනතාවගේ ශුද්ධ වූ අයිතියක් ලෙස පවත්වාගනු..! | Lanka Newsweek