අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බලපිටිය සමූපකාර ඡන්දය තියන්නේ නෑ..?

බලපිටිය සමූපකාර ඡන්දය තියන්නේ නෑ..?

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 20 ක් සදහා කාරක සභිකයින් පත් කර ගැනීමට ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම, බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ…

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර ප්‍රාදේශික 20 ක් සදහා කාරක සභිකයින් පත් කර ගැනීමට ලබන ඉරිදා (16) පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම, බොහෝ දුරට නොපැවැත්වීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය උදා වී ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද දැනුම් දීමක් හේතුවෙන් බව දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව කියයි.

මේ සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව හෙට (14) දිනයේ තීරණයක් ගැනීමට නියමිත බවත් තීරණය හෙට (14) දිනයේම බළපිටිය සමූපකාර සමිතියට දැනුම් දෙන බවත් දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

2025.03.09 දිනෙන් පසුව පැවැත්වීමට අපේක්ෂිත ලියාපදිංචි සමූපකාර සමිතිවල ප්‍රාදේශික කාරක සභා සහ මහ සභා, පළාත් පාලන ඡන්ද විමසීමෙන් පසුව පවත්වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයාට 2025.03.07 දිනැති ලිපියක් මගින් දැනුම් දී තිබේ. මෙම දැනුම් දීම කර ඇත්තේ ‘2025 ඡන්ද විමසීම ප්‍රකාශ කර ඇති කාල සීමාව තුල සමූපකාර නිලවරණ හා මහ සභා පැවැත්වීම සම්බන්ධවයි’ යන ශීර්ෂය යටතේ යොමු කරන ලද අංක EDR/LAE/2025/21 දරණ ලිපිය මගිනි.

දැන්වීම

2025.03.16 දින පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම සම්බන්ධයෙන් දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක්ද කර තිබේ. ඒ 2025.03.04 දිනැති ලිපියක් මගිනි. මැතිවරණ කොමිෂන් සභාව විසින් එවන ලද ලිපියේ ‘උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 2025.03.04 දිනැති ලිපිය හා බැදේ’ යනුවෙන් ලිපිය ආරම්භයේදීම සදහන් කර තිබෙන අතර දකුණු පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කරන ලද විමසීම මේ මගින් සනාථ වේ. මැතිවරණ කොමිෂන් සභාව අදාල දැනුම් දීම කර ඇත්තේ මෙම ලිපියට පිළිතුරු වශයෙනි.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) බී පී සී කුලරත්න මහතාගේ අත්සනින් යුත් එම ලිපිය මගින් මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ 2025.03.09 දින හෝ ඊට පෙර පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති ලියාපදිංචි සමූපකාර සමිති වල කාරක සභා නිලවරණ හා මහ සභා කිසිදු දේශපාලන මැදිහත් වීමකින් තොරව මැතිවරණ නීති උල්ලංඝනය නොවන අයුරින් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ විරුද්ධත්වයක් නොමැති බවයි.

බළපිටිය විවිධ සේවා සමූපකාර සමිතිය සදහා මහ සභා නියෝජිතයින් 100 ක් පත්කර ගැනීම වෙනුවෙන් 396 දෙනෙකු පසුගිය ඉරිදා (09) නාම යෝජනා බාර දුන්නේය. සමූපකාර ප්‍රාදේශික 24 ක් වෙනුවෙන් පිහිටවනු ලබන කාරක සභා 24 ක් සදහා පත්වන කාරක සභිකයින් 216 ක් අතරින් 100 ක් මහ සභා නියෝජිතයින් ලෙස පත්කර ගනී. එක් සමූපකාරයක කාරක සභාව සදහා සභිකයින් 09 දෙනෙක් තෝරා පත්කර ගන්නා අතර එම මහ සභා නියෝජිතයින් 100 න් 07 ක් අධ්‍යක්ෂ මණ්ඩලය සදහා පත්කර ගනී. එයින් දෙදෙනෙක් සභාපති හා උප සභාපති ලෙස පත්කර ගනු ලබන අතර සමූපකාරය පාලනය කරන්නේ මෙසේ පත්වන සභාපති, උප සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලයයි.

මෙම සමූපකාර ප්‍රාදේශික 24 අතරින් ගල්වෙහෙර, නාපේ, කොස්ගොඩ හා කටුවිල ප්‍රාදේශික සදහා ඉදිරිපත්ව ඇත්තේ එක් කණ්ඩායමක් බැගින් පමණි. එම ප්‍රාදේශික නියෝජනය කරමින් මහ සභා නියෝජිතයින් 22 ක් නිතරගයෙන් තේරී පත්ව තිබේ. කණ්ඩායම් 02 බැගින් ඉදිරිපත්ව සිටින සමූපකාර ප්‍රාදේශික 20 වෙනුවෙන් වූ ඡන්ද විමසීම 2025 මාර්තු 16 වන ඉරිදා දින පැවැත්වීමට නියමිතව තිබුණි.
මැතිවරණ කොමිෂන් සභාව, දකුණු පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා වෙත එවන ලද ලිපිය මෙහි දැක්වේ.

බලපිටිය සමූපකාර ඡන්දය තියන්නේ නෑ..?

(ජයකාන්ත ලියනගේ)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න