අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බදු නොගෙව්වොත් වැඩ වරදියි

බදු නොගෙව්වොත් වැඩ වරදියි

රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් වෙලා මහාචාර්ය ආශුබෝධ…

රාජ්‍ය ආදායම බිලියන 3012 දක්වා වැඩි කර ආර්ථික පිම්මක් පනිනවා 

 ජනපතිගේ ආර්ථික වැඩ පිළිවෙළට ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වෙලා 
 

ශ්‍රී ලංකාව වැඩිම රාජ්‍ය ආදායම ලැබූ වර්ෂය බවට 2023 පත් වෙලා  
 

මහාචාර්ය ආශුබෝධ මාරසිංහ අවධාරණය කරයි  

2024 සිට රටේ කිසිම සමාගමකට බදු නොගෙවා සිටීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධි මාරසිංහ මහතා අවධාරණය කර සිටියි. 

2024 ජනවාරි සිට බදු විමර්ශන අරඹන බව පෙන්වා දුන් මහාචාර්ය ආශුබෝධි මාරසිංහ මහතා බදු නොගෙවන සමාගම් බදු දැලට හසු කර ගන්නට පියවර ගන්නා බව ද කියා සිටියි. 

බදු නොගෙවන අය කවුරුන්දැයි අනාවරණය කර ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් සකසන බව ද ආශුබෝධි මාරසිංහ මහතා සඳහන් කරයි.

දැන්වීම

ගෙවුණු සිව් මස ඇතුළත රාජ්‍ය ආදායම එකතු කිරීම නිවැරදිව සිදු කර තිබෙන්නේ යැයි ද, රාජ්‍ය ආදායම එකතු කිරීම විමර්ශනය කරන ඒකකයක් ජනාධිපති කාර්යාලයේ ද පිහිටුවා ඇති බව ද ආශුබෝධි මාරසිංහ මහතා සඳහන් කර සිටියි.

ජනාධිපතිවරයාගේ ආර්ථික වැඩ පිළිවෙළ ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය පළ වී ඇතැයි පෙන්වා දෙන මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා වඩා අත්දැකීම් සහිත ජාත්‍යන්තර පන්නයේ නායකයෙකු ලෙස මේ රට ඉදිරියට ගෙන යාමේ හැකියාව සහ ශක්තිය තමාට තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් ඔප්පු කර ඇතැයි ද අවධාරණය කර සිටියි. 

2023 දෙසැම්බර් 31 වැනිදා වන විට සමස්ත රාජ්‍ය ආදායම ලෙස රුපියල් බිලියන 3012ක් උපයා ගෙන ආර්ථික වශයෙන් ඉදිරි පිම්මක් පැනීමට ජනාධිපතිවරයා ප්‍රධාන රජය සැලසුම් කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

"2023 ජනවාරි පළවෙනිදා සිට 2023 නොවැම්බර් තිස් වැනිදා වන තෙක් දැනට අපට ලැබී තිබෙන ආදායම් කෙසේද කියා අපට ගණනය කළ හැකියි. 2022 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අත්පත් කර ගත් වටිනාකම රුපියල් බිලියන අට සියයක් පමණ වනවා. 2023 අප උපකල්පනය කළ ආදායම නම් රුපියල් බිලියන 1668ක්‌ වනවා. මේ වන විට රුපියල් බිලියන 1454 ක් උපයා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. 

ඊට අමතරව රේගු සහ සුරා බදු ආදායම් අප ආදායම් උත්පාදන මාර්ග ලෙස සලකනවා. ඒ වගේම රේගු ආදායම් රුපියල් බිලියන 1217 උපයා ගැනීමට උපකල්පනය කර තිබෙනවා. සුරා බදු ආදායම් ලෙස රුපියල් බිලියන 217ක් අය කර ගැනීමට උපකල්පනය කර තිබෙනවා. සාමාන්‍යයෙන් අපට රුපියල් බිලියන 3101ක් මේ වර්ග තුනේම ආදායම් ලෙස ලබා ගැනීමට හැකි වේවි කියා අප වර්ෂාවසාන වෙද්දි උපකල්පනය කර තිබෙනවා. 

සරලව ප්‍රකාශ කළොත් රුපියල් ට්‍රිලියන 3ක ආදායමක් අප අපේක්ෂා කරනවා. අප රුපියල් බිලියන දෙදහස් පන්සිය පනහකට ආසන්න ආදායමක් එකතු කර ගෙන තිබෙනවා. ඒ අනුව මේ අවසන් මාසේ බිලියන 150ක් දේශීය අදායම් දෙපාර්තමේන්තුව එකතු කර ගත යුතුව තිබෙනවා. රේගුවෙන් රුපියල් බිලියන 118 ක් එකතු කර ගත යුතුව තිබෙනවා. සුරා බදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 24 ක් එකතු කර ගත යුතුව තිබෙනවා. ඒ අනුව සමස්තය ලෙස රුපියල් බිලියන දෙසිය අනූ දෙකත් එකතු කර ගත්තොත්, 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට රුපියල් බිලියන 3012 ක ප්‍රමාණයක් සමස්ත ආදායම ලෙස එකතු කර ගැනීමට හැකියාව ලැබේවි යැයි අප බලාපොරොත්තු වනවා. 

ඒ අනුව 2023 වර්ෂය ශ්‍රී ලංකාව වැඩියෙන්ම ආදායම් ලැබූ වර්ෂය බවට පත්වෙනවා. ඒ වගේම, රුපියල් ට්‍රිලියන තුනක් ආදායම ඉක්මවා ගිය වර්ෂය බවට පත්වෙනවා. ඒ නිසා අප බදු ගෙවන ජනතාවට ඔවුන් මේ බදු ගෙවීම පිළිබඳව ආචාර කරනවා වගේම, නොගෙවා සිටින පිරිසටත් හැකි ඉක්මනින් ඒ බදු ගෙවන ලෙස අප ආයාචනා කරනවා." යැයි ද මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
බදු නොගෙව්වොත් වැඩ වරදියි | Lanka Newsweek