අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

බංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි

බංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි

රට ඩොලර් බිලියන 100ක් ණයයි-රටේ ජනතාව අසරණ වෙලා සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න වර්ජනය කරන නායකයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන නායකයන්ගේ දූ…

රට ඩොලර් බිලියන 100ක් ණයයි-රටේ ජනතාව අසරණ වෙලා

සිංහල පමණයි කියන්නේ ඡන්ද මල්ල වැඩි කර ගන්න

වර්ජනය කරන නායකයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්න හැටිත් සොයා බලන්න

පෞද්ගලික විශ්ව විද්‍යාල එපා කියන නායකයන්ගේ දූ දරුවන් යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලවලට 

2019 වගේ මිරිගුවක් පස්සේ යන්න නම් එපා

බංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි

රජ රට ප්‍රදේශයේ බහුතරයක් කෘෂිකර්මාන්තයේ නියැලෙන බවත් මේ ගොවි ජනතාව ඉලක්ක කර ගෙන සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය ඇති කරනවා සේම සුහුරු කෘෂි කර්මාන්තයක් ඇති කරන බවත් කෘෂි කර්මාන්තයේ නියැලෙන ජනතාවගේ දැනට තිබෙන ඉඩමෙන්ම ගුණාත්මක භාවයෙන් ඉහළ ඵලදාව ලබා ගෙන ඊට දේශීය නිෂ්පාදනයට පමණක් නොව අපනයනය සඳහා ද සුදුසු භවබෝග නිෂ්පාදනය කිරීමට අවශ්‍ය තාක්ෂණය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඊශ්‍රාලය වැනි රටවල වගාවට උචිත පරිසරයක් නොමැති වුවත් ඔවුන් වගාවට දක්ෂ බවත් බිංදු ජල, ක්ෂුද්‍ර ජල සහ උස්සාන ජල යෝජනා ආදිය උපයෝගී කර ගන්නා බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා කන්න දෙකකට පමණක් සීමා වි ඇති අප රටේ කෘෂි කර්මාන්තයේ වගා චක්‍රය ශක්තිමත් කර අතරමැදි කන්නයක් වුව ක්‍රියාත්මක කළ හැකි බවත් එසේම ගොවියාගේ භෝගවලට ස්ථාවර මිලක් ලැබිය යුතු බවත් එහි දී ගබඩා පහසුකම් නිවැරදිව කළමනාකරණය විය යුතු බවත් ඒ ඔස්සේ  ඉදිරියට යා යුතු බවත් අවධාරණය කළේය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 175 වැනි අදියර යටතේ අනුරාධපුර, මිහින්තලේ, තිරප්පනේ, ඇතුන්ගම ගැමුණු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් වන අතර එහිදී මෙම පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කෙරිණ. 

රටක් ලෙස අප ඇමරිකානු ඩොලර් බිලියන100ක් ජාත්‍යන්තරයට ණය වී සිටින බවත් ණය බරතාව නිසා බොහෝ පවුල්වල කණකර-දේපොළ-ඉඩම් උකස් කර ඇති බවත් වචනයෙන් කියා නිම කළ නොහැකි දුකක් ජනතාව විඳින බවත් ජනතා දුක හඳුනන නායකයෙක් ලෙස තමා කයිය නායකයකු නොව වැඩ කරන නායකයකු බවට පත් වන බවත් මේ බංකොලොත් භාවයෙන් මිදෙන්න ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ කිසිදු නායකයෙකු ලබා නොදුන් අති විශිෂ්ට වර්තමානයක් සේම අනාගතයක් ද හතළිස් එක් ලක්ෂයක් වූ දූ දරු පරපුරටත් තාරුණ්‍යයටත් ලබා දෙන්න තමා ඇප කැප වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සහතික විය. 

සිංහල පමණයි-දමිළ පමණයි කියන අය ඒවා කියන්නේ සිය ඡන්ද මලු ගොඩ වැඩි කර ගෙන ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් ලබා ගැනීමට බවත් භාෂාව, ජාතිය සහ ආගම මේ අය සිය ඡන්ද එකතු කර ගැනීම සඳහා භාවිත කරන බවත් එම ක්‍රියාව අතිශය වැරදි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ අධ්‍යාපනය දියුණු කරන්න යන විට විවිධ පාර්ශ්වයන්ගේ පෙළඹවීම් මත මහා පාරට බැසීම, පාසල් ගිණි තැබීම, පාසල් විනාශ කිරීම සහ වර්ජනය කිරීම සිදු නොකරන ලෙස ඉල්ලා සිටී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ජනතාව මහා පාරට බස්ස වන පුද්ගලයන්ගේ දූ දරුවන් ඉගෙන ගන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් සහ විදේශ විශ්ව විද්‍යාවල බවත් එම නිසා තව දුරටත් මොවුන්ගේ මේ වචන හරඹවලට නොරැවටිය යුතු බවත් සඳහන් කළේය.

රජයේ පාසල්වල දුවා දරුවන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ පරිගණක අධ්‍යාපනය අකැප වුවාට තමන්ගේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලැබීම සුදුසු බවට කාඩ්බෝඩ් සමාජවාදීන් සිතන බවත් ඔවුන් පෞද්ගලික විශ්ව විද්‍යාවලට එරෙහිව මහා පාරේ උද්ඝෝෂණ කළත් ඔවුන්ගේ දූ දරුවන් පෞද්ගලික විශ්ව විද්‍යාවල අධ්‍යාපනය ලබන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

2019 මිරිගුවක් පසුපස ගිය නිසා රටම බංකොලොත් වී ඇති බවත් 2024 දී හෝ සුහුරු රටක් බිහි කිරීම ආරම්භ කිරීමට එක් වන ලෙස සියලු ජනයාගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

බලයක් නොමැතිව දෙස්-විදෙස් ධානපතියන්ගේ ආධාර උපකාර ගෙන සක්වල සහ හුස්ම වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් රජයෙන් අධ්‍යාපනයට සහ සෞඛ්‍යයට වෙන් කරන මුදලින් මෙම ක්ෂේත්‍ර දියුණ කළ නොහැකි බවත් මේ අසාමාන්‍ය තත්ත්වය මත තීන්දු තීරණ ගත යුත්තේ රාමුවට කොටු වී නොව රාමුවෙන් පිට පැන අලුත් ආකාරයට සිතීමෙන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 175ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1925ක් වැය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
බංකොලොත් භාවයට ඇති එකම විසඳුම සුහුරු රටක් ගොඩනැගීමයි | Lanka Newsweek