පොහොට්ටුව තව දුරටත් ජාතිකත්ව කඳවුරේ පක්ෂය නොවේ

බැසිල් කියන්නේ විජාතිකයෙක් කුරහන් සාටකය පැළඳුවත් මහින්ද ජාතිකත්වය ගැන සවිඥානික නැහැ -දිලිත් ජයවීර- මහින්ද රාජපක්ෂගේ කරහන් සාටකය ජාතිකත්වය නියෝජනය කළත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් අයෙකු…
බැසිල් කියන්නේ විජාතිකයෙක්
කුරහන් සාටකය පැළඳුවත් මහින්ද ජාතිකත්වය ගැන සවිඥානික නැහැ
-දිලිත් ජයවීර-
මහින්ද රාජපක්ෂගේ කරහන් සාටකය ජාතිකත්වය නියෝජනය කළත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් අයෙකු නොවේ යැයි මව් බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අවධාරණය කර සිටියි.
මව් බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති එම පක්ෂයේ මහා ජන හමුවක දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.
ත්‍රස්තවාදය, යුද්ධයෙන් අවසන් කළ හැකිය කියන මතවාදය ඇතුළේ අති විශේෂ කාර්යභාරයක් කළ පුද්ගලයෙක් තමයි මහින්ද රාජපක්ෂ. නමුත් ඔහු එම මතවාදය වෙත පෙළඹුණේ ජනප්‍රිය දේශපාලනයේ දිගුවක් ලෙස විනා සැබෑ ජාතිකත්වය වැළඳ ගත් නිසා නොවේ. ඔහුගේ කුරහන් සාටකය නියෝජනය කළේ ජාතිකත්වය වුණත් ඔහු එම ජාතිකත්වය සවිඥානිකව ධාරණය කර ගත් කෙනෙක් නොවේ.
දැන්වීම
නමුත් සාපේක්ෂව ගත් විට අපේ ජාතිකත්ව කඳවුරවට විශාල සේවයක් කළ පුද්ගලයෙක් ලෙස මහින්ද රාජපක්ෂ ඉතිහාසගත වෙනවා. නමුත් ඔහු යම් සේ මේ ජාතිකත්ව කඳවුරේ ලක්ෂණ වෙනුවෙන් නොදැන හෝ පෙනී සිටියත් අනෙකුත් රාජපක්ෂවරුන්ට ඒ අවම ජාතිකත්ව හැඟීමවත් තිබුණේ නෑ. ඔවුන් ජාතිකත්වය ලාභයට පාවිච්චි කළා.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිට ගෙන සිටින්නේ මේ කියන ජාතිකත්ව සහ සභ්‍යත්ව මතවාදයේ ප්‍රති විරුද්ධ පත්තෙයි. මේ රටට අනන්‍ය වූ සභ්‍යත්වයක් තිබෙන අතර එම සභ්‍යත්වය අපගේ ජීවනාලිය බව ඔහු කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා අප ඒ වරද නිවැරදි කර ගත යුතුයි.
එනිසා අපට හැකි පමණින් එක අවස්ථාවක අප ගෝඨාභය රාජපක්ෂ ජාතිකත්ව මතවාදයක් ඇතුළතට ගෙනවිත් ඒ ඔස්සේ සන්නද්ධ කිරීමට උත්සාහ කළා. නමුත් අවසානයේ බලයට ආවට පස්සේ ඔහු සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන මේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙක එකිනෙකට ගැටුණා. විශේෂයෙන්ම විජාතිකයෙකු වන බැසිල් රාජපක්ෂ. ඒ නිසා ජාතිකත්ව කඳවුර තව දුරටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය පක්ෂය ලෙස කිසිසේත්ම සැලකිය යුතු නැහැ.