පොහොට්ටුවේ පෙති ගැලවෙයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

“අයියා-මලෝ” බල අරගලයක..! ගෝඨාට පෙර බැසිල් හමු වෙන්නැයි මහින්ද 16-කල්ලියට කියලා..! 16-කල්ලිය තුනට කැඩෙයි..? විමල්-උදය-වාසු-දිනේෂ් දේශපාලන කරණමකට සැරසෙති..? (සුමුදු පෙරේරා) ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ…
“අයියා-මලෝ” බල අරගලයක..!
ගෝඨාට පෙර බැසිල් හමු වෙන්නැයි මහින්ද 16-කල්ලියට කියලා..!
16-කල්ලිය තුනට කැඩෙයි..?
විමල්-උදය-වාසු-දිනේෂ් දේශපාලන කරණමකට සැරසෙති..?
(සුමුදු පෙරේරා)
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවට, ඒකාබද්ධ විපක්ෂයේ සියලු නායකයින්ට වගකීම් කාර්ය භාරයන් සහ ගෞරවය හිමි වන පරිදි සමාජයේ සියලු පාර්ශවයන්ට එකට ඒකරාශී විය හැකි පුළුල් පොදු සහ නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගිය යුතු යැයි ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කණ්ඩායමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බල කරමින් සිටිති.
මේ තත්ත්වයට හේතු වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්, එකාබද්ධ විපක්ෂයේ ශක්තියෙන් සහ දේශපාලන ජීව ගුණයෙන් නිර්මාණය වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, සිය පෞද්ගලික බූදලයක් සහ එහි නායකයින් සිය අන්තේවාසිකයින් ලෙස සලකා ක්‍රියා කිරීම යැයි ඒකාබද්ධ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසීය.
මීට හොඳම උදාහරණය “රාජපක්ෂලා හිතන්නේ මේ රටේ රජ වෙන්න ඕනෑ ඒගොල්ලන් විතරයි කියල නේ..” යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල නායකයකු වන කළුතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ගෙවුණු සතියේදී සිය හිත මිතුරන් කිහිපදෙනකු සමග පවසා තිබීමය.
ඔහු මේ බව සිය හිතවතුන් සමග පවසා තිබෙන්නේ පසුගිය බදාදා (06) සවස කොළඹ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී ඔහු හමු වී සාකච්ඡා කර එළියට පැමිණි අවස්ථාවේදීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවට අලුත් නමකින් සහ ලකුණකින් යුතු ලියාපදිංචි පුළුල් සන්ධානයක් යටතේ ඒකාබද්ධ විපක්ෂය ඉදරියට යා යුතු බවට විමල් වීරවංශ,උදය ගම්මන්පිල,දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත තරයේ යෝජනා කර ඇති නමුත් ඔහු එම යෝජනාව මඟ හැර තිබේ.
විමල් වීරවංශ මහතා ඇතුළු එම කණ්ඩායම මේ යෝජනාව කර තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අඟහරුවාදා (12) සවස පැවැත් වූ සාකච්ඡාවේදීය.
එහිදී එම යෝජනාව මඟ හැර ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අභ්‍යන්තරයෙන් එල්ල වෙමින් පවතින මේ විරෝධයට පිළියමක් වශයෙන් යෝජනා කර තිබෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් ලෙස ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම්වලට අමතරව දිනේෂ් ගුණවර්ධන සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නම් ද දේශපාලන කරළියට ගෙන ආ යුතු බවය.
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ එම යෝජනාවට ද ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයේ සහයෝගයක්,අනුමැතියක් සහ ආශීර්වාදයක් ලැබී නොමැත.
මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට පෙර බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කරන්න යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමට රහස් පණිවිඩයක් යවා තිබේ.
මේ සම්බන්ධයෙන් ද ඒකාබද්ධ විපක්ෂයේ ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාට සහය පළ කළ යුතුය යන ස්ථාවරයේ සිටින්නේ සුසන්ත පුංචිනිලමේ මහතා ඇතුළු එම කණ්ඩායමේ පස් දෙනකු පමණක් බවය.
ඩිලාන් පෙරේරා මහතා ඇතුළු තවත් පිරිසකගේ ස්ථාවරය වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති කරවමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් ගොඩනැගිය යුතු අතර තවත් කොටසක් කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එකට එකතු කර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනාධිපති කළ යුතු බව යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ද,ගෝඨාභය රාජපක්ෂ ද,මහින්ද රාජපක්ෂ ද,නැති නම් බැසිල් රාජපක්ෂ ද යන කාරණාව මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායම ද මේ වන විට තුනට බෙදී සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් සිය යෝජනාවලට සාර්ථක පිළිතුරක් නොලැබෙන තත්ත්වය හමුවේ විමල් වීරවංශ,උදය ගම්මන්පිල,වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16-කණ්ඩායම සමග නව දේශපාලන බලවේගයක් ගොඩනැගීම සඳහා මේ වන විටත් පෙළ ගැසෙමින් සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ එවැනි බලවේගය ගොඩ නැගුණොත් බොහෝවිට එහි වාසිය මෛත්‍රීපාල සිරිසේන මහතට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඍජුව ලැබෙනු ඇති අතර එක්සත් ජාතික පෙරමුණනෙන් රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අලුත් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කළොත් ඔහුට ද එම බලවේගයේ සහයෝගය ලබා ගැනීමට බොහෝ දුරට හැකි වනු ඇති බවය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3