පොහොට්ටුවන් රාජ්‍ය දේපොළ අවභාවිත කර සාද දමද්දී ජනපති නොදැක්කා සේ සිටිනවා

"අගමැති වී ජනපති ද වුණා නම් මට සිදු වන්නේ ද හොරු නැළවීමටයි" තමාට අගමැතිකම ලබා ගැනීමට ඉල්ලීම් පැමිණි අවස්ථාවේ එම තනතුර භාර ගත්තේ නම් තමාටද සිදු වන්නේ හොරුන් සමඟ එකට වාසය කිරිමට බවත් නැවත ඡන්දයකදී…
"අගමැති වී ජනපති ද වුණා නම් මට සිදු වන්නේ ද හොරු නැළවීමටයි"
තමාට අගමැතිකම ලබා ගැනීමට ඉල්ලීම් පැමිණි අවස්ථාවේ එම තනතුර භාර ගත්තේ නම් තමාටද සිදු වන්නේ හොරුන් සමඟ එකට වාසය කිරිමට බවත් නැවත ඡන්දයකදී හොරුත් එක්කම ඡන්දය ඉල්ලා නීතිය හමුවේ හොරුන් රැකිමට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හොරුන් අල්ලන්න ආණ්ඩු බලය අවශ්‍ය නොවන බවත් රට බංකොලොත් කළ පුද්ගලයන් ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අනාවරණය කර ගැනීමට සමගි ජන බලවේගයට හැකියාව ලැබුණේ ආණ්ඩු බලය නොමැතිව බවත් තමා ජනාධිපති ධුරය භාර ගත්තා නම් එම හොරුන් කවුද කියා අනාවරණය කර ගැනීමට නොහැකි වන බවත් යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය කුමන තීන්දුවක් ලබා දුන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වගේ අහක බලා ගෙන සිටිමට තමාට ද සිදු වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
රට බංකොලොත් වී තිබිය දී මීට දවස් කිහිපයකට පෙර වරාය අධිකාරියේ යාත්‍රා දෙකක් භාවිත කර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් මහා මුහුද මැද සාදයක් දැමූ බවත් තමා අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා වූයේ නම් තමාටද සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වගේ එවැනි අනීතික ක්‍රියා නොදැක්කා සේ සිටීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 65 වැනි අදියර යටතේ මතුගම විදියබණ්ඩාර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.
මේ ඉන්නේ මගේ දරුවන්
මේ රටේ පාසල් දූ දරුවන් තමා හඳුන්වන්නේ "මගේ දරුවන්" ලෙස බවත් තමාට අවශ්‍ය වී ඇත්තේ මේ රටේ දරුවන් හොඳ තැනක සිටීම දැකීමට වන බවත් කුඩා කල තමාට පියාගෙන් ලැබුණු ඒ ආභාෂය මේ රටේ පාසල් දරුවන්ට ද ලබා දීම තමාගේ එකම අරමුණ වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජවාදය වචනෙට විතරයි-ඒ නිසා රැවටෙන්න එපා
සමාජවාදය යැයි කියමින් වීදි සටන් කරන විප්ලවකාරයන්ගේ ළමයි පවා විදේශීය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබමින් තත්ත්වයෙන් උසස් ඇඳුම් ඇන්දත් රටේ ජනතාවට එම පහසුකම් ලබා නොදීමට කටයුතු කරන බවත් ඔවුන් සමාජ වාදය, සමානාත්මතාව, යුක්තිය, සාධාරණත්වය ගැන කතා කළත් ඒවා වචනවලට සීමා වී ඇති බවත් 2019 පවා බයිලාවලට රැවටුණු නිසා මේ තත්ත්වය උදා වූ බවත් මෙවරත් එම බයිලාවටම රැවටුණොත් රට මීටත් වඩා අගාධයකට යන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
අපි කිව්ව දේවල් වැරදිලා නැහැ
මේ රටේ බහුතරයක් කාන්තාවන්ගේ සෞඛ්‍ය සම්පන්න භාවය වෙනුවෙන් අදාළ අවශ්‍යතා සපුරනවා යැයි පැවසූ අවස්ථාවේ සමාජ මාධ්‍ය උපයෝගී කර ගෙන දැඩි ලෙස විවේචන සිදු කළත් අද වන විට එම අවශ්‍යතා සපුරා ගත නොහැකිව කාන්තාවන් දුක් විඳින බවත් නිළියෝ පවා තමාව විවේචනය කළ නමුත් ස්කොට්ලන්තය මුළු රටේම කාන්තාවන්ට එම අවශ්‍යතාව සපුරනවා සේම නවසීලන්තය ද පාසල් දරුවන්ට එම පහසුකම් ලබා දෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
තමාව විවේචනය කරමින් මැතිවරණය ජය ගත් රාජපක්ෂවරු වසර එකහමාරක් යන විට එවැනි සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන බව පැවසුවත් තවමත් එම පහසුකම් ලබා දීමට නොහැකි වී ඇති බවත් කොරෝනා සමයේ පවා සමගි ජන බලවේගය කියූ හැමදේම හරි ගිය නමුත් ඒවා පිළි නොගෙන සමාජ මාධ්‍ය හරහා උසුළු විසුළු කළ බවත් ඒ නිසා රටේ ලක්ෂ 220ක් වූ ජනතාව බංකොලොත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මටත් පුළුවන් කයිවාරු ගහන්න-හැබැයි මම කැමතියි වැඩ කරන්න
විපක්ෂයේ සිට රාජ්‍ය බලයක් නොමැතිව වැඩක් කරන කණ්ඩායමටද එසේ නොමැතිව දේශපාලන රැළි තියමින් කයිවාරු ගහන අයටද රට ගොඩ ගත හැකිද කියා ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතු බවත් ලක්ෂ 10ක් වියදම් කර බස් රථ ගෙනවිත් ජනතාව නගරවලට ඒකරාශි කර කයිවාරු ගැසීමට තමාට ද හැකියාව ඇති නමුත් එම ලක්ෂ 10ක මුදල පාසල්වලට ලබා දීමට තමා තීරණය කළේ රටේ අධ්‍යාපනය නගා සිටුවීමට බවත් හෙතෙම පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 65ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 625ක් වැය කර තිබේ.