අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා

පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා

පොලිසිය විසින් නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ..! (නීතිඥ සුනිල් වටගල) ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ජනතාව මර්දනය කිරීමට පටන් ගෙන ඇති බවත් නීතිඥවරුන් ලෙස මේ තත්ත්වය අභියෝගයට ලක් කරන බවත් ජාතික ජන…

පොලිසිය විසින්  නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ..!

පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා

(නීතිඥ සුනිල් වටගල)

ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ජනතාව මර්දනය කිරීමට පටන් ගෙන ඇති බවත්  නීතිඥවරුන් ලෙස මේ තත්ත්වය අභියෝගයට ලක් කරන බවත් ජාතික ජන බලවේගය නියෝජනය කරමින් නීතිඥ සුනිල් වටගල මහතා පවසා සිටියි. 

නීතිඥ සුනිල් වටගල මහතා මේ බව කියා සිටියේ සෙනසුරාදා (07) කොළඹ බත්තරමුල්ල ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී, ජාතික ජල බලවේගයේ නීතිඥයෝ සංවිධානය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

දැන්වීම

පොලිසිය තම බල ප්‍රදේශවල පිහිටි මහේස්ත්‍රාත් අධිකරණවලින් උද්ඝෝෂණ නැවැත්වීමේ වාරණ නියෝග ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණා. ගරු මහේස්ත්‍රාත්තුමන්ලා විසින් ඒ සියලු ඉල්ලිම් ප්‍රතික්ෂේප කළා.

ගුරුවරුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වාරණ නියෝගයක් ලබාදෙන ලෙස පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම උදාහරණයක්. එම ඉල්ලීමත් එදා උදේ ගරු මහේස්ත්‍රාත්තුමා විසින් ප්‍රතික්ෂේප කළා. එසේ තිබියදී සාමකාමී උද්ඝෝෂණයෙන් පස්සේ මඟ රැකලා ඉඳලා, නැත්නම් ලුහුබැඳ ගිහිල්ලා පිරිස් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගැනීම් අතිශය නීති විරෝධීයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයාව සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ම මේ ලෙස අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගැනීම් පිළිබඳව නීතිඥවරුන්, මහජන නියෝජිතයන් පොලිස් ස්ථානවලට මේ අය බලන්න ගියා. විශේෂයෙන් ගුරුවරුන් අත්අඩංගුවට අරගෙන වරාය පොලිසියේ රඳවා තැබුවා. නීතිඥයන් හැටියට අපිට පොලිසිය ඇතුළට යන්න දුන්නේ නැහැ. 

තමන්ගේ සේවා දායකයෙක් බලන්න පැය විසිහතරේම පොලිසියක් තුළට යන්න අවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව තුළින් නීතිඥවරුන්ට ලබාදී තිබෙනවා. හර්ෂණ නානායක්කාර නීතිඥ මහත්තයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කුරුඳුවත්ත පොලිසියට අත්අඩංගුවට ගත් අය බලන්න ගියා. අත්අඩංගුවට ගත් අය ඒ ස්ථානවල නැහැ කියලා පොලිසිය කියනවා.

එහෙම නම් පොලිසිය මැදිහත් වෙලා පැහැර ගැනීම් කළාද කියන සැකය අපිට ඇතිවෙනවා. මෙතන තිබෙන භයානකත්වය පොලිසිය තුළ අදාළ පුද්ගලයින් නැහැයි කියන එකයි. ඒ වගේම ආචාර්ය අශෝක රන්වල වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංසදයේ උද්ඝෝෂණයකට ඔහුගේ කැබ් රථය යොදා ගත්තා. මේ වාහනය කුරුඳුවත්ත පොලිසියට ඉදිරිපත් කරන්න කියලා දිගින් දිගටම දැන්වීම් කරනවා.

ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයකට සහභාගි වී ආපසු යමින් සිටි පුද්ගලයෙකු බුලත් කෙල ගහන්න මුඛ ආවරණය ඉවත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබුණා. මෙසේ අත්අඩංගුවට ගත් අය පසුගිය 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසිය පොදුවේ අධිකරණයෙන් ඉල්ලන්නේ මේ අත්අඩංගුවට ගත් තැනැත්තන් දින 14ක බන්ධනාගාර ගත කිරීමක් ගත කරන්න.

ඒ වගේම පී.සී.ආර්. පරීක්ෂණවලට යවන්නත් ඉල්ලනවා. මේ ඉල්ලීම් හරිම විහිලු සහගතයි. මහේස්ත්‍රාත්වරුන් ඉදිරිපිටට උද්ඝෝෂණ තහනම් කිරීමේ ඉල්ලීම් ඉදිරිපත් කර, ඒ නියෝග නොලැබුණහම ආණ්ඩුවේ මෙහෙයවීමෙන් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව හඹාගෙන ගිහින් අත්අඩංගුවට ගැනීම් සිදුකරනවා. විශේෂයෙන්ම පොලිස් ඇමතිගේ නියෝග මත අත්අඩංගුවට ගැනීම් කරනවා. 

මේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම් තුළ කිසියම් පළිගැනීමක ස්වරූපයක් තිබෙනවා. බන්ධනාගත කිරීම් හෝ පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමේ ආකාරයෙන් මේ පළිගැනීමේ ක්‍රියාමාර්ග දියත් වෙනවා. බන්ධනාගාර ගත කිරීම වගේම නිරෝධායනයට ලක්කිරීමක් දඬුවමක් හැටියට ලබාදෙන්න පොලිසිය ක්‍රියාකරනවා.

නමුත් මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේ බරපතළ වැරදිවලටත් ඇපදීම සම්බන්ධ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා නේද කියලා. උද්ඝෝෂණයකට සහභාගි වෙලා යන ගමන් බුලත් විටක් කාලා කෙළ ගහන කෙනෙක්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න ඉල්ලන පොලිසිය කරන මේ ඉල්ලීමේ සැබෑ අරමුණ උද්ඝෝෂණ කරන අයට දඬුවම් දීමයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි වගන්තිය ඇතුළේ කරන සියලු උද්ඝෝෂණ කිරීමේ අයිතිය ශක්තිමත් වෙන තින්දු මහේස්ත්‍රාත්වරුන් ලබාදී තිබෙනවා. ඊට විරුද්ධවයි පොලිසිය විසින් මෙවැනි නිහීන ක්‍රියාවලියක් පවත්වාගෙන යන්නේ. මේක නීතියේ අර්ථකථනය නෙවෙයි. 

ඒ නිසා අපි ආණ්ඩුවට බලකරන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. පොලිසියට අපි කියන්නේ මේ ක්‍රියාවලිය නතර කරන්න කියලා. මෙයට පෙර පොලිසිය භාර ඇමතිවරයා ලියවිල්ලක් පෙන්වලා උද්ඝෝෂණ නතර කිරීමේ අයිතියක් තිබෙන බවත් කීවා. ඒ ලියවිල්ල නීති විරෝධී එකක් බව අපි පෙන්වා දුන්නා. ඒ වගේම අනීතික ක්‍රියාවලි අනුගමනය කිරීමට විරුද්ධව මානවහිමිකම් කොමිෂන් සභාව පොලිස්පති වරයාට ලිපියක් ඉදිරිපත් කළා.

“කෝවිඩ් වසංගත තත්වය හමුවේ මෙම නීති උල්ලංඝනය කිරීම පිළිබඳව ගන්නා ක්‍රියා මාර්ග හදිසි කාලවකවානුවක් තුළදී වුවද නිත්‍යානුකූල විය යුතු බව” අවධාරණය කර තිබෙනවා. ඒ වගේම “සියලු දෙනාට සමානාකාරයෙන් විය යුතු බව පෙන්වාදීම අප කොමිෂන් සභාවේ යුතුකම බව පෙන්වාදීමට කැමැත්තෙමු” කියලා දන්වලා තිබෙනවා.

මැයි මාසයේ 11 වැනිදා මේ ලිපිය පොලිස්පතිවරයාට යවනවා. ඒ මත පදනම් වෙලා මැයි 13වැනිදා පොලිස්පති වරයා සියලුම පොලිස් ස්ථානවලට නිවේදනයක් යවනවා. “මුව ආවරණ පැළඳ නොසිටින පුද්ගලයන් සහ නීති විරෝධී ක්‍රියාකරන පුද්ගලයින් ඔසවා ගෙන රැගෙන යාම කිසිසේත්ම නොකළ යුතුයි” කියලා. ගුරුවරුන් 44ක් අත්අඩංගුවට ගැනීමේදී හතර දෙනෙක් ඔසවාගෙන ගිහින් තිබෙනවා.

නීති විරෝධී ලෙස පොලිසිය දිගින් දිගටම ක්‍රියාකරමින් තිබෙනවා. මෙවැනි ආකාරයේ අත්අඩංගුවට ගැනීම් පැහැර ගැනීම් කියලා අපිට විග්‍රහ කරන්නත් සිදුවෙනවා. මෙය ප්‍රජාතන්ත්‍රවාදයට බරපතළ තර්ජනයක්. සාමකාමී උද්ඝෝෂණ මැඩපවත්වන්න ආණ්ඩුව විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඒ කිසිසේත්ම නීති විරෝධී වෙන්නේ නැහැ.

ගොවියාට වෙළේ ඉඳලා විරෝධය පාන්න සිද්ධ වෙනවා නම් ගොවියා ඒ වැඩේ කරනවා. ගුරුවරුන්ට මහපාරට ඇවිත් විරෝධය පාන්න සිදුවෙලා නම් ඔවුන් මහපාරේ විරෝධය පානවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අයිතීන් අනුව ඔවුන් ක්‍රියා කරනවා.

එහෙම නම් ආණ්ඩුවට තිබෙන්නේ උද්ඝෝෂකයන්ගේ සාධාරණ අයිතීන් ලබාදෙන්න. ගොවියාට පොහොර ලබාදෙන්න. කම්කරුවාට වැටුප් වැඩිකිරීම් ලබාදෙන්න මැදිහත් වෙනවා වෙනුවට ආණ්ඩුව, පොලිසිය පාවිච්චි කරළා ගෙනයන මර්දනය නීතිඥවරුන් ලෙස අපි අභියෝගයට ලක්කරනවා.  

පොලිස් දෙපාර්තමේන්තුව හෝ නීතිපති දෙපාර්තමේන්තුව තිබෙන්නේ ආණ්ඩුව කියන වැඩ කරන්න නොවෙයි. ගුරුවරුන්ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න කියලා, නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පැයක විතර දේශනයක් කළා.

ඒ කාගේ උවමනාවටද කියලා අපිට අපැහැදිලියි. පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුගතව පොලිසිය මැදිහත් වන ලෙස අපි බලකර සිටිනවා. 

පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා


(නීතිඥ උපුල් කුමරප්පෙරුම )

මෙහිදී අදහස් දැක්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙසේ පැවසීය.

රාජ්‍යය රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන්න බැඳිලා ඉන්න බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ සඳහන් වෙනවා. ඒ කියන්නේ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන එක මූලික වගකීමක්.

රාජ්‍යයේ එක ආයතනයක් වෙන්නේ පොලිසිය. පොලිසිය විසින් මූලික අයිතිවාසිකම් කඩකරනවා නම් බරපතළ තත්වයක්. පොලිස්පතිවරයා නිකුත් කර තිබෙන මිනිසුන්ව උස්සාගෙන යන්න එපා කියන නියෝගය අවස්ථා කීයකදී කඩකර තිබෙනවාද? නීතියක් නැති රටවල්වල දකින්න ලැබෙන දර්ශන අපි මේ රටේදී පහුගිය කාලයේ දැක්කා. මේකෙන් පේන්නේ ආණ්ඩුවට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කරන්න අදහසක් නැති බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න කැපවීමක් ආණ්ඩුවේ තිබෙනවා නම්, නීති කඩන නිලධාරීන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න ඕනෑ. ඒ කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැ. 

රූපවාහිනියෙන් දකින දර්ශනවලින් පැහැදිලි වෙන්නේ පොලිස් නිලධාරීන් යැයි කියා ගන්නා පිරිසක්, සිවිල් පිට ඇවිත් අත්අඩංගුවට ගැනීමේ සිද්ධි. ඒගොල්ලෝ එන්නේ පොලිස් ජීප්රථවලින් නොවෙයි.

එහෙම නැත්නම් පොලිස් ජීප් රථයක් ඈතින් තිබෙද්දී ඒ අසළ පොලිස් නිල ඇඳුම් ඇඳගත් අය සිටියදී සිවිල් ඇඳගත් අය ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ සිසුන් ගමන්ගත් බස් රථයකට ඇතුළ් වූ පුද්ගලයෙක් ප්‍රකාශ කළේ “අපිට එක්කෙනෙක් ගන්න ඉන්නවා.” කියලා. මම අවුරුදු 25ක් අපරාධ නඩුවල පෙනී සිටි නීතිඥයෙක්.

ඉතා බරපතළ ගණයේ අපරාධ නඩු ඒ අතර තිබෙනවා. පැහැරගෙන යෑම් සම්බන්ධ නඩුත් ඒ අතර තිබෙනවා. පැහැර ගැනීම්වලදී කියැවෙන්නේ “ගත්තා.” කියන එක. මේ කියන්නේ අත්අඩංගුවට ගැනීමක් නොවෙයි. බස් රථයේදී වුණෙත් ඒ දේ. එතන හිටි ජනතාව ප්‍රශ්න කරන කොට තමන් පොලිස් නිලධාරියෙක් බව කියනවා. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හෝ බුද්ධි අංශයේ නිලධාරීන් නොවන සියලු දෙනාට පොලිස් නිල ඇඳුමක් දෙන්න ඕනෑ. ඒ නිල ඇඳුමේ ඔහුගේ නම සහ අංකයක් තිබෙනවා. උප පොලිස් පරීක්ෂවරයෙකුට අංකයක් නැතත් ඔහුගේ නම තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේත් නම තිබෙනවා. දෛනික රාජකාරිවලදී මහජනතාවත් එක්ක ගැටෙන ඔවුන් හඳුනාගැනීමට නම සහ අංකයක් දී තිබෙනවා.

සිවිල් පිට එන පුද්ගලයා හැඳුනුම්පතක් පෙන්වනවා. අවුරුදු 25කට මම පොලිස් හැඳුනුම්පතක් දැකලා නැහැ. මාධ්‍යවේදීන් හැටියට ඔබ දැකලා තිබෙනවා ද? සිවිල් පිට එන කෙනෙක් පොලිස් හැඳුනුම්පතක් පෙන්වුව හොත් එහි විශ්වසනීයත්වය ගැන මම සෑහීමකට පත්වෙන්නේ කොහොමද? පොලිස් හැඳුනුම්පතක අඩංගු කරුණු ගැන ලංකාවේ කිසිම තැනක ප්‍රසිද්ධ කර නැහැ.

පොලිස් හැඳුනුම්පතක් කියලා යමක් පෙන්වන කණ්ඩායමක් මගේ ගෙදරට ආවොත් ඒ කියන දේ පිළිගන්න මට තිබෙන සාධක මොනවාද? මෙතන තිබෙන භයානකත්වය ඔන්න ඔය වගෙයි. 

2015ට කලින් අපි මේ තත්වය දැක්කා. 88-89 කාලයේත් අපි මේ තත්වය දැක්කා. ඒ කාලයේ අතුරුදහන් වුණු අය සම්බන්ධයෙන් නඩු ගණනාවක් මම කළා. ඒ මාපියන් කීවෙත් “අපි පොලිසියක් පොලිසියක් ගානේ ගියා. පුතා හිටියේ නැහැ” කියලා. ලංකාවේ පොලිසියේ මූලිකම වගකීමක් වෙන්නේ කෙනෙකු අත්අඩංගුවට ගන්නා හේතුව දැනුම්දීම. ඊට පස්සේ රඳවා ගන්නා ස්ථානය කියන්න ඕනෑ.

එහෙම නැත්නම් ඒක පැහැර ගැනීමක්. නීති විරෝධී අත්අඩංගුවට ගැනීමක්. පොලිසියට ඕනෑ තරම් නිල රථ තිබෙද්දී වෑන්වල එන්නේ ඇයි? මේක පොලිසියේ වැඩක් නොවෙයි. ආණ්ඩුවේ මර්දනකාරී යාන්ත්‍රණයක්. අතීතය නැවත ආවර්ජනය කිරීමක් ආණ්ඩුව කරන්න හදනවා. සිවිල් පිට ඇවිල්ලා මිනිස්සු අත්අඩංගුවට ගන්නේ “මතකනේද මීට කලින් වෙච්ච දේවල්” කියලා අනතුරු අඟවන්න. 

ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ පවත්වන බව කියනවා. නමුත් එක්නැලිගොඩ අතුරුදහන් වුනේ නැද්ද? පෝද්දල ජයන්තගේ කකුල් දෙක කැඩුවේ නැද්ද? මේ දේවල් කළේත් ඔය වෑන්වලින් ගෙනියලා තමයි. හෙට දවසේ පාතාලයෙන් හරි ආණ්ඩුවේ පැරා මිලිටරි කල්ලියක් හරි හොරු කණ්ඩායමක් හරි ආවොත් පොලිසියෙන් වෙන්කර ගන්නේ කොහොමද?

මෙහෙම එනකොට හොරා සහ පොලිසිය වෙන්කර ගන්නේ කොහොමද? අපරාධකාරයා සහ පොලිසිය වෙන්කර ගන්නේ කොහොමද? පොලිසියට රාජකාරි ඇඳුම අඳින්න, නිල රථය පාවිචචි කරන්න බැරි ඇයි? ජනතාව භීතියට පත්කරන ක්‍රමවේදය මේකයි. සුමන්දිරම් මහත්තයා සහ අනුර දිසානායක මහත්තයා පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කලාම පොලිසිය භාර ඇමතිවරයා පිළිතුරු දුන්නේ සුමන්දිරම් මහත්තයා විකාර කතාවක් කියනවා කියලයි.

ඔවුන් ඉතාම වැදගත් ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී මතු කළේ. ආණ්ඩුවට ඒවා වැදගත් නොවෙන්න පුළුවන්. නමුත් රටේ ජනතාවට තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, තමන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු මේවා.

සිරසට ඇවිල්ලා බැහැලා ගිය ශිෂ්‍යයාට සිදුවුණු දේ මටත් වුණොත් මේ සමාජය කොතනද තිබෙන්නේ. නීතිඥයෙකු වශයෙන් මම කියන්නේ මේ යන ක්‍රමවේදය නවත්වන්න. ඒ වෙනුවෙන් අපි පුරවැසියන් විදිහට මැදිහත් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් ඔබත් ඔබේ දරුවාත් මේ සමාජයත් අනතුරේ. 

සමාජයක් භීතියට පත්කරලා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් පැත්තකට දාලා තමන්ගේ අවශ්‍යතාවයට, තමන්ගේ බල පුළුවන්කාරකම්වලට රටක් පාලනය කරන්න බැහැ. රටේ ඉන්න පුරවැසියන් ඡන්දය පාවිච්චි කරන්න ගන්න මෙවලමක් විතරක් නොවෙයි.

මේ නිසා මම ඉතාම ගෞරවයෙන් මේ රටේ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ තත්වය පරද්දන්න එකතු වෙන්න කියලා. එකතු වුණේ නැත්නම් ඉතිහාසයේ සිදුවුණා වගේ බරපතළ ව්‍යසනයකට ලක්වෙන බවට අනතුරු අඟවනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
පොලිසිය ආණ්ඩුවේ බළල් අතක් වෙලා | Lanka Newsweek