අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොදු සම්මුතියකින් රට ගොඩනැගීම නව ජනපතිගේ පළමු වගකීමයි

පොදු සම්මුතියකින් රට ගොඩනැගීම නව ජනපතිගේ පළමු වගකීමයි

අභිනව ජනපති සහ රජය ක්‍රියා කළ යුත්තේ කෙසේ ද..? රට කර විය යුතු හැටි කරූ අවධාරණය කර සිටියි අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම්…

අභිනව ජනපති සහ රජය ක්‍රියා කළ යුත්තේ කෙසේ ද..?

රට කර විය යුතු හැටි කරූ අවධාරණය කර සිටියි  

අභිනව ජනාධිපතිවරයාගේ සහ රජයේ පළමු වගකීම විය යුත්තේ රට මුහුණ දී ඇති අර්බුදයට පොදු සම්මුතියකින් යුතුව විසදුම් සපයා ගැනීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
 
අපගේ මාතෘ භූමියට නව නායකත්වයක් තෝරා ගැනීම උදෙසා වන තීරණාත්මක කඩඉමකට රටක් ලෙස අප එළඹ ඇත්තෙමු. එම කඩඉම අතිශයින්ම භාරධූර සහ වගකීම්සහගත කාර්‍යයක් ලෙස සලකන අප එහිදී අනුගමනය කළ යුතු ප්‍රධානතම මූලධර්මය ලෙස සලකන්නේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම කටයුතු සිදු කර ගත යුතු බවය.

එහිදී අද එම වගකීම පැවැරී ඇත්තේ අප රටේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව මේ රටේ මහජන නියෝජිතයන් ලෙස සෑම මන්ත්‍රීවරයෙක්ම රටේ ඉදිරි යහ පැවැත්ම උදෙසා තමන් වෙත පවත්නා වගකීම තමන්ගේ හෘදය සාක්ෂියට අනුව සබුද්ධිකව ඉටු කරනු ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු. එමෙන්ම එහිදී අද මේ රට පත්ව ඇති තීරණාත්මක අර්බුදයට විසදුමක් සපයා ගත හැකි වන අකාරයට සම්මුතිවාදී ප්‍රවේශයක පිහිටා කටයුතු කරනු ඇතයි යන්නද අප විශ්වාස කරන්නෙමු.

දැන්වීම

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය අභිනවයෙන් පත් වන නව රාජ්‍ය නායකත්වය වෙතින් අපේක්ෂා කරන මූලික කරුණු කිහිපයක් තිබේ. එහි ප්‍රමුඛතම සහ වැදගත්ම අපේක්ෂාව වන්නේ අද රට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික සහ දේශපාලන අර්බුදයට ඵලදායක සහ ප්‍රායෝගික විසදුමකි. 

ඒ සදහා යොමු වීමට හැකි වැදගත්ම ප්‍රවේශය වනු ඇත්තේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකට යොමු කරවා ගනිමින් සීමිත කාලයක් ඉලක්ක කර ගෙන සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ගැනීමය. එහිදී එකී සර්ව පාක්ෂික රජයේ පළමු කාර්යය විය යුත්තේ එක් පුද්ගල බලාධිකාරීත්වයකට හේතුවී ඇති එමෙන්ම අද රට ගොදුරු වෙමින් ඇති බරපතළ ව්‍යසනයට මූලික හේතුසාධක සපයා ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වහාම ඉවත් කිරීමය. 19 වැනි සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු ඉවත් කර නැවත බලාත්මක කිරීමය.

ඊට අමතරව සර්ව පාක්ෂික රජයක අත්‍යවශ්‍යයෙන්ම පැවතිය යුතු සාමුහිකත්වය සහ රාජ්‍ය පාලනයේදී වැදගත් වන සහභාගිත්වය සහතික කරමින් පාර්ලිමේන්තුවේ සෑම මන්ත්‍රීවරයෙක්ම කුමන හෝ ක්ෂේත්‍රයක් නියෝජනය කළ හැකි ආකාරයට ආංශික කාරක සභා ක්‍රමය ස්ථාපිත කිරීමය. ඒ සදහා වන අපගේ යෝජනා දැනටමත් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව පාර්ලිමේන්තුව මේ වන විටත් දක්වා ඇති සාධනීය අවධානය පිළිබදව අප අපගේ ප්‍රසාදය පළ කරන්නෙමු.

එමෙන්ම පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සපුරා ආරක්ෂා වන සහ ජනතාවගේ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයේ රටේ අභිවෘද්ධියට හේතු වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීමද නව සර්ව පාක්ෂික ආණ්ඩුව වෙත පැවැරෙන වැදගත් වගකීමක් වනු ඇත.

එකී මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු නිශ්චිත කාලයකින් අනතුරුව රටේ ජනතාවට තමන් අභිමත ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සදහා නිදහස් සහ සාමකාමී මැතිවරණයක් ලබා දීම ද, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජනතාවගේ මතය ලබා ගැනීම සදහා ජනමත විචාරණයකට අවස්ථාව ලබා දීම ද සිදු කළ යුතුව ඇති අනෙකුත් මූලික කාර්යයන්ය.

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය මෙම යෝජනා මගින් අපේක්ෂා කරන්නේ රටේ ඉදිරි යහ පැවැත්ම සදහා වන ප්‍රායෝගික සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකි. මෙම යෝජනා නිර්පාක්ෂික අරගලයක නිරත තරුණ සහ සිවිල් ප්‍රජාවගේද අපේක්ෂාවන් බව අප අමතක නොකළ යුතුය. 

ඔවුන්ගේ හඬටද නව පාලනය සාවධානව සවන්දිය යුතුමය. එහිදී අප රට මුහුණදී ඇති ගැඹුරු අර්බුදය තේරුම් ගැනීම ද, ඒ තුළ මේ රටේ එක් එක් දේශපාලන මතවාදයන් අනුව සංවිධානගත පක්ෂ සහ බලවේගයන්හි අනන්‍යතාවයන් ආරක්ෂා කර ගනිමින් මේ මොහොතේ සම්මුතිවාදී ප්‍රවේශයකට යොමු වීමේ ඇති වැදගත්කමද අප නැවත නැවතත් අවධාරණය කරන්නෙමු.
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
පොදු සම්මුතියකින් රට ගොඩනැගීම නව ජනපතිගේ පළමු වගකීමයි | Lanka Newsweek