පොදු සම්මුතියකින් තොරව රට ගොඩ ගනු බැහැ

20 වැනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතුමයි රට අරාජික වුණේ 20 නිසයි සජබ-ශ්‍රීලනිප-එජාප සහ ටීඑන්ඒ නායකයෝ එකම වේදිකාවකදී එකඟ වෙති ඊට ජනමාධ්‍යවේදීහූ ද එක් වෙති විපක්ෂය එකට එකතු කරන්න කරු සමත් වෙයි දේශපාලන…
20 වැනි ව්‍යවස්ථාව අහෝසි කළ යුතුමයි
රට අරාජික වුණේ 20 නිසයි
සජබ-ශ්‍රීලනිප-එජාප සහ ටීඑන්ඒ නායකයෝ එකම වේදිකාවකදී එකඟ වෙති
ඊට ජනමාධ්‍යවේදීහූ ද එක් වෙති
විපක්ෂය එකට එකතු කරන්න කරු සමත් වෙයි
දේශපාලන විචාරකයින්ගෙන් කරූට මල් මිටක්

ආර්ථික සහ සමාජීය වශයෙන් රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගෙන ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා මේ රටේ සියලුම දේශපාලන බලවේග පොදු සම්මුතියකින් යුතුව පෙළ ගැසිය යුතුව ඇතැයි සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අවධාරණය කර සිටියි.
සමගි ජන බලවේගයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරුන් ද, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සහ ප්‍රවීන ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ද ඇතුළු සියලු දෙනා එකම වේදිකාවකට පැමිණ ආණ්ඩුවට එරෙහිව එකට එක්ව මේ බව අවධාරණය කර සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් ඉරිදා (27) සංවිධානය කෙරුණු "කතිකාව" සංවාදාත්මක වැඩ සටහනට එක් වෙමිනි.
දැන්වීම
රට-ජනතාව වෙනුවෙන් විපක්ෂයේ දේශපාලන බලවේග මේ අයුරින් එකම වේදිකාවකට ගෙන එන්න සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා සමත් වීම විශාල දේශපාලන ජයග්‍රහණයක් බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ සංවාදයට එක්ව සිටී සියලු දෙනාගේ ඒකමතික මතය වූයේ මෙම අවුල් වියවුල් සියල්ල 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වූ බව වන අතර එම නිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පූර්ණ බලය පැවරීම සහ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීමෙන් ගැටලු රාශියක් නිතැතින්ම විසඳා ගත හැකි වන බවය.
මෙම ක්‍රියාදාමයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි මධ්‍යස්ථ සංවිධානවලින් අදහස් සහ උපදෙස් ලබා ගැනීම වඩා ප්‍රයෝජනවත් බව ප්‍රවීන ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මෙහිදී පෙන්වා දුන් අතර එම යෝජනාවට සහභාගි වූ සියලු දෙනාගේ එකඟත්වය ලැබිණි.
මෙම "කතිකාව" දේශපාලන සංවාදයේ දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මෙසේ පැවැසීය.
"අද වන විට ආණ්ඩුව අසමත් වී ඇති බව ඉතාම පැහැදිලියි. ඇත්ත ප්‍රශ්නය ආණ්ඩුවේ ඒ අසමත් බව නොවේ. බරපතළම සහ ඇත්ත ප්‍රශ්නය වන්නේ රට අසමත් භාවයකට පත් කර තිබීමයි. එම වාතාවරණය වහාම වළක්වා ගත යුතුයි. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලන බලවේග පොදු සම්මුතියකට පැමිණිය යුතුයි. අප සර්ව පාක්ෂික සමුළුවක් පිළිබඳව වන අදහස ජනාධිපතිවරයාට ඉදිරිපත් කළේ ඒ නිසයි.
රට ඇද වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට අප යෝජනා 22ක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළා. එමෙන්ම ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ 11 නායකයන් එකට එක්වී මේ ගැන සාකච්ඡා කළා. ඊට පසුව ඇති වූ තත්ත්වය රටම දන්නවා. ඇමතිවරුන් දෙදෙනෙක් ආණ්ඩුවෙන් ඉවත් කළා. කෙසේ නමුත් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කළේ එවැනි තත්ත්වයක් මතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව එම ගැටලුව සමනය කර ගැනීමට හැකි යැයි ජනාධිපතිවරයා හිතුවා වෙන්න පුළුවන්. නමුත් අප එහෙම හිතන්නේ නැහැ. කොහොම නමුත් එම සමුළුවේදී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ප්‍රකාශයක් කළා. ඒක වැරදියි. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහතා සමග වාදයක් ඇති වුණේ. ඒ නොවිය යුතු තත්ත්වයක්.
කොහොම නමුත් අද අපට පොදු එකඟත්වයකින් යුතුව වැඩ කිරීමට කාලය උදා වෙලා. එක් එක් දේශපාලන පක්ෂ වෙන වෙනම දේශපාලනය කළාට අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් රට වැටී ඇති මෙම ප්‍රපාතයෙන් ගොඩ ගන්නට නම් සියලුම දේශපාලන පක්ෂ සහ නායකයන් පොදු එකඟත්වයකට පැමිණිය යුතුමයි."
මෙම සංවාදයේ දී අදහස් දැක්වූ දෙමළ ජාතික සංධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් මහතා මෙසේ පැවැසීය.
"අද රට වැටී ඇති තත්ත්වයට විසදුමක් ලබාගැනීමට නම් ශ්‍රී ලංකාවට විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙනවා. මුහුණදී ඇති අභියෝගයේ ගැඹුර සලකලා ඒ අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා උත්සාහ කරන ඕනෑම අවකාශයකදී ඊට සහය දෙන්න දෙමළ ජාතික සංධානය සූදානම්. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙන්නට තීරණය කළේ. මෙහිදී අප අවධාරණය කරන්නේ රටේ මුල්‍ය පාලනය පාර්ලිමේන්තුවට හිමි විය යුතු බවයි. එහෙම කළොත් විතරයි පොදු සම්මුතියක් අනුව කටයුතු කළ හැකි වන්නේ."
එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මන්දුම බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.
"අද තියෙන්නේ මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින දැවැන්තම අර්බුදයයි. එවැනි තත්ත්වයක ඇයි අප ජනාධිපතිවරයා කැඳවපු සර්ව පාක්ෂික සමුළුවට ගියේ නැත්තේ. ඊට මා ප්‍රථමයෙන්ම පිළිතුරු දෙන්නම්. මේ අර්බුදය ඇති කළේ ආණ්ඩුව විසිනි. ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය සහ වැරදි තීරණ ඊට හේතුවෙලා තියෙනවා. ඊට හේතුව ආණ්ඩුව අභ්‍යන්තරයේ ද පොදු එකඟත්වයක් නොමැති වීමයි. ඒ බව අද හොඳටම පැහැදිලියි. ඒ නිසා ප්‍රථමයෙන්ම ආණ්ඩුව පොදු එකඟත්වයකින් වැඩ කළ යුතුයි. එතකොට අපට අපේ අදහස කියන්න පුළුවන්.
අප පෙනී සිටින්නේ ආණ්ඩුව වෙනුවෙන් නොවේ. රට වෙනුවෙන් සහ රටේ ජනතාව වෙනුවෙන්. ඒ අනුව ඒ සඳහා පෙනී සිටින සෑම බලවේගයක් සමගම එක්ව පොදු එකඟත්වයකින් වැඩ කරන්න අප සූදානම්. එහිදී මූලිකත්වය ගත යුත්තේ පාර්ලිමේන්තුවයි. නමුත් අද මේ රටේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පාර්ලිමේන්තුව නොතකා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් පාර්ලිමේන්තුවට නොදන්වා ජාත්‍යන්තරය සමග ඇති කර ගනිමින් තිබෙන රටට අහිතකර ගිවිසුම් ගැන කිසිවක්ම නොකියන තත්ත්වයක් මත අප කොහොමද ඔවුන් සමග එකට වැඩ කරන්නේ. ආණ්ඩුව ඒකාධිපති විදිහට කටයුතු කරද්දී, අනීතික උපක්‍රම යොදා ගනිමින් විපක්ෂයේ ක්‍රියාකාරීන්, මර්දනය කරද්දී අප කොහොමද ආණ්ඩුව සමග එක්ව කටයුතු කරන්නේ.
ඒ නිසා අද මේ ආණ්ඩුවෙන් පරිභාහිර සියලුම දේශපාලන බලවේග සමග එක්ව වැඩ කරන්න අප කිසි විටෙක පසු බට වෙන්නේ නැහැ. ඒ වගේම රට මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ ගැනීම සඳහා වන පොදු සම්මුතියක් ඇති කර ගන්නට අප හැම විටම සූදානම්. ඒ සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන බලවේගයන්ට අප ආරාධනා කරනවා."
මෙම සංවාදයට එක් වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ රට මුහුණ දි ඇති මෙම අර්බුදයෙන් මිදීම උදෙසා සියලු දේශපාලන බලවේග ඒකරාශී විය යුතු බව වන අතර එසේ නොකළ හොත් අපට දේශපාලනය කරන්නට රටක් ඉතුරු නොවන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේ ද පැවැසීය.
"අද මේ ආණ්ඩුව කටයුතු කරන්නේ ඉතාමත්ම හිතුවක්කාරි විදිහට. ඒකෙන් වඩාත්ම පීඩාවට පත් වෙලා ඉන්නේ රටේ ජනතාව. ඒ නිසයි අප සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙලා රට වෙනුවෙන් කළ යුතු දේවල් පෙන්වා දෙන්නට උත්සාහ කළේ. නමුත් ඔවුන් එතැනදීත් කටයුතු කළේ ඉතාමත්ම හිතුවක්කාරී විදිහට. ආණ්ඩුවේ ප්‍රතිචාරවලින් ඒ බව හොඳටම පැහැදිලි වුණා.
අපේ ස්ථාවරය සියලුම දෙනා එකතු වෙලා මේ අර්බුදයෙන් රට ගොඩ ගත යුතු බවයි. ඒ සඳහා පොදු එකඟත්වයක් වෙනුවෙන් අප සෑම විටම පෙනී සිටිනවා. ඒ සඳහා කටයුතු කරනවා. එහිදී ප්‍රථම අරමුණ විය යුත්තේ ජනාධිපතිවරයාගෙන් රටේ මූල්‍ය පාලනය ඉවත් කර ගැනීම. මුල්‍ය පාලනය පාර්ලිමේන්තුව මගින් පමණක්ම සිදු විය යුතුයි."
මෙහිදී අදහස් දක්වමින් 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා අවධාරණයෙන් සඳහන් කළේ අද වන විට මේ ආණ්ඩුව පෙරළීමට අපහසු නැතත් හුදු ආණ්ඩු පෙරළියකින් පමණක් රට මුහුණ දී ඇති ගැඹුරු ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවය.
එමෙන්ම රට ඇද වැටී ඇති දැවැන්ත ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට නම් පැහැදිලි දර්ශනයක් සහිත පොදු වැඩ පිළිවෙලකට මේ රටේ සියලුම දේශපාලන බලවේග යොමුවිය යුතුව ඇති බව ද පාඨලී චම්පික රණවක මහතා කියා සිටී අතර වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
"ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක වගකීම් සහගතව අප කටයුතු කළ යුතු වෙනවා. ඒ මගින් මේ රාජපක්ෂ පවුල් පාලනය පෙරළා දැමිය යුතුමයි. එහෙම නොකර මේ රටට යහපතක් උදාකරන්න බැහැ. එහිදී රාජපක්ෂ පවුල හැර අනෙකුත් සියලුම දේශපාලන නායකයන් ඒකාරාශී කර ගත් පොදු වැඩ පිළිවෙළකට අප යොමු විය යුතුයි. එසේ කරන්නට අප අසමත් වුව හොත් මේ රට අති දැවැන්ත විනාශයක් කරා යොමු වීම වැළැක්විම නොහැකියි."
මෙම "කතිකාව" දේශපාලන සංවාදයේ දී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ අද මේ රට මුහුණ දී ඇති අර්බුදය විසඳීමට නොහැකි ප්‍රශ්නයක් නොවන බව වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"එක් අවස්ථාවක ඉන්දියාවද මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නා. නමුත් එදා ඉන්දියාව ඉතාමත්ම නිවැරදිව සාමූහික ලෙස තීන්දු තීරණ ගැනීමෙන් එම ප්‍රශ්න විසඳා ගත්තා. එවැනි ප්‍රවේශයකට අප සියලු දෙනාම යොමු විය යුතු වෙනවා. එමෙන්ම එහිදී ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරිය යුත්තේ පාර්ලිමේන්තුවටය. රටේ බොහෝ ප්‍රශ්නවලට මුල පාර්ලිමේන්තුව නොතකා හැර තීන්දු තීරණ ගැනීමයි. ඒ නිසා මේ රටේ සියලුම දේශපාලන බලවේගවල අරමුණ විය යුත්තේ එක් පුද්ගල බලාධිකාරය අහෝසි කරමින් නැවත පාර්ලිමේන්තු සම්ප්‍රදායට යොමු වීමයි. ඒ සඳහා පොදු සම්මුතියකින් යුතුව පැහැදිලි වැඩ පිළිවෙළකට අප යොමු විය යුතුයි. කිසිඳු බල අරමුණකින් තොරව ඉතාමත්ම සද්භාවයකින් යුතුව අප ඒ සඳහා පෙනී සිටිනවා."
මෙම අවස්ථාවට එක් වූ ප්‍රවීණ ජනමාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා සඳහන් කළේ අද මේ රට මුහුණ දී ඇත්තේ ආර්ථිකයට සීමා වූ අර්බුදයකට පමණක් නොවන බව වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
"මේ අර්බුදය ආර්ථිකයට බරපතළ ප්‍රතිවිපාක අත්කර දී ඇතත් එම අර්බුදය මේ රටේ සමාජ දේශපාලන අර්බුදයේ එක් කොටසක් පමණයි. ඊට නිසි වැඩ පිළිවෙළක් මත පිළිතරුරු සොයා ගැනීමට අප අපොහොසත් වුව හොත් ඇති විය හැකි තත්ත්වය අති බිහිසුණු විය හැකියි.
මේ අර්බුදය තමන් දකින්නේ කොහොමද කියලා ආණ්ඩුව මේ දක්වාම වගකීමකින් යුතුව කිසිම දෙයක් කියලා නැහැ. ඒ වගේම විරුද්ධ පක්ෂ තනි තනිව හෝ සාමූහිකව ඒ ගැන රටට කියලා නැහැ. නමුත් ප්‍රශ්නයට විසඳුම් ලබා දිය හැක්කේ පවතින ආණ්ඩුවටයි. විරුද්ධ පක්ෂවලට එම කටයුත්ත භාර ගන්නට නම් ආණ්ඩු බලය ලබා ගත යුතුයි. නමුත් මෙම ව්‍යවස්ථාව අනුව මේ මොහොතේ එවැන්නකට යොමු වීමේ හැකියාව ඉතාමත්ම සීමිතයි. මේ අර්බුදය අප රටේ දේශපාලන ක්‍රමය මගින් ඇති කර ඇති අර්බුදයක් වන්නේ ඒ නිසයි. ඒ නිසා පුළුල් දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව මේ අර්බුදයට සරල උත්තර නැහැ. ඒ සඳහා මේ රටේ සියලු දේශපාලනපක්ෂ සහ කණ්ඩායම් අතර එකඟත්වයක් ඇති කර ගැනීම අත්‍යාවශ්‍යයි. එසේ නොහැකි වුව හොත් රට අරාජික තත්ත්වයකට පත්විය හැකියි. එවැනි තත්ත්වයකට රට පත් වුව හොත් විසඳා ගත නොහැකි ව්‍යවස්ථා අර්බුදයකට රට තත්ලු වේවි. එහිදී අමතක නොකළ යුතු කාරණය වන්නේ රටක ඒකාධිපති පාලනයකට වඩා අරාජික පාලනයක් මගින් අති බිහිසුණු ප්‍රතිඵල අත්කර දිය හැකි බවයි"
මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිම්න්තු මන්ත්‍රී අශෝක අබේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නවීන් දිසානායක සහ රණවීර පතිරණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
