අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පොඩි මිනිහටත් රටේ ජනපති විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නිසයි

පොඩි මිනිහටත් රටේ ජනපති විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නිසයි

රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ සැකසී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව හේතුවෙන් බව කම්කරු හා…

රටේ 75 අවුරුද්දක සාපය ගැන කයිවාරුකාරයන් කොතරම් කතා ගෙතුවද කුඩාම තැනේ සිට රටේ ජනාධිපතිවරයා වීම දක්වා පුරවැසියන්ට ඉහළට ඒමේ අවකාශ සැකසී ඇත්තේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව හේතුවෙන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය. 

මනූෂ නානායක්කාර මහතා මේ බව කියා සිටියේ, නුවරඑළිය සිනෙසිටා ක්‍රීඩාංගනයේ පැවති 'ජයගමු ශ්‍රී ලංකා' වැඩ සටහනට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

"රටට ඩොලර් මිලියන 500ක් එවන්න කියලා අපි කියද්දි රටට ඩොලර් එවන්න එපා කියලා කණ්ඩායමක් රට වට්ටන්න හැදුවා. ඒක අහන්නෙ නැතිව රටට සල්ලි එවපු, තමන්ගේ අම්මලා-තාත්තලා, දරුවන් රටවල යවලා මෙතන ඉන්න දරුවන් සහ අම්මලා තාත්තලා වගේම මේ රට ගොඩනගන්න අවශ්‍ය හයිය දුන්න විදෙස්ගත ශ්‍රමිකයෝ නිසා තමයි නැවත අපි රටක් විදිහට නැගිට්ටේ. දැන් අපිට රටක් විදිහට බෙහෙත් නැතුව මැරුණු තාත්තලාගේ කතා අහන්න ලැබෙන්නේ නෑ. කිරිපිටි නැතුව අඬපු දරුවන්ගේ කතා, ගෑස් පෝලිම්වල කතා, තෙල් පෝලිම්වල කතා, ලයිට් නැති කතා අහන්න නෑ. ඒ සියල්ලට හේතු වුණේ විදෙස්ගත ශ්‍රමිකයෝ. පාපිෂ්ඨ දේශපාලනඥයෝ රටට සල්ලි එවන්න එපා කියද්දි රටේ මිනිස්සු ගැන ආදරේ කරලා, රටට මුදල් එවපු විදෙස්ගත ශ්‍රමිකයෝ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ.

දැන්වීම

නුවරඑළිය කියන්නෙ වතු කම්කරුවන්, තේ වගාව විතරක් නෙමේ. කාලයක් තිස්සේ කෘෂි ව්‍යවසායකයන් ගොඩ නැගිච්ච, සංචාරක කර්මාන්තයක් තියෙන, කෘෂි ආර්ථිකයත් එක්ක රටටම කෑම බීම සපයන මහ දැවැන්ත හයියක් තියෙන තැනක්. මේ ආර්ථිකය ශක්තිමත් කරන්න, ස්මාට් කෘෂි කර්මාන්තයට යන්න අද අලුත් ප්‍රතිසංකරණ රනිල් වික්‍රමසිංහ මතිතුමා අද නුවරඑළියට ලබා දෙමින් තිබෙනවා. 

සමහරු ආණ්ඩු වෙනස් කරන්න හදනවා. කැරට් කිලෝව 3000ට ගියා කිව්වා. දැන් දෙහි ගෙඩියෙන් රට වෙනස් කරන්න පුළුවන්ද බලනවා. මිල නගිනකොට ඉන්දියාවේ වීඩියෝ ගෙනත් දානවා. කැරට් අලය 3000 වුණාම නුවරඑළිය ගොවියෝ හොඳ ආර්ථිකයක් හදාගත්තා. හැබැයි ඒකට විරුද්දව කොච්චර කෑගැහුවද? එළවළු නැතිව ගෙදරක බතක් ඉදෙන්නේ නෑ. මේ සියල්ල සපයන නුවරඑළියට පුළුවන් තාක්ෂණය ඉදිරියට ගෙනිහින් කෘෂි කර්මාන්තයේ දියුණු ප්‍රදේශයක් විදිහට රට ඉදිරියට ගෙනියන්න. සංචාරක ක්ෂේත්‍රයේ මහා දියුණු තැනක්, ලෝකයේම ආකර්ෂණීය තැනක් බවට මේ නුවරඑළිය පත් කරන්න. 

මාධ්‍ය ලේකම්වරයෙක් විදිහට පටන්ගෙන, දකුණු පළාත් සභාවේ පළමුවෙනි CWC සාමාජිකයා හැටියට දේශපාලනය පටන් අරගෙන, මේ නුවරඑළියට මම අද කතා කරන්නේ කම්කරු විෂය භාර කැබිනට් අමාත්‍යවරයා හැටියට. ප්‍රේමදාස මහතා ජනාධිපති පුටුවට ගියා. දහනායක මහතා අගමැති පුටුවට ගියා. තොණ්ඩමන්වරුන් ඇමතිකම්වලට ආවා. එස්.බී. දිසානායක, සී.බී. රත්නායක ජ්‍යෙෂ්ඨ ඇමතිවරු වුණා. 

කයිවාරුකාරයෝ මේ රටේ 75 අවුරුද්දක සාපයක්, විනාසයක් ගැන කතා කරනවා. නමුත්, මේ රටේ පොඩි මිනිහට ඉහළට එන්න අවකාශය හදලා දුන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව. හෙට දවසේ මෙතන දරුවෙකුට මේ රටේ ජනාධිපතිවරයා වෙන්න පුළුවන් වේවි. නමුත්, 75 අවුරුද්දකට - ප්‍රභූන්ට බනිමින් මේ දේශපාලනය ඇතුළට අනිත් අයට එන්න බෑ කිය කිය වෛරය වපුරන අයටයි මම මේ කිව්වේ. බිම ඉඳලා ඕනම කෙනෙකුට ඉස්සරහට යන්න පසුබිම මේ රටේ තියෙනවා. 75 අවුරුද්දකට කලින් මේ රට කොතනද තිබුණේ. නුවරඑළියත්, මේ රටත් කොතනද තිබුණේ. මේ තැනට දියුණු වෙන්න කොයිතරම් වෙනසක් මේ රටේ ඇති වෙලා තියෙනවද? ඇත්තටම 75 අවුරුද්දකට දියුණු වෙලා නැද්ද? මේ කණ්ඩායම  හැම තිස්සෙම, රට වට්ටන්න, රට ගැන කේලම් කියන්න, සංචාරක ගමනාන්තයේ මේ රට යා යුතුම රටක් කියලා කියනකොට ඒකට විරුද්ධව ෆේස්බුක් එකේ හිනාවෙන්න කටයුතු කරනවා. ඒක තමයි මේ අයගේ නායකයෝ හදපු කුහක දේශපාලනය. ඒ අය කිසි දේක හොඳක් නොදකින්න හදලා තියෙන්නේ. ලෝකයට ගතු කිය කිය අපිව වට්ටවන කණ්ඩායමේ මතය තමයි ෆේස්බුක් එකේ තියෙන්නේ. 

රටට සල්ලි එවන්න එපා කිව්වේ හඳුන්නෙත්තිලා, අනුර කුමාරලා. හැබැයි ඒ අය කියන දේ නාහා මේ රටේ අම්මලා - තාත්තලා මේ රටට සල්ලි එව්වා. අපි කියන්නේ තවදුරටත් මේ රට පිළිබඳව බොරු කරන්නේ නැතුව, මේ රට වට්ටවන්න උත්සාහ කරන්නේ නැතුව රටේ සියලු දෙනාම එකට එකතු විය යුතු කාලයයි දැන් ඇවිත් තියෙන්නේ. කම්කරු ඇමති විදිහට ජනතාවගේ සුභසාධනය මට බලන්න තියෙනවා. එහෙම තියෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වෙනකොට අණපනත් 75කට වඩා වෙනස් කරලා අලුතින් මේ රට පරිවර්තනයක් කරා ගෙනියන සැබෑ අරගලය පටන් අරන් තිබෙනවා. ඒ අරගලයයි අපි සිද්ධ කරන්නේ. 

මේක මලය රටට අයිතිව තිබුණ කැලෑ ප්‍රදේශයක්.වතු කම්කරුවො ඇවිත් දුක් ගැහැට විඳලා, මේ ආර්ථිකය ගොඩගන්න දීපු ශක්තිය කවදාවත් අමතක කරන්න බෑ. මේ සියල්ල මැද අපේ කම්කරුවාව වැඩ්ඩෙක් කරන්න ඕන ශක්තිය රැගෙනයි අපි ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකාව ජයග්‍රාහී ගමනක් යන්න ජනාධිපතිතුමා එතුමගෙන් පටන්ගත්තා. එතුමා මුලින්ම රටේ ආර්ථික යුද්ධය අවසන් කරන සටන පටන්ගත්තා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ අවුරුදු 30ක් තිබුණ ත්‍රස්තවාදී යුද්දය අවසන් කළා. ආර්ථික යුද්ධය ජයගන්න ජනාධිපතිතුමා සමග ඇමති මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් තම තමන් පටන්ගත්තා. අපේ අම්මලා - තාත්තලා, දරුවන් එකට අත්වැල් බැඳගෙන මෙය ආරම්භ කළොත් 'ජයගමු ශ්‍රී ලංකා' තේමාව අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ජාති පක්ෂ, කුල මල භේදවලින් තොරව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒකට ශක්තිය ලබා දෙන්න සූදනම්. වැටුණු රට යළි යළි නොවැටෙන රටක් ලෙස ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න එතුමා සූදානම්. අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන මගෙන් පටන් ගෙන අපි එක අරමුණක් කරා යමු." යැයි අමාත්‍යවරයා එහිදී පැවසීය.ජල සම්පාදන හා යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්,

විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර,  නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති - හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී. රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කේ. පියදාස යනාදීන් මෙම අවස්ථාවට සහභාගි විය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න
පොඩි මිනිහටත් රටේ ජනපති විය හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය නිසයි | Lanka Newsweek