පුරා වස්තු රැක ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍යතාවයක් නැද්ද..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

අපේ පුරා වස්තු අනාගත පරපුරට ඉතිරි වෙයිද..? පසු ගිය සතියේදී අපි ඌව පළාතේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක සංචාරය කළෙමු.එසේ සංචාරය කළ සෑම ස්ථානයක ම භාරකරුවන් අප සමග පැවසූ පොදු කරුණක් වූයේ,…
අපේ පුරා වස්තු අනාගත පරපුරට ඉතිරි වෙයිද..?

පසු ගිය සතියේදී අපි ඌව පළාතේ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන කිහිපයක සංචාරය කළෙමු.එසේ සංචාරය කළ සෑම ස්ථානයක ම භාරකරුවන් අප සමග පැවසූ පොදු කරුණක් වූයේ, "පුරා වස්තු රැක ගැනීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් නොගන්නා" බවය.
"මේ පුරා වස්තු අපරාදේ විනාශ වෙලා යනවා. ඒවා සංරක්ෂණය කරන වැඩ පිළිවෙළක් නැහැ. මේක හරි ම අපරාධයක්" ඌව පළාතේ පිහිටි ප්‍රධාන පෙළේ කෞතුකාගාරයක සේවය කරන නිලධාරියා අප සමග පැවසීය.
"මම විතරයි මේක බලා ගන්න ඉන්නෙ. ඒත් මේ පුරා වස්තු සංරක්ෂණය කරන්න පුරා විද්‍යාව පිළිබඳ දැනුමක් තියෙන නිලධාරීන් අවශ්‍යයි" සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැත්ත ප්‍රකාශ කළ එම නිලධාරියා "බීබීසී සිංහල" සේවයට පැවසීය.

ඌව පළාතේ විවිධ ප්‍රදේශවලින් හමු වුණු පුරා වස්තු මෙන් ම අතීතයේ භාවිත කළ මෙවලම් ද එම කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. එය පාසල් දරුවන්ට අතීත ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ඉගෙනීමට පාදක කර ගත හැකි වටිනා ස්ථානයකි. එහෙත්, එහි තැන්පත් කර ඇති භාණ්ඩ සංරක්ෂණ කිරීම සඳහා පියවර නොගතහොත් ඒවා අනාගත පරපුරට දැක ගැනීමට නොහැකි වනු ඇත.
එකම ලී පාලම සහ රහස් උමං මාර්ගය

ශ්‍රී ලංකාවේ දැනට දක්නට ලැබෙන වහලක් සහිත එක ම දැවමය පාලම පිහිටා ඇත්තේ ද, ඌව පළාතේ බෝගොඩ ගම් ප්‍රදේශයේය. එය ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේදී වළගම්බා රජු විසින් කරවන ලද්දක් බව හඳුනාගෙන තිබේ. අදාළ පාලම ඉදිකර ඇති මාර්ගය මේ වන විට කැළෑවෙන් වැසී ගොස් තිබේ.
එම පාලම ඉදිකර ඇත්තේ, ගල් කුළුණු දෙකක් මත ගස් කඳන් දෙකක් හරස් අතට තබමිනි. එම ගස් කඳන් මත ඉදිකර ඇති පාලම සඳහා අතීතයේදී කිසිදු ඇණ වර්ගයක් භාවිත කර නොතිබීම විශේෂත්වයකි.

එම පාලම අයත් විහාරස්ථානයේ සුවිශේෂී රහස් උමං මාර්ගයක් ද ඇති අතර එය තවත් කිලෝ මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි දෝව විහාරස්ථානය වෙත රහසේ පිවිසීම සඳහා වළගම්බා රජු විසින් කරවන ලද්දක් බව පැවසේ. එහි දැන් ගමන් කළ හැක්කේ අඩි 20ක් පමණ දුරක් පමණි.
රහස් උමං මාර්ගයේ ප්‍රවේශය
"මේ උමං මාර්ගය වළගම්බා රජ්ජුරුවෝ සැඟවිලා සේනා සංවිධානය කරන කාලේ විහාරයෙන් විහාරයට රහසේ යන්න තමයි හදලා තියෙන්නේ." බෝගොඩ විහාරස්ථානයේ වැඩ වසන හිමි නමක් පැවසීය.
සොළී කුමාරවරුන් 7 දෙනෙකු වසර 14ක් පුරා පාලනය කළ ලක්දිව බේරා ගැනීම සඳහා වට්ඨගාමිණී අභය හෙවත් වළගම්බා රජු ලක්දිව සෑම ප්‍රදේශයක ම සැරි සරමින් සේනා සංවිධානය කළ බව ඉතිහාස මූලාශ්‍රවල දැක්වේ. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම පාහේ වළගම්බා රජු කරවූ විහාරස්ථාන පිහිටා තිබීමෙන් ඒ බව තහවුරු වෙයි.

"මේ ලී පාලමයි, උමං මාර්ගයයි පන්සලෙන් තමයි ආරක්ෂා කර ගෙන ඉන්නෙ. පුරා විද්‍යා මහත්තුරු එන්නෙ අපි මොනව ද කරන්නෙ කියල බලල යන්න විතරයි. මේව සංරක්ෂණය කරන්න ඒ අයට කිසි ම උනන්දුවක් නෑ" එසේ පැවසූයේ, එම ස්ථානයේ භාරකරු ලෙස ක්‍රියා කරන පුද්ගලයෙකි. අප සංචාරය කළ සෑම ස්ථානයකින් ම අසන්නට ලැබුණේ, එම මැසිවිල්ල ම ය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වුවමනාවක් නැද්ද?
එම මැසිවිලි සම්බන්ධයෙන් පිළිතුරක් ලබා ගැනීම සඳහා අපි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී බී මණ්ඩාවල ඇමතූවෙමු.
"රටේ ප්‍රමුඛතා අනුව පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට වෙන් කෙරෙන්නේ, සීමිත ප්‍රතිපාදන ප්‍රමාණයක් විතරයි. ඉතින් අපිටත් සිද්ධ වෙලා තියෙනවා, අපට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමුඛතා ලේඛනයක් අනුව භාවිත කරන්න. ඒ අනුව, හැම පුරා විද්‍යාත්මක ස්ථානයකට ම ප්‍රතිපාදන සැලසීම අසීරුයි."

එසේ නම් විනාශ වෙමින් පවතින පුරා වස්තු රැක ගැනීමට ක්‍රමයක් නැද්ද..? "යම් පුරාවිද්‍යාත්මක ස්ථානයක් කඩිනමින් සංරක්ෂණය කළ යුතු තත්ත්වයක පවතිනවා නම් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් අප වෙත ඉදිරිපත් කළ හැකියි. ඒ සම්බන්ධයෙන් අපේ නිලධාරීන් කණ්ඩායමක් යවලා නීරීක්ෂණය කරලා අවශ්‍ය සංරක්ෂණ කටයුතු කළ හැකියි." පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
පුරාවස්තුවක් යනු කුමක් ද?
ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා අඥා පනතට (1940) අනුව "පුරාවස්තු යනු 1815 මාර්තු මස 2 වන දාට පෙර (එනම් උඩරට ගිවිසුම අත්සන් තැබූ දිනට පෙර) නිර්මාණය කරන ලද බවට විශ්වාස කෙරෙන කිසියම් වූ ගොඩනැගිල්ලක්, යම් ලෙස රැගෙන යා හැකි වස්තුවක් හෝ සංස්කෘතික අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයක් මඟින් නිවේදනය කොට ප්‍රකාශ කරන ලද වසර 100කට වඩා පැරණි ස්මාරයක්" යන ඒවාය.
පුරා වස්තු රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කුමක් කරන්නේ ද?
පුරා වස්තු රැක ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආයතන කිහිපයක් පවතී. ඒ අතරින්, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රධාන වේ.
"පුරා විද්‍යා දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ගෙන යනවා. තවත් ව්‍යාපෘති කිහිපයක් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති පුරා විද්‍යාත්මක ස්ථානවලින් ලැබෙන ආදායම්වලින් කොටසක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ලැබෙනවා. මධ්‍යම රජයේ ප්‍රතිපාදන සහ ආදායම්වලින් අපි සංරක්ෂණ සහ ගවේෂණ කටයුතු කර ගෙන යනවා." මහාචාර්ය පී බී මණ්ඩාවල පැවසීය.
-BBC-
සිංහල සේවය
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3