අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

පිවිතුරු උදයගේ අපවිත්‍රකමේ තරම ජැනට් හෙළි කරයි..!

පිවිතුරු උදයගේ අපවිත්‍රකමේ තරම ජැනට් හෙළි කරයි..!

(රසික මහගෙදර) උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබා ගත් මුදල් උපයෝගී කර ගෙන බවත්, ඔහු දේශපාලනයට පිවිසීමට පෙර සිය මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල…

(රසික මහගෙදර)

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබා ගත් මුදල් උපයෝගී කර ගෙන බවත්, ඔහු  දේශපාලනයට පිවිසීමට පෙර සිය  මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල කාර්ය  සහයකයෙක් ලෙස රැකියාව කළ බවත් ජැනට් එලිසබෙත් ෂෙඩික් මහත්මිය පවසයි.

ජැනට් එලිසබෙත් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් සිය  ස්වාමියාගේ සමාගමට සිදු කරන ලද වංචා දූෂණ සහ අක්‍රමිකතා  පිළිබඳවත්, ඒ හේතුවෙන් සිය  ස්වාමියා ඇතුළු සිය පවුල  මේ වන විට  පත්ව සිටින තත්ත්වයත් පිළිබඳව මාධ්‍ය  දැනුවත් කිරීම සඳහා    කොළඹ 07 විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ ශාලාවේ පැවති විශේෂ  මාධ්‍ය හමුවේදීය.

ජැනට් එලිසබෙත් ෂෙඩික් යනු මෙරට විදේශ ආයෝජකයෙකු වන ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂෙඩික් මහතාගේ බිරිඳයි. ඔහුට අයත්ව තිබූ පෑන් ඒෂියා බැංකුවේ කොටස් මිලියන 4.1 ක් ව්‍යාජ ඇටර්නි බලපත්‍රයක් යොදා ගනිමින් වංචනික ලෙස විකිණීම සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා වෙත චෝදනා එල්ල වී තිබෙන අතර  ඒ සම්බන්ධයෙන් වන නඩු කිහිපයක්ද මේ වන විටත් අධිකරණයේ විභාග වෙමින් පවතියි.

තමාට සිදුවූ අසාධාරණයට එරෙහිව  නීතියේ පිළිසරණක් පිළබඳව  2015ට පෙර  එවක පැවති දේශපාලන වාතාවරණය ඇතුළත කිසිසේත්ම බලාපොරොත්තු තැබිය නොහැකි තත්ත්වයක් පැවතීම සහ  තමාට එල්ල වූ බලපෑම හමුවේ නිශ්ශබ්දව සිටී බව පැවසූ ජැනට් එලිසබත්  මහත්මිය 2015 සිදුවූ දේශපාලන වෙනසත් සමඟ තමාට සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට මෙරටට පැමිණ නීතියේ පිළිසරණ පැතූ බවද සඳහන් කර සිටියාය.

නමුත්  මෙරට අධිකරණය විසින් සාක්ෂි කැඳවීම සඳහා දින ලබාදීමේ ක්‍රමය මත තමා  දැඩි අපහසුතාවයකට පත්ව සිටින බවත්,  නඩු කටයුතු පමාවීම හේතුවෙන් තම ස්වාමිපුරුෂයා සහ තමා අපේක්ෂා භංගත්වයට වගේම  ඉතාමත් අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය.

නඩු කටයුතු වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා වරින් වර ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවීම සහ ශ්‍රී ලංකාවේ දින ගණනාවක් නවාතැන් ගැනීමට සිදුවීමෙන් තමාට අධික වියදමක් දැරීමට සිදුව තිබෙන බවත් පෙන්වා දෙන ජැනට් එලිසබෙත් මහත්මිය මේ යන ක්‍රමවේදයට ගිය හොත් නඩු කටයුතු අවසන් කර ගැනීම සඳහා තවත් අවුරුදු 10ක්, 15 ක් ගත වනු ඇති බවද සඳහන් කළාය.

උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ නැමැත්තා තම ස්වාමියාට අයත් මෙරට ආයෝජනය කළ ව්‍යාපාර කටයුතු සියල්ල කූට ලෙස සකස් කළ ව්‍යාජ ඇටර්නි බලපත්‍ර යොදා ගනිමින් වංචනිකව හොරකම් කර ඇති බවත්, පෑන් ඒෂියා බැංකුවේ තම ස්වාමියාට අයත්ව තිබූ කොටස් මිලියන 4.1 ක් ද කූට ලෙස විකුණා දමා තිබෙන අතර ඉන්  ඩොලර් මිලියන 07 ක අලාභයක් සිදුව තිබෙන බවත් ඇය පැවසුවාය.

මෙවැනි සිදුවීම්වලින් සිදු වන්නේ  මෙරටට පැමිණෙන විදෙස් ආයෝජකයන් මෙරට කෙරෙහි තබා තිබෙන විශ්වාසය පළුදු වීම බවත් ඔවුන්  මෙරට ආයෝජන කටයුතුවලින් ඉවත්වීමට මේ තත්ත්වය හේතුවන බවත් බ්‍රයන් ෂෙඩික් මහතාගේ මෙරට ඇටර්නි බලකරු ලසිත පෙරේරා මහතා එහිදී අදහස් දක්වමින්  පෙන්වා දුන්නේය.

බ්‍රයන් ෂෙඩික් මහතා 90 දශකයේ මෙරට සිටී විශාලතම විදෙස් ආයෝජකයෙක් බවත්, රටට පැමිණි මෙවැනි විදෙස් ආයෝජකයන් කූට හා වංචනික ලෙස රැවටීමට ලක් කර ඔවුන්ගේ දේපල අත් පත් කර ගැනීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් බවත් ලසිත පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
පිවිතුරු උදයගේ අපවිත්‍රකමේ තරම ජැනට් හෙළි කරයි..! | Lanka Newsweek